පහර දීමක් නිසා ගැබිණියක් රෝහල් ගත කරයි

0
517
ඡායාරූපය සිදුවීමට අදාළ නොවේ

 

මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇති වු සිද්ධියකට අදාලව, දරුවෙක් ලැබීමට සිටි ගැබිණි කාන්තාවකට පහර දුන්නේ යයි කියන කාන්තාවක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙලෙස පහර දී ඇත්තේ මාස 08 ක ගැබිණි කාන්තාවකට බවත් එම පහර දීමෙන් ඇතිවූ කම්පනය හේතු කොට ගෙන නොමේරූ දරු උපතක් සිදුවූයේ යැයි කියන එම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ එම කාන්තාව එළඹෙන නොවැම්බර් 04 වෙනිදා (04/11/2025) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා ඊයේ දින එනම් 2025/10/28 වැනි දින නියෝග කළේය.

මෙලෙස නියෝග කලේ මීගමුවේ ධීවර ගම්මානයක් වූ මීගමුව,කුට්ටිදුව ප්‍රදේශයේ, සෙල්බි පාරේ පදිංචි කාන්තාවටය.

සැකකාරියගේ හා පැමිණිලිකාරියගේ නිවාස මෙම ගම්මානයේ ඉතාම ලඟින් පිහිටා ඇත. මෙම කාන්තාවන් දෙදෙනාම එක්ව සීට්ටු දැමීමේ ක්‍රමයක් පවත්වාගෙන ගොස් තිබේ. මෙම සීට්ටුව සම්බන්ධයෙන් ඇතිවූ මුදල් ගනුදෙනුවක ප්‍රශ්නයක් දුර දිගයාමෙන් මෙම පහරදීම සිදුවී ඇතැයි පොලිසියට කරුණු වාර්තා වී තිබිණි. මෙලෙස ,පහර කෑමට ලක් වූ මාස 08ක ගැබිනි කාන්තාවට එම අවස්ථාවේ ඇතිවූ කම්පනය සහ උදරාබාධය හේතුකොට ගෙන මීගමුව දිස්ත්‍රික් මහා රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී නොමේරු දරූ උපතක් සිදුව තිබේ. මේ වන විට එලෙස උපන් දරුවා නොමේරු ළදරු ඒකකයට ඇතුලත් කර ඇති අතර එම මව (පැමිණිලි කාන්තාව) වෙනත් වාට්ටුවකට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව ද වැඩිදුරටත් වාර්තා වුණි.
මෙම සිදුවීම සම්බන්ධව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගයේදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අනූෂා හලහකෝන් මහත්මිය පවසා සිටියේ තම සේවාදායිකාව දරු ප්‍රසූතියකට ආසන්නව සිටියදී මෙලෙස පහර කෑමට ලක්ව ඇති බවයි, එලෙසම නීතිඥවරිය එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ කතා බහ කර විසඳගත යුතු ප්‍රශ්නයක් මෙලෙස විසඳාලීමට යාම බරපතල ප්‍රශ්නයක් බවයි.
,මීගමුව පොලිසියේ විවිධ පැමිණිලි අංශය විසින් අධිකරණයට මේ සිදුවීම සම්බන්ධව වැඩිදුරටත් කරුණු වාර්තා කළේය.
ඒ අනුව මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා, එම ගැබිණි කාන්තාවට පහර දුන් කාන්තාව එළඹෙන නොවැම්බර් 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය. ඒ අනුවමෙම සිදුවීම සම්බන්ධව ඊළඟ නඩු වාරය එළඹෙන නොවැම්බර් 04 වෙනි දින පැවැත්වීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here