මීගමුවට අභිමානයක් ගෙන ආ වෘත්තීය ඡායාරූපකරණ ක්ෂේත්‍රයේ දැවැන්තයෝ..

0
135

 

මීගමුව පුරවරය කියන්නේ , ආර්ථික මෙන්ම පාරිසරික සහ සංස්කෘතිමය වශයෙන් සුපතළ සුවිශේෂී පුරවරයක්. මේ පුරවරය කේන්ද්‍ර කරගෙන, ශ්‍රී ලංකාව පුරාම ප්‍රකට වූ කීර්තිමත් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු සිටිනවා. ඔවුන් දෙදෙනාම එකම ව්‍යාපාර ක්ෂේත්‍රයක. එනම් වෘත්තීය ඡායාරූපකරණ ක්‍ෂේත්‍රයේ. ඒ ක්ෂේත්‍රයේ ඔවුන් දෙදෙනාම දැවැන්තයෝ ලෙසයි ප්‍රකට. වෘත්තීය ඡායාරූපකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයන් වන ඇපලෝ ස්ටුඩියෝ සහ ඩිජිටල් කලර් ලැබ් ( Aollo studio & Digital Color lab) හි අධිපති මොහාන් ද සිල්වා මහතා සහ ඩිනාලි ස්ටූඩියෝ සහ ඩිජිටල් කලර් ලැබ් (Dinalie Studio & Digital Color lab) හී අධිපති සරත් විජේරත්න මහතා ගැනයි මේ සටහන.

මේ ව්‍යාපාරික දැවැන්තයෝ දෙදෙනා එකට අසුන්ගෙන සිටින අවස්ථාවක් දැකීම ඇත්තෙන්ම දුර්ලභ දසුනක්. එවන් වූ කලාතුරකින් ලැබෙන අවස්ථාවක් පසුගියදා අපට උදා වුණා. ඒ, සමස්ත ලංකා වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමය සහ ගම්පහ දිස්ත්‍රික් වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමය එක්ව සංවිධානය කළ 2026 ලෝක ඡායාරූප දින ජාතික සැමරුම් උත්සවයේදී. ගම්පහ ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයේ යාවජීව සාමාජිකයන් වන මොහාන් ද සිල්වා මහතා සහ සරත් විජේරත්න මහතා මෙම උත්සවය සඳහා විශේෂිත අනුග්‍රහකත්වයක් ( Gold Sponsorship ) ලබා දෙමින් විශාල මූල්‍ය දායකත්වයක්ද ලබා දී තිබෙනවා.

 

ගම්පහ දිස්ත්‍රික් ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමය ගොඩනැගීමටත්, එය විධිමත් ලෙස පවත්වාගෙන යාමටත් මේ ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් ලැබී ඇත්තේ අතිමහත් දායකත්වයක් සහ පිටුවහලක්. විශේෂයෙන්ම, 2014 වසරේ සිට 2017 වසර දක්වා පුරා වසර තුනක් එම සංගමයේ ආරම්භක සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ ඩිනාලි ස්ටුඩියෝ හී අධිපති සරත් විජේරත්න මහතායි. එම සුවිශේෂී සේවය වෙනුවෙන් මෙවර ලෝක ඡායාරූප දින ජාතික සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා අතින් සරත් විජේරත්න මහතාට විශේෂ සම්මානයක් පිරිනැමුණා. එලෙසම, මෙම උත්සවය සංවිධානය කිරීමේදී දැක්වූ දායකත්වය සහ අනුග්‍රහය වෙනුවෙන් මොහාන් ද සිල්වා මහතාටද එහිදී විශේෂ සැමරුම් සම්මානයක් හිමි වුනා.

එකම ව්‍යාපාර ක්ෂේත්‍රයක නියැලුණත්,එම ව්‍යාපාරයන් තුළ දැඩි තරඟකාරීත්වයක් තිබුණත්, මේ දෙදෙනාටම , එකිනෙකා ව්‍යාපාරික වශයෙන් කිසිදු අභියෝගයක් වී නොමැති බව පැහැදිලියි. එයට හේතුව ඔවුන් දෙදෙනා සතු සුවිශේෂී ගුණාංගයන් ය. එක් අයෙකුට අනෙකා අභිබවා යාමට අවශ්‍ය නොවන තරමේ අද්විතීය හැකියාවන් හා ගුණාංග ඔවුන් සතු බවයි අපට හැඟෙන්නේ.

