spot_img
spot_img
Wednesday, May 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

“කානෙක්කානෙ”

Must read

“ලෝකය සුන්දර වන්නේ හුදු සිත්හැරීම් අභිබවා යන ආත්මීය වශයෙන් තමන් තුළම ඇති කරගන්නා සිත් හැරීම් තුලිනි.”
“කානෙක්කානෙ” මලයාලම් චිත්‍රපටියේ තේමාව එයයි.

පෝල් මහතා තම දියණියගේ නිවසට පැමිණෙන්නේ තම මුණුබුරාගේ සුවදුක් බැලීමටය.
දියණිය (ෂෙරීන්) හදිසි අනතුරකින් මිය ගොස් ඇති අතර දියණියගේ සැමියා(ඇලන්) ස්නේහා නම් යුවතිය සමග විවාහ වී ඇති අතර ඇයටද දරුවෙකු ලැබීමට නියමිතය.
ස්නේහා ඇලන්ගේ දරුවාව ඉතා ආදරයෙන් රැකබලා ගන්නා අතර ඔහු ඇය අමතන්නේ අම්මා ලෙසය.
ඇලන් ෂෙරීන් මියගිය පසුව ස්නේහා සමග විවාහව සිටියත් එතරම් සතුටකින් සිටින බවක් පෙනෙන්නට නැත.
ඔහුගේ වෘත්තීය ස්ථානයේදී කලින් වෘත්තීය දක්ෂතා තරම් ප්‍රගතියක් නොපෙන්වන නිසා නිතර නිතර ආයතනික ප්‍රධානියාගේ දෝෂාරෝපණයටද ඔහු පත්වෙයි. එසේම ඔහු කිසියම් ප්‍රමාණයකට මත්පැන් වලටද ඇබ්බැහි වී සිටියි.
ස්නේහා සැබවින්ම ඇලන්ට දයාබර බිරිඳක් එසේම ඔහුගේ දරුවාට සෙනෙහෙවන්ත මවකි.

පෝල් මහතාට අවශ්‍ය වන්නේ තම දියණියගේ අනතුර පිළිබඳව විමර්ශන නිසියාකාරයෙන් සිදුකර වැරදි කාරයන්ට උසාවියෙන් දඬුවම් ලබා දීමයි.
ඒහෙත් ඇලන් ඒ ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැත. ඇලන්ගේ මෙම ප්‍රතිචාරය සහ ඔහුගේ හැසිරීම පොල් මහතා තුළ කිසියම් සැකයක් ජනිත කරවයි.
මේ නිසා තම දියණිය අනතුරට ලක්වූ අවස්ථාවේ ඇයව රෝහලට රැගෙන ගිය ඇයගේ මිතුරිය සොයා ගොස් අනතුර සිදුවූ ආකාරය පිළිබඳව තොරතුරු සොයන්නට පටන් ගනියි.
මෙහිදී ඔහුට දැනගන්න ලැබෙන්නේ අනතුර සිදුවී සුලු මොහොතකින් ඇලන් ද එම ස්ථානයට පැමිණ ඇති අතර ඔහු ෂෙරීන්ව රෝහලට රැගෙන යාමට යුහුසුළු වී නැති බවය. ඇලන් සිදුව තිබූ අනතුර දැක දැක, එය නොදැක්කා සේ මගහැර යන්නට උත්සාහ කර ඇත.

පොල් මහතාගේ සැකය තවත් වැඩි වන්නේ ඇලන් තම දියණිය සමග විවාහව සිටි අවස්ථාවේදීම ස්නේහා සමග සම්බන්ධතාවයක් ඇතිකරගෙන සිටි බව දැන ගැනීමෙනි.
මේ නිසා මෙය හිතාමතා කළ මිණි මැරුමක් නොවුනත් ෂෙරීන්ව බේරා ගැනීමට තිබූ අවස්ථාව ඇලන් මග හැරීම ගැන පෝල් මහතාගේ සිතේ සැකයක් වර්ධනය වන්නට පටන් ගනී.
පසුව හෙළිවන්නේ ඇලන් ෂෙරින්ව රෝහලට රැගෙන යාම මගහැර ඇත්තේ ඒ මොහොතේ ඔහු තුළ ඇති වූ මානසික කම්පනයක් නිසා බවයි.
කෙසේ වෙතත් මෙම හේතුව මත අනතුරකින් කෙනෙක් බේරා නොගැනීම පිළිබඳව සහ අනතුරට පත්වූ පුද්ගලයා මිය යාමට ඉඩ හැරීමට එරෙහිව ඇලන්ට විරුද්ධව පෝල් මහතාට නඩු පැවරීමට හැකි තත්ත්වයක් උදාවෙයි.

මේ කරුණ ඉදිරිපත් කරමින් ඇලන් සහ ස්නේහා සමග සිටීම තම මුණුබුරාට අනතුරුදායක විය හැකි බව පවසන පෝල් මහතා මුනුබුරාව තමා වෙත රැගෙන යා යුතු බව කියයි.
මේ පිළිබඳව සහ ෂෙරීන්ට අනතුර සිදු අවස්ථාවේ බේරා නොගැනීම ගැන ඇලන් සහ පොල් මහතා අතර දිගු බහින් බස් වීමක් ඇති වන මොහොතේ හදිසියේම පෝල් මහතාට පීඩනය දරා ගැනීමට නොහැකිව ඔහු කලාන්තය වේ.
එහෙත් ඇලන් ඒ මොහොතේ පොල් මහතාට ප්‍රථමාධාර ලබා දී ඉතා හොඳින් බලා ගෙන ඔහුගේ ජීවිතය බේරා ගනියි.

