මිගමුව ගැන – මට හිතෙන හැටි

0
817

“මිගමුව ගැන මට හිතෙන හැටි “සංවාද මාලාව මිගමුව අළුතින් ගොඩගැනිම  සඳහා මඟපෙන්වන අත්වැලක්.

මෙවර අප සංවාදයට එක් කරගත්තේ.මිගමුවේ ප්‍රකට ව්‍යාපාරිකයෙක්.මිගමුව ගැන එදාත් අදත් අළුතින් හිතන කෙනෙක්.

ඇපලෝ වර්ණ රසායනාගාරයේ අධිපති  මොහාන් මහතා මිගමුවේ පමණක් නොව ජාතික හා ජාත්‍යන්තරයත් එක් බැඳුන සාර්ථක ව්‍යාපාරිකයෙක්.

පහත පළවන්නේ අප  ඔහු සමඟින් කළ දිගු සංවාදයක  කෙටි සටහනකි.

මීගමුව නගරයේ අපිළිවෙල

මීගමුව නගරය ගත්තහම පසුගිය කාලවකවානුත් එක්ක බැලුවහම යම් පිබිදීමක් තියෙනවා. නගරය තුළ අපි මා දකින පළවෙනිම දේ තමයි නිසි පිළිවෙළකට නොමැතිව යම් ආකාරයක අපිළිවෙලකට තමයි නගරය දැන් ගොඩනැගිලා තියෙන්නේ. මම දන්නේ නැහැ ඒකට කවුද හරියටම වගකියන්න ඕනේ කියලා.

ඒකට නගරයේ ව්‍යාපාරිකයෝ සෑහෙන ප්‍රමාණයකුත් වගකිව යුතුයි, කියලත් මට හිතෙනවා. දැන් බලන්න හැන්දෑවේ 6.00, 7.00 වෙද්දි නගරයේ කඩ සාප්පු වහලා දානවා.IMG 20251027 WA0020

නයිට් ලයිෆ් එකක් නෑ

නයිට් ලයිෆ් එකක් ඇත්තෙම නැහැ. අඩුම ගානේ 9.00, 10.00 වෙනකම්වත් කඩ සාප්පු ඇරලා තියන්නේ නැහැ.. හේතුව මොකද කිව්වොත් රටේ තියෙන තත්ත්වය අනුව මිනිස්සුන්ට රෑට යන්න එන්න බස් නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපේ මේ ව්‍යාපාරික ස්ථානයට ගෑණු ළමයෙක් වැඩට ගන්න විදිහක් නෑහැ
මොකද අපි එයාගෙන් පළමුවෙන්ම අහන්නේ 8.30 විතර වගේ වෙනකල් වැඩ කරන්න පුළුවන්ද කියලා., නමුත් ඇය කියන්නේ බැහැ කියලා , මොකද වැඩ ඇරිලා යන්න බස් නෑහැ.ඉතිං අපිටත් සිද්ධ වෙනවා සේවකයෝ ඉන්නේ නැති නිසා රෑ වෙන කල් වැඩ කරන්නේ නැතිව සවස 5.00, 6.00 වෙද්දි මේ ව්‍යාපාරික ස්ථාන වහලා දාලා අපිටත් යන්න සිද්ධ වෙනවා.

ඉතින් ඔය ප්‍රශ්නයට යම් විසඳුමක් ලබාදිය යුතුයි. ඒකට යම් පිළිවෙලක් අනුව සැලසුම් සකස් කරලා ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ ඒකට බලධාරීන් තමයි මූලිකත්වය ගන්න ඕනේ.