මේ ප්‍රකට ව්‍යාපාරිකයන් දෙදෙනාගේම දියුණුවේ රහස වන්නේ එකම එක ප්‍රධාන කරුණක් . එනම්, තම ව්‍යාපාරයන් දිනෙන් දින වෙනස් වන නව තාක්ෂණය සමඟ මුසු කිරීමයි. එනම් සේයා පට (Film Roll) මුද්‍රණ අවධියේ සිට වර්තමාන ඩිජිටල්කරණය තුල හඳුන්වා දී ඇති ඒ. අයි. ( A I ) තාක්ෂණය වැනි නව තාක්ෂණික ක්‍රමවේද නිරන්තරයෙන් සිය වෘත්තිය සඳහා භාවිතා කිරීමයි. මීගමුව පුරවරයේ කොපමණ නම් ඡායාරූප ශාලා තිබුණාද ? , එහෙත් අද ඉතිරිව ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් පමණි . ඊට ප්‍රධාන හේතුව, කාලයෙන් කාලයට, මොහොතින් මොහොත වෙනස් වන සහ දියුණු වන නව තාක්ෂණය තම ව්‍යාපාරයට බද්ධ කර ගැනීමට බහුතරයක් ඡායාරූප ශාලා හිමියන්ට නොහැකි වීමයි. එහෙත්, දශක ගණනාවක් පුරාවට තවමත් මීගමුව පුරවරයේ ජනප්‍රියත්වයේ ඉහළින්ම රැඳී සිටීමට මේ ව්‍යාපාරිකයන් දෙදෙනාට හැකි වී ඇත්තේ , ඔවුන් නිරන්තරයෙන්ම නව තාක්ෂණික පෙරළි සමඟ ඔවුන්ගේ ව්‍යාපාර අනුගත කරවන නිසයි.

මීගමුව පුරවරයේ පමණක් නොව, රටේ වෙනත් ප්‍රදේශවල පවා පරම්පරා ගණනාවක් පුරා තම ජීවිතයේ සතුට දනවන මෙන්ම දුක්බර හා ශෝචනීය අවස්ථාවන් පවා ඡායාරූපයට නැගීමට ඇපලෝ ස්ටුඩියෝ සහ ඩිනාලි ස්ටුඩියෝ වෙත වැඩි ජනතා ආකර්ෂණයක් හිමිව තිබීම විශේෂත්වයකි.

එදා සිට අද දක්වාම මීගමුව නගරය පිරිසිදු, දූෂණයෙන් තොර, සියලු ජාතීන් හා සියලු ආගමිකයින් එකමුතුවෙන් හා සහජීවනයෙන් ජීවත් වන “දේදුණු පුරවරයක්” බවට පත් කිරීමට මේ ව්‍යාපාරිකයන් දෙදෙනා විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. නගරයේ විවිධ සමිති සමාගම් වල නිලතල හොබවමින්, නොබියව තම ස්වාධීන අදහස් ප්‍රකාශ කරන සුවිශේෂී චරිත දෙකක් ලෙසද ඔවුන් ප්‍රකටය.

නවීන තාක්ෂණයෙන් හෙබි වෘත්තීය ඡායාරූපකරණ සේවාවන් මීගමුවට හඳුන්වා දෙමින්, දශක කිහිපයක් පුරා සිය පාරිභෝගික විශ්වාසය ඉතා යහපත් ලෙස පවත්වා ගනිමින්, මීගමුව පුරවරයට අභිමානයක් හා කීර්තියක් ගෙන දෙන මේ සුවිශේෂී ව්‍යාපාරිකයන්, දෙදෙනාට ඔවුන්ගේ ව්‍යාපාර තව තවත් දියුණුවෙන් දියුණුවටම පත් වී,ඉදිරි අනාගත පරම්පරා ගණනාවකටම සේවය සලසන්නට හැකියාව ලැබෙන්නට කියා අප ද මෙලෙස හෘදයාංගම සුබ පැතුම් පිරිනමමු.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here