තම දියණිය සමඟ විවාහවී සිටි කාලයේදී පවා ඇලන් සහ දියණිය අතර ඇතිවන පුංචි පුංචි ආරවුල්වලදී පෝල් මහතා සැම විටම සිටියේ ඇලන් සමගය.
ඔහු ඇලන්ට තම දියණියට මෙන්ම ආදරය කළේය.
එහෙත් ස්නේහා සමග මිත්‍රත්වයක් ඇතිකර ගැනීම සහ ස්නේහයා ෂෙරීන්ට මේ ගැන පවසන්නැයි ඇලන් ට බල කිරීම නිසා ඇලන් සිටියේ දැඩි මානසික පීඩනයකය.
මේ නිසා ෂෙරීන් අනතුරට පත් වූ අවස්ථාවේ ඔහුට ෂෙරීන්ව බේරා ගැනීමට තිබූ අවස්ථාව මඟ හැරී යන්නේ ඔහුගේ උණු සිතට වඩා ක්ෂණයකින් යටි සිත සක්‍රීය වීම නිසාය.

පොල් මහතා ඇලෙන් සහ ස්නේහා නතර වී සිට නිවසට යන්නේ මුනුබුරාව තමා වෙත රැගෙන යාම ගැන අවසාන තීන්දුවක් ගැනීමටය.
එහිදි ස්නේහා කුස්සියේ සිහිසුන් නැතුව සිටින අතර ඇය දරුවා ප්‍රසූත කිරීමට ආසන්න බව පෝල් මහතා දකියි.
ඇයව නොසලකා හැර තම දියණියගේ මරණයේ පලිය ගැනීමට ඔහුට එය අවස්ථාවක් කර ගත හැකිව තිබුණි. එහෙත් ඔහු ඉතා ඉක්මනින් ස්නේහා රෝහලට රැගෙන යන අතර එහිදී ඇය දියණියකට උපත දෙයි.
බිළිඳු දියණියගේ පෝල් මහතාට ඇති නෑකම කුමක්දැයි සාත්තු සේවිකාව විමසන විට ඔහු පවසන්නේ තමා මේ බිළිඳියගේ “සීයා” බවය.
ඇලන් සැබවින්ම වරදක් කළේය.
එහෙත් එය සිතා මතා කළ වරදක් නොවේ. පොල් මහතා සියල්ල අමතක කර දමා නැවත ඔහුගේ නිවස කරා යයි.
එහෙත් ඇලන් තමා වරදක් කළ බව හොඳින් දනී. ඔහුට එය කිසිසේත්ම වන්දි ගෙවා නිම කළ හැකි වරදක් නොවේ. ඔහු තම පුතු තුරුළු කරගෙන කෑ ගසා අඬන්නේ ඒ නිසාය.
පියකු තම දියණියට දක්වන අසීමිත සෙනෙහස ඇය ජීවත්ව සිටින තුරු පමණක් නොව ඇය මියගිය පසු ද පවතින බව කියාපාන ඉතා සුන්දර කතා වස්තුවක් වටා (Kaanekkane) “කානෙක්කානෙ” නැමති මේ මලයාලම් චිත්‍රපටය නිර්මාණය වී ඇත.
අඹු සැමි සබඳතාවයන් කොතරම් ප්‍රබලව පැවතුනද තමන් නොදැනුවත්වම තමන් තුළ නිර්මාණය වන හැඟීම් නිසා මිනිසෙකුට තමා අතිශයින්ම ආදරය කරන කෙනෙකු වුවද නොසලකා හරින්නට සිදුවිය හැක.
ඇලන්ට සිදුවන්නේ ද එවැනි දෙයකි.
ඔහු තම පළමු බිරිඳ ෂෙරීන්ට අතිශයින්ම ආදරය කරයි. එහෙත් ඔහු විසින් ස්නේහා සමග ඇති කරගන්නා සබඳතාවය නිසා එක්තරා තීරණාත්මක මොහොතකදී කිසිදා නැවත නිවැරදි කළ නොහැකි වරදක් කරයි.
මේ නිසාම කොතරම් සැප සම්පත් තිබුණත් ඔහුට දැඩි මානසික පීඩනයකින් ජීවත්වීමට සිදුවේ. එවැනි තත්ත්වයක් තුළ ජීවිතය ගොඩනගා ගැනීමට නම් අපට ආදරය කරන මිනිසුන්ගෙන් වෙනදාට වඩා සැලකීමක් සහ ආදරයක් අප වෙත ලැබිය යුතුම ඇත.
පොල් මහතා, තම දියණියගේ ස්වාමිපුරුෂයාගේ මේ මානසික තත්ත්වය තේරුම් ගනියි. එය හුදු සිත්හැරීමකට වඩා ආත්මීය වශයෙන් තමන් තුළම ඇති කරගන්නා සිත් හැරීමකි.
ඇලන්ට සමාව දීමට කිසිදු සාධාරණ හේතුවක් පෝල් මහතාට නැත. එහෙත් ඇලන්ට වෛර කිරීමෙන් හෝ ඔහුට දඬුවම් කිරීමෙන් කිසිවක් නැවත පෝල් මහතාට ලැබෙන්නේ ද නැත.
මිනිස් චර්යාවන් පිළිබඳව ඉතා සංවේදීව කරන විමර්ශනයක් ලෙස මම මෙම චිත්‍රපටය දකිමි.
මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණ දෙන මලයාලම් සිනමාවේ අති දක්ෂ නළුවකු වන සුරාජ් තමාට ඕනෑම චරිතක් නිරූපණයක් කළ හැකි බව කානෙක්කානෙ තුලින් ප්‍රේක්ෂකයින්ට තහවුරු කර සිටි.

අරුණ ශාන්ත නෝනිස්
අශානෝ
2024.02.05.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article