2026 වසරේ ප්‍රථම මීගමුව සංවර්ධන කමිටු රැස්වීම අද දින (28/01/2026) පෙරවරුවේදී, මීගමුව වැල්ලවීදිය, හින්දු සංස්කෘතික ශාලාවේදී පැවැත්විණි. ඒ මීගමුව භාර පාර්ලිමේන්තු මන්ත්‍රී, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්ත මහතා, ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය, නාගරික කොමසාරිස් නුවණී සුදුසිංහ මහත්මිය , නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා සහ නියෝජ්‍ය නගරාධිපති, චාමර ප්‍රනාන්දු මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසකගේද සහභාගිත්වයෙනි.
ඒ අනුව මීගමුවේ පවත්වනු ලබන සංවර්ධන කමිටු රැස්වීමකට ප්‍රථම වතාවට අද දිනයේ මීගමුව මහා නගර සභා විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහභාගි වීම ද මෙහිදී කැපී පෙනෙන සිදුවීමක් විය. මෙතෙක් කලක් පවත්වනු ලැබූ කිසිදු සංවර්ධන කමිටු රැස්වීමකට ආණ්ඩු පක්ෂයේ හැර විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුට හෝ මන්ත්‍රීවරියකට සහභාගී වීමට අවස්ථාවක් හිමි නොවූ බවද වාර්තා විය. ඒ අනුව අද දින පවත්වනු ලැබූ මේ වසරේ ප්‍රථම සංවර්ධන කමිටු රැස්වීම සඳහා මීගමුව මහා නගර සභාවේ විපක්ෂය නියෝජනය කරන ස්වාධීන කණ්ඩායම් නාගරික මන්ත්‍රී සජිත් මෝගන් මහතාට සහ විපක්ෂයේ සමගි ජන බලවේග පක්ෂයේ විපක්ෂ නාගරික මන්ත්‍රී මොහොමඩ් නුස්රි මහතාට ද මෙම රැස්වීම සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වූහ.

පසුගිය කාලයේ මීගමුවේ දේශපාලන කවයන් තුළ දැඩි ලෙස සාකච්ඡාවට බඳුන් වු විශේෂිත මාතෘකාවක් බවට පත් වූයේ ද මීගමුව ප්‍රදේශයට අදාළව පවත්වනු ලබන සංවර්ධන කමිටු රැස්වීම් සඳහා විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකුට ආරාධනා නොලැබෙන බවයි .
එහිදී මීගමුවේ විපක්ෂ දේශපාලන ක්‍රියාධරයන්ගෙන් , සංවර්ධන කමිටු රැස්වීම් මෙහෙය වන මීගමුව, ප්‍රාදේශීය ලේකම්වරියටද විවිධාකාරයේ චෝදනා එල්ල විය. එහෙත් එහිදී ප්‍රාදේශීය ලේකම්වරිය ප්‍රකාශ කර සිටියේ ,සංවර්ධන කමිටු රැස්වීම් සඳහා සහභාගී වීමට විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකුටද අවස්ථාව ඇති බවයි. , ඒ පිළිබඳව සංවර්ධන කමිටු රැස්වීම් පැවැත්වීම සඳහා රජය මගින් නිකුත් කර ඇති චක්‍ර ලේඛනයේ වගන්ති ප්‍රකාරව , විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු නම් කිරීම සඳහා නගරාධිපතිවරයාට අවස්ථාව ලබා දී ඇති බවත්, ඒ අනුව නගරාධිපතිවරයා නම් කරන විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට සංවර්ධන කමිටු රැස්වීම් සඳහා සහභාගි විය හැකිි බව ප්‍රාදේශීය ලේකම්වරිය එහිදී වැඩිදුරටත් කරුණු දක්වා තිබිණි.
මේ පිළිබඳව මීගමුව නගරාධිපති රොබට් හින්කන්ද මහතා ද පවසා තිබුනේ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් පොදු එකඟතාවයකට පැමිණ සංවර්ධන කමිටු රැස්වීම් සඳහා සහභාගී වන විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් තමා වෙත ලබා දෙන්නේ නම්, නගරාධිපතිවරයා ලෙස සංවර්ධන කමිටු මාසික රැස්වීම් වලට සහභාගි වන විපක්ෂ නාගරික මන්ත්‍රීන් දෙදෙනා ලෙස ඔවුන්ව නම් කළ හැකි බවයි.ඒ අනුව එහිදී නගරාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේ, විපක්ෂයේ කාර්ය භාරය තමන්ට සිදු කළ නොහැකි බවත් , විපක්ෂය නම් කරන නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකුව සංවර්ධන කමිටු මාසික රැස්වීම සඳහා තමන්ට යෝජනා කළ හැකි බවයි.
ඒ අනුව සජිත් මෝගන් සහ මොහොමඩ් නුස්රි විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනා මීගමුව තුළ පවත්වනු ලබන සංවර්ධන කමිටුව රැස්වීමක් සඳහා ප්‍රථම වරට සහභාගී වන විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනා බවට පත් වුහ.