නගරයේ අනවසර ඉදිකිරීම්

අනවසරයෙන් ඉදිකරන ලද කඩ බොහොමයක් තියෙනවා, පසුගිය පාලන කාලයන්වලදී ඒ ඒ හිතවත්කම් මත දේශපාලන බලපෑම් මත ඉදිකරලා තියෙන්නේ. ඉතින් ඕවා අයින් කරනවා කියන එකත් ලේසි නැහැ. එක පැත්තකින් ඒක මානුෂික ප්‍රශ්නයක්. එක් පැත්තකින් කාලයක් තිස්සේ එවැනි සථානවල ඉන්න කොට යම් බැඳීමකුත් ඇතිවෙනවා.එවැනි අවස්ථාවල ඒ අයව ඉවත් කරනවා කියන එක උසාවි ගිහින් නඩු දාලා, එවගේ නීතිමය ක්‍රමවේදයකට තමයි සිදු කළ යුත්තේ. මේවා පියවරෙන් පියවර ක්‍රම ක්‍රමයෙන් තමයි සිදුවිය යුත්තේ .මේවා අර හදිස්සියේ කරන්න පුළුවන් දේවල් නෙමෙයි.මොකද මේවා එක පැත්තකින් මානුෂීය ප්‍රශ්න. මේ නිසා මේ ප්‍රශ්න විසඳාගත යුත්තේ බොහොම ටිකෙන් ටික.

දැන් මෙහෙම දෙයක් ගන්නකෝ දැන් මීගමුවේ තියෙනවානේ නයිට් බසාර් එකක්. ඔය නයිට් බ්‍සාර් එක දීලා තියෙන්නේ කොන්ත්‍රාත් ක්‍රමයටනේ. දැන් කොන්තරත් ක්‍රමයට තියෙද්දි අපි දන්නවා මෙච්චර මුදලක් නගර සභාවේ ආදායමකට එකතු වෙනවා කියලා නමුත් නගර සභාවෙන් කරන්න ගියොත් කොන්ත්‍රාත් නොදී. එතකොට ලැබෙන ආදායම ගැන අපිට හරියටම නිශ්චිතව කියන්න පුළුවන්කමක් නැහැ. එහෙම වුණොත් ඒක නගර සභාවේ ආදායමට නිශ්චිත ගානනක් එකතු වෙනවා කියලා අපිට ස්ථිරව ප්‍රකාශ කරන්න පුළුවන්කමක් නැහැ. මේ කොන්ත්‍රාත් ගත්තහම ඒකේ වාසි සහ අවාසි දෙකම තියෙනවා. එවගේ ප්‍රශ්නයකදී ස්ථීරව මෙච්චර මුදලක් ආදායමට එකතු වෙනවා කියලා අපිට කියන්න පුළුවන්කමක් නැහැ, ඉතින් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි මම කලිනුත් කිව්වේ මේ වගේ ප්‍රශ්න ටිකෙන් ටික තමයි විසඳගත යුත්තේ.

අනිත් එක තමයි ප්‍රධාන වශයෙන්ම මේ නගර සභා සීමාව තුළ වෙළඳාම් කරන, ව්‍යාපාර කරන සියලුම ව්‍යාපාරිකයෝ නගර සභාවේ තීන්දු තීරණවලට යම් අවනත වීමක් තිබිය යුතුයි. නැත්නම් නගර සභාවට ඒ නගරයේ පාලනය හරියට කරගන්න බැරි වෙනවා.

නගරයේ රථවාහන ගාල් කිරීම.

නගරය තුළ රථ වාහන ගාල් කිරීමේදී කිසිදු නිසි ක්‍රමයක් හැඩයක් ලස්සනක් කියන දෙයක්, මුකුත්ම නෑහැ. තමන්ට කැමති තැන්වල තමන්ට අවශ්‍ය පිළිවලට නතර කරලා ඔහේ යනවා. ඉතින් ඒවා යම් පිළිවෙලකට හදන්න ගියාහම බොහෝ ව්‍යාපාරිකයෝ විරුද්ධ වෙනවා. නගරයේ බොහෝ පාරවල් පටුයි. දැන් මේ පාරවල් දෙපැත්තෙම වාහන නතර කරන්නේ නැතුව එක්කෝ එක පැත්තක හරි නැත්නම් ඔත්තේ ඉරට්ටේ පිළිවෙලට හරි නැත්නම් අර අපි කියන්නේ පොල් අත්තේ පිළිවෙලට හරි යම් ක්‍රමවේදයකට තමයි මේ වාහන නගරය තුළ නතර කළ යුත්තේ. නමුත් ඒ මොකක් හරි ක්‍රමවේදයකට මේක කරන්න හදපුවහම බොහෝ ව්‍යාපාරිකයෝ මේකට අකමැති වෙනවා. මේකට විරුද්ධ වෙනවා. සමහර අය ඉල්ලන්නේ දෙපැත්තේම වාහන නතර කරන්න ඉඩ දෙන්න කියලා. “වන් වේ” ක්‍රමයකට ඒ කියන්නේ ඒක මාර්ගින ක්‍රමයකට ත් බොහෝ ව්‍යාපාරිකයෝ කැමති නෑහැ. අවිධිමත් විදිහට තමයි සමහර ව්‍යාපාරිකයොත් කැමති. ව්‍යාපාරිකයන් බොහෝ විට නම්‍යශීලී නැහැ. අපි වෙළඳ සංගම්වල ඉඳගෙන මේ වගේ අලුත් යෝජනා ගෙනල්ලා ,ඒවා ක්‍රියාත්මක කරමු කියලා කිව්වොත් සෑහෙන පිරිසක් ඒවට විරුද්ධ වෙනවා. සමහර වෙලාවට පෞද්ගලිකව අප සමඟත් විරුද්ධ වෙන අවස්ථා තියෙනවා.

