spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

“ක්‍රිකට් ක්‍රීඩාවෙන් පසු මෙරටට වැඩිම ජාත්‍යන්තර ජයග්‍රහණ ගෙනදුන්නේ බර ඉසිලීමේ ක්‍රීඩවෙන්” – ක්‍රීඩක සුදේශ් පීරිස්

Must read

DSC04159

ඕනෑම ක්‍රීඩාවක නියැලෙන ක්‍රීඩකයෙකුගේ හෝ ක්‍රීඩිකාවකගේ අනාගත සිහිනය වන්නේ තම රට නියෝජනය කරමින් ඔලිම්පික් වරම් ලබා ගැනීමයි. එය ඕනෑම ක්‍රීඩකයෙකුගේ හෝ ක්‍රීඩිකාවකගේ ජිවිතයේ සදා අනුස්මරණීය මතක සටහනක් බවටද පත්වේ. එහෙත් ලංකාව වැනි රටක ඔලිම්පික් සිහිනය යථාර්ථයක් බවට පත් කර ගත හැකි වන්නේ අති දක්ෂයෙකුට පමණි. එවැනි භාග්‍යයක් වාසනාවක් ලද ක්‍රීඩකයෙකු පසුගියදා අපට හමුවිය. විශේෂත්වය වන්නේ ඔහු මීගමුව පුරවරයේ ඉපිද, හැදී වැඩුණු මීගමුවෙන්ම ක්‍රීඩාවට අත්පොත් තැබූ සුවිශේෂී දක්ෂතා රැසකින් හෙබි , මේ වන විටත් තම රටට මහත් අභිමානයක් කීර්තියක් ගෙන ආ ක්‍රීඩකයෙකි. ඔහු නම් බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජයගත් මීගමුව,මුන්නක්කරයේ ඇන්ටන් සුදේශ් පීරිස්ය.

බ්‍රසීලයේ රියෝ හි පැවැත්වෙන 2016 ඔලිම්පික් තරගාවලියට සහභාගී වීමට කොළඹ ක්‍රීඩා අමාත්‍යංශ නේවාසිකාගාරයේ අඛණ්ඩ පුහුණුවීම් කරන අතරතුර ඔහු මීපුර වෙබ් අඩවිය සමගත් පිලිසදරක යෙදුනු අතර පහත පලවන්නේ එම පිලිසඳරේ සංක්ෂිප්ත සටහනකි.

පාසලින් ආරම්භ කල ඔබේ ක්‍රීඩාව අද වන විට ඔලිම්පික් තරඟාවලියක් නියෝජනය කිරීම දක්වා පැමිණ තිබෙනවා. ඔබ ආ මේ ගමන ගැන ඇත්තටම අද මොනවද ඔබට හිතෙන්නේ?

මම අද හිතනවා මම හරි වාසානාවන්තයි කියලා. ඒත් මම ආපු ගමන් මග බොහෝම අමාරු ගමන් මඟක්.බොහෝම ආර්ථික අපහසුතා මැද්දේ ඉතාම අමාරුවෙන් පාසල් ජීවිතය තුල මම ක්‍රීඩාවට අත්පොත් තිබ්බේ. මගේ පාසල මීගමුව ශාන්ත මරියා විදුහල.එහි සිටි රන්ජිත් බී. පෙරේරා ගුරුතුමාගේ මඟ පෙන්වීම අනුව තමයි මම මේ බර ඉසිලීමේ ක්‍රීඩාවට ආවේ. ඒත් අපේ පාසලේ ඒ බර උසුලන කට්ටලයක් වත් තිබුණේ නැහැ. රංජිත් ගුරුතුමා කටුනායක “හර්මින් “ක්‍රීඩා සමාජයට අයත් ඒ බර උසුලන කට්ට්ල වරින් වර පාසලට ගෙනත් තමයි, අපට ඒ පුහුණු වීම කරලා, මේ ක්‍රීඩාව සදහා අපිව යොමු කලේ. ඉන්පසුව ජාතික තලයේදීත් පසුව ජාත්‍යන්තර තරඟ සදහාත් අවශ්‍ය පහසුකම් එතරම් නොමැතිව තමයි දිගටම මෙම ක්‍රීඩාව කරගෙන ගියේ. ඒ වගේම පවුලේ ආර්ථික ප්‍රශ්ණ හමුවේ විශාල බාධාවන් දුෂ්කරතා රැසකට මට මුහුණ දෙන්න සිදුවුණා මේ කාලය තුල. හැබැයි මම ඒවා ජයගත්තා කියලා දැන් මට හැගෙනවා.ඇත්තටම අද මට හිතෙනවා මම වාසානාවන්ත ක්‍රීඩකයෙක් කියලා.

