මීට වසර 19 කට පමන පෙර එනම් 2006 වසරේ සිදු වු ගිනි අවි ආඥා පනතට යටත් වන සිදුවීමකට අදාළව හිටපු අමාත්‍ය නිමල් ලංසා සමඟ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ මීගමු මහා නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් වන බන්දුල නාඔටුන්න නැමැත්තාව, රුපියල් ලක්‍ෂ 02 බැගින් වන ශරීර ඇප 02 ක් යටතේ ඇප මත මුදා හැරීමට අද දින (12/09/2025) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදී. ඒ එම සිදුවීමට අදාළව තවත් එක් නඩු වාරයක් අද (12/09) දින පෙරවරුවේදී මීගමුව, ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.
බන්දුල නාඔටුන්න හිටපු නගරික මන්ත්‍රීවරයා සමග අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය නිමල් ලංසාව පසුගිය 08 වැනි (08/09) දින මීගමුව මහාධිකරණය විසින් රුපියල් ලක්‍ෂ 02 බැගින් වන ශරීර ඇප 02 ක් යටතේ ඇප මත මුදා හැරිණි.
2006.03.08 දින රාත්‍රි 10.30ට පමණ කොච්චිකඩේ පල්ලන්සේන ප්‍රදේශයේ, ජොසප් මයිකල් පේරේරා මාවතේ නිවසකට ඇතුළු වී දේපල මංකොල්ලකෑම සහ අහසට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් 19 දෙනෙකු සැකකරුවන් කර නඩු පවරා ඇති අතර එම නඩුව පසුගිය සැප්තැම්බර් 28 වනදා (28/09 /2025 ) නීතිපතිවරයාගේ උපදෙස් මත හිටපු අමාත්‍ය නිමල් ලන්සා සහ හිටපු නාගරික මන්ත්‍රී බන්දුල නාඔටුන්න යන පුද්ගලයන් දෙදෙනා අත තුවක්කු තිබු බවට සාක්ෂිකරුවන් තිදෙනෙකුගේ සාක්ෂි ප්‍රකාශ මත ඔවුන් දෙදෙනා සැකකරුවන් ලෙස නම් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි ඒ අනුව පසුගිය සැප්තැම්බර් 29 වන දින (29/08) කොච්චිකඩේ පොලිසියට පැමිණීමෙන් පසු ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන මීගමු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව ගිනි අවි අඥා පනතේ 26 වෙනි වගන්තිය ප්‍රකාරව වැරදි සිදුව ඇති බවත්, තව දුරටත් විමර්ශන සිදු වන බැවින් සාක්ෂිකරුවන්ට බලපැම් සිදු විය හැකි බැවින් නිමල් ලන්සාව සහ බන්දුල නාඔටුන්න යන දෙදෙනාව එදින රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී
ඒ අනුව මෙම නඩු වාරය අද දින (12/09) විභාගයට ගැනුණු අවස්ථාවේ, ඇප මත මුදා හැර ඇති හිටපු අමාත්‍ය නිමල් ලන්සා අධිකරණය හමුවේ පෙනී සිටි අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බන්දුල නාඔටුන්න නමැති හිටපු නාගරික මන්ත්‍රීවරයාව බන්ධනාගාර නිලධාරින් විසින් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. තවද මෙහිදී අධිකරණය වෙත කරුණු දැක්වූ පොලිස් නිලධාරීන් “බී” වාර්තාව අනුව සාක්ෂි සම්පින්ඩනය කරමින් සකස් කළ වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළහ. එහිදී විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් විශේෂයෙන්ම රක්ෂිත බන්ධනාගාර ගතව සිටි බන්දුල නාඔටුන්න හිටපු නගරික මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ බන්දුල නාඔටුන්න ඇතුළු විත්තිකාර පාර්ශ්වයෙන් මෙම සිදුවීමට අදාළ විමර්ශන කටයුතු සඳහාත්, එහි සාක්ෂිකරුවන් සඳහාත් කිසිදු බලපෑමක් එල්ල කර නොමැති තත්ත්වයක් මත සහ මෙම සිදුවීමට අදාළව කිසිදු මහජන කැලඹීම් තත්ත්වයක් ඇති නොවුණු නිසාද රක්ෂිත බන්ධනාගාරගතව සිටින බන්දුල නාඔටුන්න නමැත්තාව ඇප මත මුදා හරින ලෙසයි.
ඒ අනුව මීගමුව, ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා රුපියල් ලක්ෂ 02 ක බැගින් වන ශරීර ඇප 02 ක් යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු මීගමුව නාගරික මන්ත්‍රී බන්දුල නාඔටුන්න නැමැත්තාව ඇප මත මුදා හැරීමට නියෝග කළේය.
පොලිසිය පාර්ශ්වය වෙනුවෙන් මීගමුව සහකාර පොලිස් අධිකාරී ආර්.එම්.බී.ජී. රත්නායක මහතා සහ කොච්චිකඩේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සී.ටී.සේනානායක මහතා ඇතුළුව අධිකරණයට කරුණු වාර්තා කළහ.
හිටපු අමාත්‍ය නිමල් ලන්සා වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතාද , බන්දුල නාඔටුන්න හිටපු නාගරික මන්ත්‍රීවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාද පෙනී සිටි අතර එම විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් ශාන්ත නිරිඇල්ල සහ ඉන්දික සිල්වා ඇතුළු තවත් නීතිඥයින් පිරිසක්ද පෙනී සිටියහ.
මෙම සිදුවීමට අදාළව ඊළඟ නඩු වාරය එළඹෙන ඔක්තෝබර් මස 30 වැනි (30/10/2025) දින යළි විභාගයට ගැනීමට නියමිතව ඇත. එදින හිටපු අමාත්‍ය නිමල් ලංසා ඇතුළු මෙම සිදුවීමට සම්බන්ධව දැනට චෝදනා ලැබ සිටින සියලු සැකකරුවන් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට නියමිතව ඇති බවද වාර්තා වුණි.