නගරයේ පදික වේදිකා.

අනිත් කරුණ තමයි දැන් මේ නගරයේ තියනවනේ පේමන්ට් ඒ කියන්නේ මේ පදික වේදිකා. නමුත් අද වෙද්දි බලන්න ඒ පදික වේදිකාවල අනවසර ඉදිකිරීම් තියෙනවා. ඒවගේම බොහෝ තැන්වල ව්‍යාපාරිකයන් ඒ පදික වේදිකාත් අල්ලගෙන එයාලගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ කරගෙන තියෙනවා. නගරයට පැමිණෙන මිනිස්සුන්ට පයින් ඇවිදගෙන යන්න තියෙන ඒ ඉඩ ප්‍රමාණය නැතිව ගිහින් තියනවා. මිනිස්සුන්ට නගරයේ ඇවිදගෙන යන්න පදික වේදිකා තිබිය යුතුය. මිනිස්සුන්ට පදික වේදිකා නැතුව ගියහාම පාරවල් වල තමයි ඇවිදින්න ගන්නේ. එතකොට ඒ පාරවල් අයින්වල වාහන නතර කරපුවහම මොන වගේ ප්‍රශ්නයක්ද මතුවෙන්න කියන එක හිතලා බලන්න. දැන් සමහර පදික වේදිකා තියෙනවා මිනිස්සුන්ට ඒවායේ යන්න බෑ ඒවා කැඩිලා, සිමෙන්ති බැමි ගැලවිලා. ඒ පදික වේදිකාවත් එක්ක තියෙන කානු වලට උඩින් දාන කොන්ක්‍රීට් ආවරණ නැහැ සමහර තැන්වල.සමහර වෙලාවට මිනිස්සු ඒවා වලට වැටෙනවා. විවිධ අනතුරු ඇති වෙනවා. අද බැරිවෙලාවත් ඒ වගේ සිමෙන්ති ආවරණයක් කැඩුනොත් ඒක දාන්න තවත් මාස ගණනාවක් යනවා. ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ සම්බන්ධයෙන් නගරාධිපතිතුමා එක්ක පහුගිය දවස්වල සාකච්ඡා කළා. එතුමා කිව්වා, රථවාහන පොලිසියත් එක්ක කතා කරලා යම් ක්‍රමවේදයක් නගරයේ ඇති කරන්න වැඩපිළිවෙලක් හදනවා කියලා. ඒත් එක්කම අපි රථ වාහන පොලිසියේ ස්ථානාධිපතිතුමාවත් හමුවුණා. මීගමුවේ රථවාහන පොලිසිය සතුව අවශ්‍ය විස්තර සේරම තියෙනවා. ඒ කියන්නේ පාරවල් වල තියෙන ප්‍රමාණ මැනලා, ඒ පාරවල් වල යන්න පුළුවන් මෙච්චරයි , වාහන නවත්තන්න පුළුවන් මෙච්චරයි, ඒ විස්තර ඔක්කොම තියෙනවා. ඉතින් රථවාහන පොලිස් ස්ථානාධිපතිතුමත් කියනවා මේක අලුත් ක්‍රමවේදයකට හදනවා කියලා. අපි ඒ වෙලාවෙදි රථ වාහන පොලිස් ස්ථානාධිපතිතුමාටත් කිව්වා අවශ්‍ය යම් දෙයක් තියෙනවා නම් කියන්න අපිත් පුළුවන් විදිහකට මැදිහත් වෙලා ඒ දේවල් කරලා දෙන්නම්, කියලා. ඒ වැඩ වලට අපිත් උදව් වෙන්නම් කියලා, අපිත් බලාගෙන ඉන්නවා ඉතින් මේවා තවම ක්‍රියාත්මක වුණේ නම් නැහැ.IMG 20251027 WA0020

