තම අධ්‍යාපන ආයතනයේ සේවය කරන 21 හැවිරිදි තරුණයකුට පහර දීම සම්බන්ධයෙන් අධිකරණයට භාර වූ ටීචර් අම්මා යන අනුවර්ත නාමයෙන් හඳුන්වන හයේෂිකා ප්‍රනාන්දු නම් ශිෂ්‍යත්ව ටියුෂන් ගුරුවරියට එරෙහිව කටාන පොලිසිය මගින් පවරා ඇති නඩුව දෙසැම්බර් 10 වැනි දින (10/12/2025) කැඳවන ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද දින (17/09/2025) නියෝග කලේය.
මෙම පහරදීමේ සිදුවීම, සිදුව තිබුණේ ඉකුත් මැයි මාස 06 වැනි දින රාත්‍රී 9.45 ට පමන වන අතර එම සිදුවීම සම්බන්ධයෙන් පසුගිය මැයි මස 09 වැනි දින හයේෂිකා ප්‍රනාන්දු නමැත්තියට කටාන පොලිසියේ පෙනී සිටින ලෙසට දන්වා තිබුණත් එදින පොලිසිය හමුවේ පෙනී සිටියේ ඇගේ සැමියා සහ ඇගේ එම අධ්‍යාපන ආයතනයේ කළමනාකරුය.
ඒ අනුව කටාන පොලිසිය විසින් ඇගේ සැමියා සහ එම අධ්‍යාපන ආයතනයේ කළමනාකරුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.. මෙම සිදුවීම සම්බන්ධව
පොලිස් විමර්ශන සඳහා හයේශිකා ප්‍රනාන්දු නැමැත්තියව අවශ්‍ය කර තිබුනත් ,ඇය පොලිසිය මඟහැර සිටින බැවින් පොලිස් කණ්ඩායම් 03 ක් ඇයව සෙවිම සඳහාද යොදවා තිබුණි.
එවැනි පසුබිමක ඉකුත් මැයි 14 වැනි දින මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ ශලා අංක 02 වෙත පැමිණ, අසුන් ගෙන සිට නඩුව ආරම්භ වී සුළු වේලාවකදී නීතිඥවරුන් මගින් හයේෂිකා ප්‍රනාන්දු නමැත්තිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වී තිබිණි. එහිදී එම පහරදීමේ සිදුවීමට අනුබල දුන් බවට සැක කල තවත් සැකකරුවන් දෙදෙනෙකු ද ඇතුළුව හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය සහ එතෙක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඇගේ සැමියාත්, එලෙසම ඇගේ අධ්‍යාපන ආයතන කළමනාකරුත් ඇතුළු සැකකරුවන් 05 දෙනාව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ශරීර ඇප මත මුදා හැරිණි.
ඒ අනුව මෙම නඩුකරය අද දින (17/09/2025 ) මීගමුව, මහේස්ත්‍රාත් අධිකරණයේ ශාලා අංක 02 හීදී අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය ඉදිරියේදී යළි කැඳවූ අවස්ථාවේදී , එම නඩුව එළඹෙන දෙසැම්බර් 10 වැනි දිනට (10/12/2025) කල් තබන ලෙසට නියෝග කළාය. එලෙසම මෙම සිදුවීම සම්බන්ධව සවිස්තරාත්මක විමර්ශන වාර්තාවක් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද, මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් කටාන ,පොලිස් ස්ථානය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි පොලිස් නිලධාරීන්ට නියෝග කලාය.
හයේෂිකා ප්‍රනාන්දු පාර්ශවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටියහ. හයේෂිකා ප්‍රනාන්දු නමැත්තියගේ පහර කෑමට ලක් වූවා යැයි කියන 21 හැවිරිදි රිතික් ත්‍රිෂාල් නැමැති තරුණයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරනායක ඇතුළු නීතිඥ පිරිසක් පෙනී සිටියහ.
ඒ අනුව මෙම පහරදීමේ සිදුවීම සම්බන්ධ මීළඟ නඩු විභාගය එළැඹෙන දෙසැම්බර් 10 වැනි දින (10/12/2025) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වීමට නියමිතව ඇත.












