“ජාතික ආරක්ෂාව” – සිදුවීම් දෙකක්,..

0
16

“ජාතික ආරක්ෂාව” – සිදුවීම් දෙකක්,..

මෑත සිදුවීම; දීපචෙල්වන්ගේ භාශනයේ සහ ප්‍රකාශනයේ නිදහස සම්බන්ධ සංවාදය. මගේ අදහස මේ සංවාදයට පක්ශ-විපක්ශ අදහස් දක්වන බහුතරය ඔය කියන පොත් කියවල නෑ. ඒ නිසාම ඔය සංවාදය දැනට යන්නෙ දීපචෙල්වන්ගේ මීට කලින් ප්‍රකාශණ මත පදනම්ව, ඔහුගේ අතින් අපේ ජාතික සංහිඳියාවට හානියක් වන දෙයක් නොලියවේවි කියන පූර්ව නිගමනය මත පදනම්ව. නමුත් බලධාරීන්ට එහෙම තීරන ගන්න බෑ. දකුණේ වර්ගවාදය අවුස්සන අයට බෙදන හැන්දෙන්ම උතුරේ වර්ගවාදය අවුස්සන අයට සැලකීමේ වරදක් මං දකින්නෙ නෑ.
ඒ නිසා;
යම් ප්‍රකාශණයක අන්තර්ගතය ආගමික, වාර්ගික, බෙදුම්වාදී හෝ අන්තවාදී අදහස් සමාජගත කරයිද කියන සැකය ඇතිවූ අවස්ථාවලදී, එවැනි ප්‍රකාශන පරීක්ෂා කිරීම රජයක වගකීමක්. අපිට දැනට මේ සිදුවීමේ සැකයේ වාසිය ආණ්ඩුවට දෙන්න වෙනව.

පසුගිය සතියේ සිදුවීම;
කොළඹ ඩොක්යාඩ් PLC හි කොටස් 51% කට වැඩි ප්‍රමාණයක් ඉන්දියාවේ රජයට අයත් ආරක්ෂක නැව් නිෂ්පාදන සමාගමක් වන Mazagon Dock Shipbuilders Limited වෙත පැවරීම. මෙය නීතිමය සහ නියාමන ක්‍රමවේදයන් (CSE, SEC, BOI) හරහා අනුමත වූ කොටස් වෙළෙඳපල ගනුදෙනුවක් වුවද, එය උපායමාර්ගික වත්කමක් සම්බන්ධයෙන් ගත් තීරණයක්.

කොළඹ ඩොක්යාඩ් සමාගම යනු සාමාන්‍ය ව්‍යාපාරයක් නොව, ලෝකයේ වැදගත්ම නාවික මාර්ගයක පිහිටි උපායමාර්ගික වත්කමකි. මෙවැනි වත්කම් මගින් ආර්ථික වාසි පමණක් නොව, අවශ්‍ය අවස්ථාවලදී නාවික හා ආරක්ෂක වැදගත්කමක්ද ගොඩනැගිය හැක. එබැවින් එවැනි ආයතනයක හිමිකාරීත්වය ඉන්දියානු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට අයත් සමාගමකට පැවරීම, සම්මත ව්‍යාපාරික තීරණයකට වඩා, ජාතික ප්‍රතිපත්තිමය තීරණයක් ලෙස සැලකිය යුතුය.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් මතු වන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ, එය ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ හා විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයකට ලක්වූයේද යන්නයි. ඕස්ට්‍රේලියාවේ Foreign Investment Review Board වැනි ආයතන මගින් සිදුකරන ආකාරයේ, උපායමාර්ගික ආයෝජන සම්බන්ධයෙන් පැහැදිලි යුක්ති සහගත විමර්ශනක් (Due Diligence) සිදුවූ බවක් පෙනෙන්නට නැත.

විශේෂයෙන්, 51% කොටස් අත්පත් කරගැනීමෙන් පසු, ඉතිරි කොටස්ද වෙළඳපොළ හරහා ලබාගෙන සම්පූර්ණ පාලනයට යාමේ හැකියාව පවතින බැවින්, මෙය අර්ධ හිමිකාරීත්වයකට සීමා වූ ගනුදෙනුවක් ලෙස නොව, සම්පූර්ණ පාලන හැකියාවක් දක්වා විහිදිය හැකි ක්‍රියාවලියක් ලෙසද සැලකිය යුතුය.

මෙම සිදුවීම් දෙක එකට විග්‍රහ කළහොත්, පැහැදිලි විරුද්ධාභාසයක් පෙනී යයි. එක් පැත්තකින්, සාහිත්‍ය කෘති, කවි සහ නිර්මාණ ආරක්ෂක කාචයකින් දැඩිව පරීක්ෂා කෙරේ. අනෙක් පැත්තෙන්, වරාය හා නාවික වත්කම් වැනි උපායමාර්ගික සම්පත් විදේශ ආයෝජන ලෙස නිහඬව අනුමත කෙරේ.

එම තත්ත්වය මත මතු වන මූලික ප්‍රශ්නය වන්නේ, ශ්‍රී ලංකාවේ “ජාතික ආරක්ෂාව” යනු සෘජු හා ස්ථාවර මිනුම් දණ්ඩක්ද, නැත්නම් අවස්ථාව අනුව වෙනස්වන දේශපාලන මෙවලමක්ද යන්නය.

අපි “ජාතික ආරක්ශාව” ලෙස සලකන්නේ අපේ සහෝදර, සිංහලයාගෙන්, දෙමලාගෙන් සහ මුසල්මානුවාගෙන් ‍රටේ සමගියට, සංහිඳියාවට එල්ලවන තර්ජන වලට මුහුනදීම පමණද? සක්‍රීය හමුදා සේවයෙන් විශ්‍රාම ගිය, සීමිත දැණුමකට කොටුවූ පිරිසකට ජාතික ආරක්ශාව බාරදුන් රටක මීටවඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද??

අසංක දොඩම්තැන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here