මීගමුව නගරයේ ව්‍යාපාරිකයන්ගේ සහ සේවකයන්ගේ රථවාහන

ඒත් එක්කම මීගමුව නගරය තුළ මම දකින අලුත් තත්ත්වයක් තමයි, බොහෝ ව්‍යාපාරිකයන් සහ ඒ ව්‍යාපාරික ස්ථානයේ සේවක සේවිකාවෝ වැඩට එන්නේ වාහන වලින්. හිතන්නකෝ මෝටර් සයිකල් වලින් ආවා කියලා. ව්‍යාපාරිකයන් එන්නේ කාර් වලින්. එහෙම එන ව්‍යාපාරිකයොයි අර සේවක සේවිකාවන් පිරිසයි එයාලගේ කාර් රථ සහ මෝටර් සයිකල් නවත්ත ගන්නෙත් අර ව්‍යාපාරික ස්ථානය ළඟමයි. ඉතිං ඒ ව්‍යාපාරිකයන්ගේ සහ සේවක සේවිකාවන්ගේ වාහන ටිකයි මෝටර් සයිකල් ටිකයි නතර කරපුවහම ආයේ ඒ ව්‍යාපාරික ස්ථානයට එන පාරිභෝගිකයන්ගේ වාහන නතර කරන්න තැනක් නෑහැ. ඉතින් මේ රථ වාහන ගාල් කිරීම සම්බන්ධව මීගමුව නගරය තුළ ඒකට කොහොමද අපි විසදුමක් හොයන්නේ . වෙනම රථ වාහන නවතා තබන ස්ථාන සෙවිය යුතුයි. ඉතින් නගරාධිපතිතුමානම් අලුත් යෝජනා ව්‍යාපෘති ඉදිරිපත් කරනවා ඒවා ක්‍රියාත්මක වෙනකල් තාවකාලික වශයෙන් හරි මේ නගරයේ රථ වාහන නවතා තැබීමේ ප්‍රශ්නයට නිසි විසඳුමක් සෙවිය යුතුයි.

IMG 20251027 WA0021

නගරයේ කානු පද්ධතිය

අපි නගරාධිපතිතුමාව මුණගැසුණු වෙලාවේ අපි තව යෝජනාවක් කළා. මොකද මේ මීගමුවේ තියෙන කානු පද්ධතිය අවුරුදු ගණනාවකින් සුද්ද පවිත්‍ර කරලා නෑහැ.එවායේ විවිධ දේවල් ඒ කියන්නේ වැලි, පස් වගේ දේවල් පිරිලා තියෙන්නේ. ඉතින් ලොකු වැස්සක් ආවොත් මේ කානු වලින් වතුර ගලා යන්නේ නෑහැ. ඒ වලින් පිටාර යෑම පමණයි සිදුවෙන්නේ. අනික් එක තමයි අපි නගරයේ බොහෝ විට වාහන වලින් යන නිසා මේ නගරයේ ඔය කානු වලින් එන දුර්ගන්ධය අපිට දැනෙන්නේ නැහැ. පයින් ඇවිදගෙන යනකොට තමයි මේ කානු වලින් එන දුර්ගන්ධය අපිට දැනෙන්නේ. වතුර පල් වෙලා වගේ, ඒ දුර්ගන්ධය අපිට දැනෙනවා පයින් යද්දි. ඉතින් මම හිතනවා මුලින්ම මේ කානු පද්ධතිය සුද්ද පවිත්‍ර විය යුතුයි.

