පිටිපන ලෙල්ලම ඉදිරිපිට මාර්ගය ටෙන්ඩර් කිරීමට එරෙහිව ලබා දුන් නඩු තීන්දුව සභාගත කිරීමේදී , මත ගැටුමක් ???

0
361

 

පිටිපන ලෙල්ලම යනු මීගමුව ප්‍රදේශය තුළ ඉතා ප්‍රකට ස්ථානයකි. එලෙසම එක් අතකින් එය මීගමුවේ ප්‍රධානතම ආර්ථික මරණස්ථානයක් ලෙසද හැඳින්විය හැකිය. ඒ නිසාම මෙම ලෙල්ලම පිහිටි භූමියේ ඉදිරිපිට මාර්ගයෙහි වෙළඳාම් කටයුතු කිරීමට සහ වාහන නවතා තැබීම වෙනුවෙන් රථ ගාල් පවත්වාගෙන යෑමට, ටෙන්ඩර් කර බදු දීම තහනම් කරමින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් 2011 වසරේදී අධිකරණ නියෝගයක් ( B-751 / 11 ) ලබා දී තිබේ. එහෙත් මෑතකදී මීගමුව මහා නගර සභා පාලනය මගින් සභා තීරණයක් ගෙන මෙම ලෙල්ලම ඉදිරිපිට මාර්ගය පෞද්ගලික බදුකරුවෙකුට ටෙන්ඩර් මගින් ලබා දී තිබේ.

IMG 20260109 WA0011

ඒ අනුව ඊයේ දින (08/01/2025) පෙරවරුවේ මීගමුව මහා නගර සභාවේ පැවති ජනවාරි මස මාසික මහා සභා රැස්වීමේදී එම නඩු තීන්දුවේ පිටපතක් අන්තර්ජාලය තුළින් බාගත කර ගත්තේ යැයි පවසමින්, සමගි ජන බලවේග පක්ෂයේ, ( විපක්‍ෂ ) නාගරික මන්ත්‍රීනි දිළිනි ජයකොඩි මහත්මිය විසින් එය සභාගත කිරීමට සූදානම් විය.එහෙත් ඒ මොහොතේ නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා ඒ සඳහා අවසර ලබා නොදුන් අතර ඔහු එහිදී ප්‍රකාශ කළේ මෙය සභාගත කරන්නේ මහජනතාවගෙන් ලද පෙත්සමක්, ලිපියක් හෝ සංදේශයක් ලෙස නම් එහි එම පුද්ගලයාගේ හෝ පුද්ගල කණ්ඩායමේ නම සහ ලිපිනය සඳහන් විය යුතු බවයි. එලෙස නම සහ ලිපිනය සඳහන් නොමැති නම් එය මේ මොහොතේ සභාගත කිරීමට නොහැකි බව ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

එලෙස එම නඩු තීන්දුවේ පිටපත සභාගත කිරීමට අවසර නොලැබීමෙන් පසු දිලිණි ජයකොඩි විපක්ෂ මන්ත්‍රීවරිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ලෙල්ලම ඉදිරිපිට ඇති මාර්ගය ආශ්‍රිත ප්‍රදේශය මීගමුව මහා නගර සභාවට අයත් දේපලක් නොවන බවයි. එලෙස මහා නගර සභාවට අයත් නොවන දේපලක් බදු දීම සම්බන්ධව අධිකරණය විසින් තහනම් කර තීන්දුවක් ලබා දී තිබියදී , එලෙස අධිකරණයෙන් ලබා දුන් තීන්දුවකට ඉහළින් පළාත් පාලන ආයතනයකට ක්‍රියාත්මක විය හැකිද ?යන්න ඇය ප්‍රශ්න කර සිටි. එලෙසම එහිදී ඇය වැඩිදුරටත් පැවසුවේ මේ පිළිබඳව දුංගල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරියගෙන්ද තමන් විමසූ බවයි. එමෙන්ම නීතිය ගැන හොඳින් දන්නා දක්ෂ නීතිඥවරයකු වන වර්තමාන මීගමුව නගරාධිපතිවරයා අධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් දැඩි කුතුහලයක් පැන නැගෙන බව දිලිණි ජයකොඩි විපක්ෂ මන්ත්‍රීවරිය මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළාය..

IMG 20260109 WA0010

ඉන් අනතුරුව මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වු මීගමුව නගරාධිපති රොබට් හින්කෙන්ද මහතා ප්‍රකාශ කලේ නීතියට ඉහළින් කිසිවෙකු නොමැති බවත් අප සියලු දෙනාම සිටිය යුත්තේ නීතියට පහළින් බවයි. එහෙත් එවැනි නඩු තීන්දුවක් ඇති බවට තමා නිශ්චිතව දැනුවත්ව නොසිටි බවත්, මේ පිළිබඳව තමන් දැන ගත්තේ ද අද දවසේ සභාව තුළ සිදුවූ කතිකාවෙන් පසුව බවත් ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. තවද නගරාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ දිලිණි ජයකොඩි විපක්ෂ මන්ත්‍රීවරියිය විසින් මෙය සභාගත කළ ආකාරයේ වරදක් ඇති බවයි. කෙසේවුවද නගරාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ මෙම ලෙල්ලම ඉදිරිපිට මාර්ගය සභා තීන්දුවක් අනුව ටෙන්ඩර් කිරීමකට ලක් කර ඇති බවත් ඒ පිළිබඳව සොයා බලා එලෙස නඩු තීන්දුවක් තිබේ නම්, පෙර සභාව විසින් ගත් එම තීන්දුව පරිචින්න කර අදාළ නඩු තීන්දුව අනුව කටයුතු කරන බවයි.

((( කෙසේ වුවද පසුව එනම් ඊයේ දින (08/01/2026) පැවති මීගමුව මහා නගර සභාවේ ජනවාරි මස මහා සභා රැස්වීමෙන් පසු පැවති කාරක සභා අවස්ථා වලින් අනතුරුව , නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා , විශේෂ අවශ්‍යතාවයක් ලෙස සලකා පිටිපන ලෙල්ලම ඉදිරිපිට මාර්ගය ටෙන්ඩර් කිරීමට විරුද්ධව ලබා දී ඇති නඩු තීන්දුව සභාගත කිරීමට දිළිණි ජයකොඩි විපක්‍ෂ මන්ත්‍රීවරියට අවසර ලබාදුන් බවද වාර්තා වුණි. )))

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here