මෙතෙක් ඔබ ලබා ඇති සුවිශේෂි ජයග්‍රහන ගැන කිව්වොත් ?

මම පාසලේ 06වන වසරේදී තමයි මේ ක්‍රීඩාවට යොමු වුනේ.එතකොට මගෙ වයස අවුරුදු 14ක් විතර ඇති.පාසල් ජයග්‍රහණ වගේම සමස්ථ ලංකා කනිෂ්ඨ ජයග්‍රහන  රැසක් වාර්ථා සමගින් ම මා සතු කර ගත්තා. උසස් පෙළින් පසු මම පාසලෙන් සමු අරන් ගුවන් හමුදාවට බැදුනා. එතනදී තමයි මට පෙරට වඩා හොද පුහුණුවක් ලබා ගන්නට හැකියාව ලැබුණේ. 2004 සිට 2009 දක්වාම මම ගුවන් හමුදාවේ සිටියා. මේ අතරතුර මම සමස්ථ ලංකා ශූරතා ගණනාවක්ම ජයග්‍රහණය කරා.

2006 වසරේ ම ප්‍රථම වතාවට කිලෝග්‍රෑම් 62ට අඩු බර පන්තියෙන් සාෆ් තරගාවලියට සහභාගී වුනා. එහිදී මම ලෝකඩ පදක්කම ජය ගත්තා. 2010 ඉන්දියාවේදී පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදීද ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කලා. එමෙන්ම 2011 වසරේ දකුණු අප්‍රිකාවේදී පැවැත්වුනා බර ඉසිලීම සදහා වන පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියක්. එම තරගයෙන් ම රන් පදක්කම ජය ගත්තා. 2014 වසරේදී ග්ලාස්කෝ හිදී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී මම මම රිදී පදක්කම ජය ගනු ලැබුවා. 2015 මම ඇමරිකාවේ හූස්ටන් හිදී පැවති ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියටද සහභාගී වුනා. 2016 වසරේ එනම් මේ වසරේ සාෆ් තරගාවලියේදීද ම රන් පදක්කම ජය ගනු ලැබුවා.ඒ වගේම කිලෝග්‍රෑම් 62ට අඩු බර පන්තියෙන් ශ්‍රී ලංකා වාර්ථාව තවම මා සතුයි. ඒ අනුව මේ බර දෙආකාරයකට සලකා බැලෙනවා. එක ක්‍රමයක් තමයි ස්නැච් (snach) ක්‍රමය. එය කිලෝග්‍රෑම් 123ක් සහ අනිත් ක්‍රමය වන ක්ලීන් අන්ඩ් ජර්ක් (clean and jerk) කිලෝ 154යි.මෙම ක්‍රම දෙකෙන්ම සමස්ථ එකතුව කිලෝග්‍රෑම් 277ක්. මේ වාර්ථාව තවමත් මා සතු වීම ඇත්තටම මට විශාල ආඩම්බරයක්.

මේ බර ඉසිලීමේ ක්‍රීඩාව හා ඔබේ පුහුණුව ගැන කෙටියෙන් විස්තර ටිකක් දැනගන්න කැමතියි?