මේකෙදි මට තව දෙයක් එකතු කරන්න තියෙනවා, මොකද මේ අපේ නිවෙස් ඉස්සරහ තියෙන එහෙම නැත්නම් අපේ ව්‍යාපාරික ස්ථාන ඉස්සරහ තියෙන කානු සුද්ධ පවිත්‍ර කරන්න නගර සභාවෙන් එනකල් අපිට බලන් ඉන්න අවශ්‍ය වෙන්න නැහැ. ඒක ඉතිං අපිටම කරගන්න පුළුවන්. මොකද අපේ වටපිටාව පවිත්‍ර කරගන්න එකයි, අපේ සෞඛ්‍ය ආරක්ෂිත බව ඇති කරගන්න එකයි අපිටම කරගන්න පුළුවන් .ඒක අපේ යුතුකමක් වගේම වගකීමක්. ඒ වැඩේට අපි පොඩි වෙලාවක් වෙන් කෙරුවා නම් මේ කානු මෙතරම් අපවිත්‍ර වෙන්නෙත් නෑහැ.

නගරයේ ඇති අක්‍රමවත් විදුලි කනු සහ නගරයේ ආරක්ෂාව

අනිත් එක තමයි මේ නගරයේ විදුලි කණු දිහා බලපුවහම ඒවා පිළිවෙලකට නැහැ කියන එක පැහැදිලිවම පේන්න තියෙන කාරණයක්. ඉතින් නගර අලංකරණය ගැන හිතද්දිත්, නගරයේ පිළිවෙලක් ගැන හිතද්දීත් මේ වගේ දේවල් නොසලකා හැරලා බෑහැ . ඒක නිසා ඒවා වුනත් හරියට පිළිවෙලකට තියෙනවා නම් තමයි නගරෙට හොඳ වගේම නගරෙට අලංකාරයක් ගෙන දෙන්නේ. ඒකටම සම්බන්ධ වුණු අනිත් ප්‍රශ්නේ තමයි සමහර පාරවල් වල විදුලි ලාම්පු දැම්මත් ඒ පාරවල්වල කවදාවත් විදුලි ලාම්පු වැඩ කරන්නේ නෑහැ.ඒවා ගල් ගහලා හරි මොනවා හරි කරලා ඒවා කඩලා දානවා. හැමදාම ඒ පාරවල් අඳුරුයි. ඉතින් මිනිස්සු ඒ පාරවල් වල රෑ කාලයට යන්නේ නැහැ , බයයි. දැන් මේ සමහර පාරවල් වල කොච්චර වීදි ලාම්පු හයිකෙරුවත් ඒවා රෑ කාලෙට ඇවිල්ලා. කඩලා යනවා. ඒ පාරවල් වල සමහර වෙලාවට අඳුරු ස්ථානවල එක එක බිස්නස් වෙනවා. ඉතින් මීගමුව නගරය ආලෝකමත් වෙනවා වගේම ඒ ආලෝකය දෙන මේ වීදි ලාම්පු ආරක්ෂා කිරීමටත් යම් වැඩපිළිවෙළක් සකස් කළ යුතු වෙනවා. මොකද බොහෝ අය කොළඹ වගේ දුර ඉඳලා දුම්රියේ ඇවිල්ලා, තමන්ගේ නිවෙස් වලට යන්න බස් එකේ යන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ අයට බස් එක ගන්න මේ පාරවල් වල යන්න බෑ කරුවල නිසා . එයාලා බයයි. ඉතින් අපි මුලින්ම ජනතාවගේ ආරක්ෂාවත් මෙතන සැලසිය යුතුයි. පළමුවෙන්ම නගරයේ ආරක්ෂාව ඇති කළ යුතුයි. අපි මිනිස්සුන් ආරක්ෂා කරනවා වගේම අපේ නගරයේ තියෙන වීදි ලාම්පු වැනි භෞතික සම්පත් වගේ දේවලුත් ආරක්ෂා කළ යුතුයි. ඒකයි මම කිව්වේ නගරයට නිසි ආරක්ෂිත වැඩපිළිවෙළක් අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි කියලා.

