සිර දඬුවමකට ලක්වී බන්ධනාගාර ගතව සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ9 ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කොට , ගිහි ඇඳුමකින් අධිකරණයට ඉදිරිපත් කිරීමට එරෙහිව මීගමුව නගරයේ දී සාමකාමී විරෝධතා පා ගමනක් අද දින (13/10/2026) සවස සංවිධානය කර තිබුණි. මෙම පා ගමන සංවිධානය කරනු ලැබුවේ මීගමුව, කඩොල්කැලේ දුටුගැමුණු විහාරයේ විහාරාධිපති පූජ්‍ය සාසනසිරිතිස්ස නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙනි.
මෙම විරෝධතාව සඳහා මීගමුව අවට විහාරස්ථානවල ගරු භික්ෂූන් වහන්සේලා පිරිසක් වැඩම කර සිටි අතර, දුටුගැමුණු විහාරයේ දායක සභාවේ සාමාජික සාමාජිකාවන් සහ ප්‍රදේශවාසී ගිහි ජනතාව විශෙෂයෙන්ම මීගමුව නගරවාසී බෞද්ධ ජනතාව විශාල පිරිසක් ද මෙම විරෝධතා පා ගමන සඳහා එක්ව සිටියහ. පසුගියදා පුජ්‍ය ඥානසාර හිමියන්ට මුහුණ දීමට සිදුවු බන්ධනාගාර ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් සිය විරෝධය හා අසතුට පළකිරීම, මෙම පා ගමනේ ප්‍රධාන අරමුණ විය.

පා ගමන ආරම්භයේ සිටම අහස් කුස වැසි වලාකුළුවලින් බර වී තිබූ අතර, පා ගමන ගමන් ගන්නා අතරතුරදී මද වර්ෂාවක්ද ඇති විය. එසේ වුවද, පා ගමන සඳහා සහභාගී වූවන් මඳ වර්ෂා තත් වය නොතකා තම විරෝධය අඛන්ඩවම පවත්වාගෙන ගියේ දැඩි අධිෂ්ඨානයකින් යුතුවය.
මෙම පා ගමන මීගමුව නගරය හරහා ගමන් කර, අවසානයේදී මීගමුව දුම්රියපොළ අසල පිහිටි බෝධි විහාරය වෙත ළඟා විය. එහිදී, ගරු භික්ෂූන් වහන්සේලා සහ ගිහි ජනතාව එක්ව ආගමික වතාවත් සිදු කළ අතර, පූජ්‍ය ඥානසාර හිමියන්ට ආශිර්වාද එක් කරමින් සහ උන්වහන්සේට එල්ල වී ඇති අභියෝග ජය ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් විශේෂ පූජාවක් ද පැවැත්වූහ. ආගමික වතාවත් නිමාවීමෙන් පසු සාමකාමීව මෙම විරෝධතා පා ගමන අවසන් කලහ.
මීගමුව නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුනු මෙම විරෝධතා පා ගමනත් එලෙසම මේ දිනවල රටේ සෑම ප්‍රදේශයකම පැවැත්වෙන පූජ්‍ය ඥානසාර හිමියන් වෙනුවෙන් පවත්වන මෙවැනි විරෝධතා පා ගමන් වලින් ද පෙන්නුම් කරන්නේ පුජ්‍ය ඥානසාර හිමියන් සම්බන්ධයෙන් බලධාරීන් විසින් ගනු ලබන ක්‍රියාමාර්ගයන් පිළිබඳව සමාජයේ විශාල පිරිසක් තුළ ප්‍රබල විරෝධයක් නැඟෙමින් පවතින බවයි..
සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු .



