මේ බර ඉසිලීමේ ක්‍රීඩාව සදහා පිවිසෙන ක්‍රීඩකයෙකු විශාල කැපකිරීමක් කරන්න අවශ්‍යයයි. ආහාර රටාව සම්පූර්ණ වශයෙන්ම පාලනය කරන්න ඕනේ. තමන්ගේ ශරීරයේ බර තමන් නියෝජනය කරන බර පංතියට තබාගත යුතුයි. දැන් මම නියෝජනය කරන්නේ කිලෝ 62ට අඩු බර පංතිය. ඉතින් තරගයක් පටන්ගන්න පැය දෙකකට කලින් තමයි ක්‍රීඩකයෙකුගේ බර කිරන්නේ.ඒ වෙලාවේ කිලෝ 62ට අඩුවෙන් නොතිබුණොත් ඒ කියන්නේ කිලෝ 62කට වඩා සුළු වැඩිවීමක් හෝ තිබුණොත් අපට තරගයෙන් ඉවත් වෙන්න සිදුවෙනවා. ඒ නිසා අපි ගන්න ආහාර ගනනය කරන්න අවශ්‍යයයි. ඒ වගේම පාලනය කරන්නත් අවශ්‍යයි. ඒ වගේම බර ඉසිලීමට ශරීර ශක්තිය රදවා ගැනීම කල යුතුයි. නිරන්තර පුහුණු වීම් ඒ වගේම වෛද්‍ය හා පෝෂණ උපදෙස් අවශ්‍යයයි. ඒ වගේම ශරීරයේ නිරෝගීභාවය සැමවිටම තබාගත යුතුයි. මෙවැනි හේතු නිසා බොහෝ අය මේ ක්‍රීඩාවෙන් ඉතා කෙටි කාලයකදී ඉවත් වෙනවා. ආර්ථික අපහසුතා සහිතව මම වැනි මේ ක්‍රීඩවට යොමු වුණ ක්‍රීඩකයන්ට මේ ක්‍රීඩාව තුල නියැලීම ඉතා අමාරු කාර්‍යයක්. මේ සදහා සෑම අංශයකින්ම විශාල කැපකිරීමක් අවශ්‍යයි.

මාගේ පුහුණු කටයුතු ගැන කිව්වොත් මම 2008 වසරේ සාෆ් තරගාවලියෙන් පස්සේ ජපානයට ගියා පුහුණු විම් කටයුතු වලට. එදා සිට අද දක්වා වරින් වර ජපානයේ පුහුණුවීම් කටයුතු වල නිරත වෙනවා. ජපානයේ ” කයෝමා” කියන නගරයේ විශ්වවිද්‍යාලයක් තියෙනවා. ඒක ක්‍රිඩාවන් සදහා විශාල නැඹුරුවක් තියෙන තැනක්. එහි ඉතා හොද මට්ටමට පුහුණුවීම් කටයුතුකරන්න අවශ්‍ය තාක්ෂණික පහසුකම් එහෙම තියෙනවා. අනෙක් එක තමයි ජපානයේදී අපට ආහාර පාලනය කිරීම අමාරු කාර්‍යයක් නෙවෙයි. මොකද ජපානයේ සෑම ආහාරයකම අඩංගු කැලරි ප්‍රමාණය බර වැනි දේ එහි සදහන් කරල තියෙනවා. ඉතින් මම දැන් ඔලිම්පික් වලට යනකම් කොළඹ ක්‍රීඩා අමත්‍යංශයේ නේවාසිකාගාරයේ එම පුහුණුවීම් කටයුතු කරගෙන යනවා. මගේ වර්ථමාන පුහුණුකරුවා වන්නේ ආර්.බී. වික්‍රමසිංහ මහතායි. ඔහු යටතේ මේ වන විට මම පුහුණුව ලබනවා.

ලංකාවේදී බර ඉසිලීමේ ක්‍රීඩාවට ඇති තත්වය ගැන ඔබේ අදහස් දැනගන්න කැමතියි?