 

පොදු වැසිකිලි ප්‍රශ්නය

මේ මීගමුව නගරයට තියෙන ලොකුම ප්‍රශ්නයක් සහ අඩුපාඩුවක් තමයි මේ පොදු වැසිකිලි එහෙම නැත්නම් මේ වොෂ් රූම්ස් නැති එක. ඒක විශාල අඩුපාඩුවක් විදිහට නම් මම දකිනවා. මොකද විදේශීය සංචාරකයෝත් බොහෝ වෙලාවට මේ මීගමුව නගරයට එනවා. එහෙම හදිසියේ හරි විදේශීය සංචාරකයකුට වැසීකිලියකට යන්න අවශ්‍යතාවයක් ඇතිවුවහොත්, එහෙම ස්ථානයක් මේ නගරයේ නෑහැ. පසුගිය කාලයේ ඒවගේ ස්ථාන තිබුනා මේ නගරයේ. හැබැයි දැන් මේ වෙද්දි ඒ ස්ථානවල වෙන වෙන ව්‍යාපාරික ස්ථාන වගේ දේවල් තමයි කර ගෙන යන්නේ ඒ ස්ථාන වෙන වෙන දේවල් වලට දීලා. ඉතින් මම කියන්නේ මීගමුව නගරය තුළ ඒ වගේ පොදු වැසිකිලි එහෙම නැත්නම් වොෂ් රූම්ස් එකක් නෙවෙයි කීපයක් හරි නගරයේ තියෙන්න ඕනේ .ඒවා නගර සභාවෙන් හරියට පාලනය කරන්නත් ඕනා. ඒවාට යන වියදම අයකර ගත්තට කමක් නැහැ. මොකද පිටරටවල්වලත් ඔය වගේ පොදු වැසිකිලි භාවිතා කරන අයගෙන් යම් මුදලක් අයකර ගන්නවා. ඒක අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. නැත්තම් ඒවා පවත්වගෙන යන්න බැහැනේ. අවශ්‍ය වෙන්නේ ඒක හොඳ තත්ත්වයෙන් පිරිසුදුව සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව ඒවා නිසි විදිහට පවත්වාගෙන යන්න ඕනා. මම හිතන්නේ මේක නම් ඉතාමත් ඉක්මනටම මේ මීගමුව නගරයට සලසා දිය යුතු පොදු පහසුකමක් කියලයි. හොඳ විදියට හදලා ඒ වගේ හොඳ වැසිකිලි පද්ධතියක් හෝ දෙකක් ඒ සුදුසු කෙනෙකුට කොන්ත්‍රාත් වගේ දුන්නොත් ඒ අය නිසි විදිහට ඒවා කරගෙන යයි . ඒකෙන් නගර සභාවට හොඳ ආදායමකුත් අනිවාර්යෙන්ම ලැබෙනවා.

 

නයිට් බසාර් එක ( රාත්‍රී වෙළඳපොළ)

දැන් දැන් ලෝකයේ විවිධ රටවල් වල , විවිධ නගරවල නයිට් බසාර් තියෙනවා. ඒ නයිට් බසාර් හුඟක් තියන්නේ පාරවල් වල. මොකද ඔය නයිට් බසාර් වලට එන්නේ එක කොට්ඨාශයක්. එයාලා ඇවිදලා කරලා බලලා ගාන අඩුවට තියෙන දේවල් තමයි ඒ අය මිල දීලා ගන්නේ. එතකොට එහෙම ඇවිදලා කරලා බඩු ගන්න කරන්න නයිට් බසාර් හුඟක් තියෙන්නේ පාරවල් වල තමයි. මම හිතන විදිහට මීගමුවේ නයිට් බසාර් තියෙන්නෙත් ඒ තියෙන්න ඕන නියම තැන තමයි. ඒ කියන්නේ ඔය පාර තමයි නයිට් බසාර් එකට හොඳටම ගැලපෙන්නේ. නමුත් දැන් යෝජනාවක් ඇවිල්ලා තියෙනවා මේ නයිට් බසාර් අර නගර සභාවට අයිති තැබෑරුම් වත්ත කියන ඒ ඉඩමට අරන් යන්න ඕනේ කියලා. නමුත් වෙළඳ කරන අයත් කැමති නෑ එතනට. මම හිතන්නේ නැහැ මේ බඩුගන්ඩ එන මිනිස්සු පවා ඒ තැනට කැමති වෙයි කියලා, මිනිස්සු කැමති වෙන එකක් නෑහැ ඒ වගේ තැනක තියෙන නයිට් බසාර් එකකට යන්න. මොකද බස් එකෙන් එන කෝච්චියෙන් එන මිනිස්සු ඒ ඒ දේවල් දැක්කොත් තමයි ගිහින් ඒ බඩු ගන්න වුණත් පෙළඹෙන්නේ බොහෝ වෙලාවට. මට හිතෙන විදිහට ඕක ඔය පාරෙන් අයින් කිරීම නෙමෙයි කරන්න ඕනේ. ඒක නිසි පිළිවෙලකට හදලා දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔය පාරේ කඩ හදන්න ඕන ඉඩ ප්‍රමාණය වෙන්කරලා පාරේ ඇවිදගෙන යන මිනිස්සුන්ට යන්න එන්න ඉඩ වෙන් කරලා ඒ වගේ නිසි ක්‍රමවේදයකට ඔය නයිට් බසාර් එක පිළිවෙලකට හදන්න ඕනේ.

