පසුගිය පෙබරවාරි 17 වෙනි දින නිල වශයෙන් ආරම්භ කරන ලද මීගමුව අධිකරණ සංකීර්ණය අසල නව ජැටිය හා බෝට්ටු දියත් කිරීමේ අංගනය ඉදිකිරීමේ කටයුතු මේ වන විට නවතා දමා ඇතැයි වාර්තාවේ.
එයට හේතු වන්නේ එම ජැටිය සහ බොට්ටු දියත් කිරීමේ අංගනය ඉදිකිරීමේ කටයුතු නිසා ඇතිවන ශබ්දය හේතුවෙන් එම ස්ථානය ආසන්නයේ පිහිටා ඇති අධිකරණ සංකීර්ණයේ විශේෂයෙන් මීගමුව මහාධිකරණයේ කටයුතු වලට බාධා සිදුවන නිසා ඒ පිළිබඳව මීගමුව මහාධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් නිසාවෙනි. වැඩිදුරටත් වාර්තා වන පරිදි මහාධිකරනයෙන් , මෙම ව්යාපෘතිය සිදු කරන අදාළ කොන්ත්රාත් සමාගමට සහ එහි සිටින වගකිවයුතු නිලධාරීන් වෙත දන්වා ඇත්තේ එම ජැටියේ සහ බෝට්ටු දියත් කිරීමේ අංගනයේ ඉදිකිරීම් කටයුතු, අධිකරණයේ රාජකාරිමය වැඩ කටයුතු සිදුකරන සතියේ දිනවල සිදු නොකර සති අන්ත දිනවල සහ රජයේ නිවාඩු දිනවල දී සිදු කරන ලෙසයි.
මේ පිළිබඳව පසුගිය 04 වැනි දින (04/03/2026) මීගමුව හින්දු සංස්කෘතික මධ්යස්ථාන ප්රධාන ශාලාවේදී පැවති මාර්තු මාසය සඳහා වන මීගමුව සංවර්ධන කමිටු රැස්වීමේ දී ද අවධානයට ලක් කෙරිණි.
එහිදී ධීවර අමාත්යාංශ කාර්යාලයෙන් පැමිණී නිලධාරීයෙකු ප්රකාශ කළේ මෙම ජැටිය සහ බෝට්ටු දියත් කිරීමේ අංගනය 2026 වසරේ එනම් මේ වසරේ දෙසැම්බර් මාස යේදී වැඩ නිමවා එම කටයුතු අවසන් කර භාර දිය යුතුව ඇති බවයි. එහෙත් මීගමුව මහාධිකරණය විසින් කල මෙම ඉල්ලීම නිසා මෙම ව්යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නියමිත කාලයට සිදුකළ නොහැකි වන බවත් ඔහු එහිදී ප්රකාශ කලේය. ඒ නිසා මෙය අමාත්යාංශ මට්ටමින් විසඳා ගත යුතු අතර එය මේ වන විට අමාත්යාංශය හරහා සිදුවන බවත් ඔහු වැඩිදුරටත් මෙහිදී පෙන්වා දුන්නේය. එලෙසම එම නිලධාරියා වැඩිදුරටත් අවධාරණය කළේ මෙම කටයුතු සම්බන්ධයෙන් ස්ථිර ලෙස නිගමනයකට පැමිණෙන තෙක් මෙම ජැටිය සහ බෝට්ටු දියත් කිරීමේ අංගණයේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව මේ වනවිට නවතා දමා ඇති බවයි.
ඒ අනුව, එදින පැවති මීගමුව සංවර්ධන කමිටු රැසීමෙන් පසුව එම කමිටු රැස්වීම සඳහා සහභාගි වූ කම්කරු නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ මහතා ද එම ස්ථානයට ගොස් නිරීක්ෂණයක යෙදුණු බවද පසුව වාර්තා විය.
මෙම ජැටිය සහ බෝට්ටු දියත් කිරීමේ අංගනය ඉදිකිරීම සඳහා ශ්රී ලංකා රජය මගින් රුපියල් මිලියන 318.49 මුදලක් වැය කිරීමට ඇස්තමේන්තු ගත කර තිබේ.
ඒ අනුව පසුගිය පෙබරවාරි 17 වැනිදා මෙම නව ජැටිය සහ බෝට්ටු දියත් කිරීමේ අංගනය ඉදිකිරීමේ සමාරම්භක අවස්ථාවට ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් මහතා සහ නියෝජ්ය අමාත්ය රත්න ගමගේ මහතා ඇතුළු ආරාධිතයින් පිරිසක් ද සහභාගි වූහ.














