“” පුනරුදයේ පුරවර “” පෙරදැරිව කටානේදී පළාත් පාලන සතිය ඇරඹේ. ..

0
13

.

 

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ, “පුනරුදයේ පුරවර” යන දැක්ම මූලික කර ගනිමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ මඟ පෙන්වීමෙන් සංවිධානය කෙරෙන පළාත් පාලන සතිය, ඊයේ දින (14/09/2026 ) කටාන ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් ආරම්භ විය. ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපුරාලීමට සහ ජීවත්වන වටපිටාව සුරක්ෂිත කිරීම අරමුණු කරගත් මෙම සතිය එළඹෙන සැප්තැම්බර් 18 වැනිදා දක්වා පැවැත්වේ.

කටාන ප්‍රාදේශීය සභා සභාපතිනී නිශානි ඉරේෂා ජයකොඩි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමාරම්භක උත්සවයට, ප්‍රාදේශීය සභාවේ ලේකම් එම්.ඒ.එස්. සමන්ත මහතා, කටාන ප්‍රාදේශීය ලේකම් සුමුදු අතුකෝරාල මහත්මිය සහ ප්‍රාදේශීය සභා උප සභාපති අජිත් ප්‍රියදර්ශන මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියහ. එලෙසම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ, කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙන්ම කටාන ප්‍රාදේශීය සභාවේ ද නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩල සමාජික සමාජිකාවන් ලබාදුන් සහයෝගීතාව ද මෙම වැඩසටහනේ සාර්ථකත්වයට හේතු වී තිබිණි.

පළාත් පාලන සතියේ සමාරම්භක දිනය වූ ඊයේ දින එනම් සැප්තැම්බර් 14 වැනිදා, “ජංගම සේවා හා ආදායම් ප්‍රවර්ධන දිනය” ලෙස නම් කර තිබූ අතර, ඊට සමගාමීව පළාත් පාලන ආයතනවල සේවාවන් මහජනතාවට සමීප කරවීම සඳහා උප කාර්යාල මට්ටමින් ජංගම සේවාවන්ද පවත්වන ලදී. මෙය, රජය ජනතාව වෙත රාජ්‍ය සේවාවන් සමීප කිරීමට දක්වන කැපවීම මනාව පිළිඹිබු කරන්නක් විය.

“පුනරුදයේ පුරවර” යන දැක්ම යටතේ ක්‍රියාත්මක වන මෙම පළාත් පාලන සතිය තුළින්, ප්‍රදේශවාසීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා පළාත් පාලන ආයතනවල කාර්යභාරය තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ. ඉදිරි දින කිහිපය තුළ ද විවිධ වැඩසටහන් සහ ජංගම සේවාවන් පැවැත්වීමට නියමිත අතර, එයින් ප්‍රදේශයේ සංවර්ධනයට සහ ජනතා සුබසාධනයට විශාල පිටිවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here