මීගමුව රෝහලේ තදබදය අවම කිරීම

මීගමුව රෝහල ගත්තාම ඒක වැදගත් ස්ථානයක් . හැබැයි මේ රෝහලට එන රෝගීන් ප්‍රමාණය බොහොම වැඩියි. ඉතින් මූලිකවම සැලසුමක් සකස් කරගන්න ඕන මේ රෝහලට එන රෝගීන් ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරගන්න. ඒ කියන්නේ අපි දැන් ග්‍රාම නිලධාරි වසම් මට්ටමෙන් වගේ සෞඛ්‍ය මධ්‍යස්ථාන තියනවා නම් ,ඒ වසමේ කෙනෙකුට අසනීපයක් වුනහම, මුලින්ම යා යුතු වන්නේ ඒ වසමේ සෞඛ්‍ය මධ්‍යස්ථානයට. ඉතින් ඒ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ එක්කෝ එක වෛද්‍යවරයෙක් හෝ දෙදෙනෙක් ඉන්නවනම් එතනට ගිහිල්ලා එතනින් කරගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒක කරගත්තා නම් ආයේ රෝහලට එන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අසාධ්‍ය රෝගී තත්ත්වයක් ඇති වුණොත් රෝහලට තමයි යා යුත්තේ. නමුත් මම කියන්නේ මේ සාමාන්‍ය රෝගී තත්වයක් ඇති වුනොත් රෝහලට නොගිහින් සෞඛ්‍ය මධ්‍යස්ථානයකට ගිහිල්ලා ඒ රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබා ගත්තොත්, රෝහලට යන්න අවශ්‍ය වෙන්නේ නෑහැ. එතකොට රෝහලේ ලොකු තදබදයක් ඇති වෙන්නේත් නැහැ.රෝහලේ වැඩත් බොහොම කාර්යක්ෂමව කරගන්න පුළුවන් වෙනවා. හැබැයි එතැනදී කිව්වොත් මේ රෝගයට රෝහලින් ප්‍රතිකාර ගත යුතුයි කියලා, එතකොට පුළුවන් රෝහලට ගිහින් ඒකට ප්‍රතිකාර ගන්න. අද කාලේ ඒ වගේ ක්‍රමවේද අත්‍යවශ්‍යයි කියලා මා විශ්වාස කරනවා. අනිත් එක අපි හැම තිස්සේම මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕන ලෙඩ වලින් වැළකී ඉන්න හැටි. බෝවන රෝග සහ බෝ නොවන රෝගවලින් වැළකීමට අපි මිනිසුන්ව දැනුවත් කළ යුතුයි.
අනිත් එක මම යෝජනා කරනවා , මේ රටේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගන්නට එන අය රෝහලට පොඩි මුදලක් ඒ කියන්නේ රුපියල් 50 ක් 100 ක් වගේ බොහොම පොඩි මුදලක් රෝහලට අයකර ගැනීම සුදුසුයි කියලා. ඒකෙන් මේ රෝහල් පවත්වගෙන යන්නට බෙහෙත් ඖෂධ මිලදී ගන්නට වගේ වැඩ කටයුතු වලට යම් අරමුදලක් හදාගන්න පුළුවන්. මේ රුපියල් 50 ක් 100 ක් රෝහලට කිව්වා කියලා, ඒක මිනිස්සුන්ට ලොකුවට දැනෙන්නේ නෑහැ. නමුත් එහෙම 50, 100 හරි එකතු වුණොත් එක මුළු ලංකාවෙම, එක විශාල අරමුදලක් බවට පත්වෙනවා. ඉතින් ඒ වගේ ලොකු අරමුදලකින් සෞඛ්‍ය සේවාව තවත් දියුණු කරලා, මේ රෝහල්වලින් ජනතාවට තවත් පහසුකම් සලසන්න පුළුවන්.