ලංකාවේ බොහෝ අය විශේෂයෙන් ගම්බදව ඉන්න අය පවා මේ ක්‍රීඩාවේ නියැලෙන්න කැමතියි. හැබැයි ඒ අයට ඈත් පළාත් වල සිට ජාතික තලය දක්වා පැමිණීමට මේ ක්‍රීඩාව තුල අවශ්‍ය පහසුකම් සපයා නැති බව දක්නට ලැබෙනවා.විශේෂයෙන් මේ ක්‍රීඩාවට බොහෝ අය නැඹුරු කරගත හැකි වන්නේ පාසල් තුලින්. නමුත් අද බොහෝ පාසල් වලට අඩුම තරමින් බර උසුලන්න අවශ්‍ය වන ඒ ඉසිලීම් කට්ටලයක් පවා නැහැ. මොකද ඒ කට්ටලයක් ලක්ෂ ගාණක් වෙනවා. මාගේ පාසල වන මීගමුව ශා.මරියා  විදුහලේත් අදටත් එවැනි කට්ටලයක් නැති බව තමයි වාර්ථා වන්නේ. ඒ නිසා පාසල් වලට මේ ක්‍රීඩාව නැංවීමට අවශ්‍ය ඒ උපකරණ, කට්ටල හා පුහුණුකරුවන් ලබා දිය යුතුයි. ඒ වගේම ඉන්න පුහුණුකරුවන්ට විදේශ පුහුණුවීම් සැලසිය යුතුයි. විදේශ පුහුණුකරුවන් ලංකාවට ගෙන්වා සේවය ලබා ගත යුතුයි. මොකද ක්‍රිකට් ක්‍රීඩාවෙන් පසුව ලංකාවට මේ මෑතකදී ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ගෙනාවේ බර ඉසිලීමේ ක්‍රීඩාව තුලින්.මලල ක්‍රීඩාවටත් වඩා ජාත්‍යන්තර ජයග්‍රහණ රැගෙන ඒමට හැකි ක්‍රීඩවක් වන්නේ මේ බර ඉසිලීමේ ක්‍රීඩාවයි. පසුගිය කාලයේදී චින්තනත් මමත් ඒ බව ඔප්පු කරලා තියෙනවා.

ඔබේ පවුලේ විස්තර කිව්වොත් ?

මගේ පියා නිව්ටන් පීරිස්. ඔහු මීගමුව නගරයේ සුළු ව්‍යාපාරයක් කළ කෙනෙක්. මව කමලා. මට බාල සහෝදරයෙක් ඉන්නවා.ඔහු ධීවර කටයුතු වල නිරත වෙනවා. තව බාල සහෝදරියක් ඉන්නවා. ඇය දැන් විවාහ වෙලා. මම විවාහ වුනේ 2010 වසරේදී. ඇය ජපන් ජාතික කාන්තාවක්. ජපානයට පුහුණුවීම් සදහා ගිය විට තමයි ඇය මට මුණගැසුණේ. ඇය විශ්වවිද්‍යාලයේ ජපන්-ඉංග්‍රීසි භාෂා පරිවර්තක රුකියාවේ නිරත වෙනවා.

අවසාන වශයෙන් ඔබට ආදරය කරන ක්‍රීඩා ලෝලීන්ට මොනවද කියන්න තියෙන්නේ?

ඇත්තෙන්ම මට ආදරය කරන ශ්‍රීලාංකික සැමගෙන් විශේෂයෙන්ම මගේ ආදරණීය මීගමුවේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මාගේ රට වෙනුවෙන් විශේෂයෙන්ම මීගමුව වෙනුවෙන් මාව දිරිමත් කරන්න,මට මෙම තරගයට හොදින් ක්‍රීඩාකරන්න හැකි වෙන්න කියලා.මට ඔබ සැමගේ ආශිර්වාදය ලබා දෙන්න. මට හැකි උපරිම ශක්තිය යොදවලා ශ්‍රීලංකාවට කීර්තියක් රැගෙන ඒම තමයි මගේ මූලික අරමුණ. ඒ අනුව කිලෝග්‍රෑම් 62 බර පන්තියෙන් ලෝකෙ ඉන්න හොදම ක්‍රීඩකයන් 8දෙනා අතරට පැමිණීම තමයි මගේ මූලික බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් මට ඔබේ ආශිර්වාදය ලබා දෙන්න කියා මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

DSC04154

DSC04155

DSC04158

DSC04160

සංවාද සටහන – තුෂාර රොහාන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article