නගරයේ කානු පද්ධතියට මුහුදු ජලය දැමීම

ඒත් එක්කම පසුගිය කාලයේ මේ නගරයේ ඩෙංගු රෝගය සම්බන්ධයෙන් විශාල අවධානමක් තිබුණා. එතනදි අවශ්‍ය වුණා මේ ඩෙංගු මදුරුවන් බෝවීම වළක්වාගන්න. එතකොට නගරයේ ඉන්න බොහෝ අය කියන්න ගත්තා ඩෙංගු මදුරුවෝ වැඩි වශයෙන්ම බෝවෙන්නේ මේ නගරේ තියෙන කානු නිසා කියලා.ඒකට මම යෝජනාවක් ගෙනාවා, බවුසරයකින් මුහුදු වතුර ඒ කියන්නේ ලුණු මිශ්‍ර ජලය ගෙනත් මේ කානු වලට වැඩි පීඩනයකින් ඒ කියන්නේ හයි-ප්‍රෙෂර් එකකින් කානු වලට දාන්න කියලා. එතකොට මදුරුවොත් මැරෙනවා, කානුවල එකතු වී තියෙන සහ එක තැන තියෙන අප ජලයත් ගහගෙන යනවා. ඉතින් මම කියාපු ඒ විසදුමට ලොකු වියදමක් යන්නේ නෑ . මීගමුවේ ලොකු මුහුදු ප්‍රදේශයක් තියෙනවා. ඉතින් මුහුදේ ජලය තියෙනවා අරගන්න එක විතරයි තියෙන්නේ. ඒකට වෙනමම බවුසර් එකක් ලෑස්ති කරගන්න එක විතරයි අවශ්‍ය වෙන්නේ. කිසිදු මුදලක් වියදම් වෙන්නේ ඒ මුහුදු ජලය ලබාගෙන ඒ වැඩේ අපට කරගන්න පුළුවන්.ඒ වැඩේ සති දෙකකට සැරයක් වගේ කෙරුවනම්. ආයේ කිසිම දවසක ඩෙංගු මදුරුවන් මීගමේ කානුවල නම් බෝවෙන්නේ නෑහැ. හැබැයි කවුරුවත් වගකිවයුත්තෙක් මගේ යෝජනාව ක්‍රියාත්මක කරන්න මුලපිරීමක්වත් කෙරුවේ නෑහැ. ඒ ගැන සියුම් කණගාටුවකුත් තියෙනවා.

ඉතින් මේ මීගමුව නගරය අලුත් තාක්ෂණය සමඟින් මීට වඩා දියුණු ක්‍රමෝපායන් සංකල්ප භාවිතා කරලා ලෝකයේ වෙනත් ප්‍රසිද්ධ නගර ආකාරයට සීග්‍ර සංවර්ධනයකට ලක්වෙනවා නම් අපි ඉතාම කැමතියි. ඒ සඳහා මූලිකත්වය අරගෙන කටයුතු කරන්න ඕනේ අදාල වගකිව යුතු ආයතන. ජනතාව හැටියට සහ නගරයේ ව්‍යාපාරිකයන් විදිහට ඉතින් අපිත් කැමතියි අවශ්‍ය සහයෝගයක් දායකත්වයක් එම කාර්යය වෙනුවෙන් ඕනෑම අවස්ථාවක ලබාදෙන්න. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ඒ අපි බලාපොරොත්තු වෙන නව තාක්ෂණයෙන් මෙන්ම පහසුකම් වලින් සහ විධිමත් ක්‍රමවත් සැලසුම් සහගත නගරයක් ඉක්මනින්ම නිර්මාණය වෙන්න කියලා.

.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here