ජාතික ජල සම්පාදන හා ජලාපහන මණ්ඩලය මගින් මීගමුවට හා කටානට සැපයෙන නල ජලය දැනට දින කිහිපයක සිට එනම් පසුගිය බදාදා දිනයේ සිට අඛන්ඩව සැපයීම සිදු නොවීම නිසා අදාළ ප්‍රෙද්ශ වල ජනතාව මහත් අපහසුතාවයට පත්ව සිටිති. මේ වනවිට විටින් විට ජලය සැපයුවත් ව්‍යාපාරික ස්ථාන මේ වනවිට ජලය මිළදී ගන්නා බවත්, සාමාන්‍ය ජනතාවටත් පානීය ජලය මිළදී ගැනීමට සිදුවූ බවත් වාර්තා විය.
මෙම තත්ත්වය ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මීගමුව ශාඛාවේ සහ මීගමුවට ජලය සැපයෙන කොච්චිකඩේ, බම්බුකුලිය ජල පවිත්‍රාගාරයේ ගැටලුකාරී තත්වයක් බැවින් ඒ සඳහා නිසි විසඳුමක් ලබාදීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවට ප්‍රකාශ කරමින් ජනතාව චෝදනා කරයි.
එලෙසම මීගමුවේ සහ කටානේ ජනතාව වැඩි වශයෙන්ම චෝදනාත්මකව සඳහන් කළේ කඩින් කඩ හෝ සපයනු ලබන ජල සැපයුමේ ජලය වෙනදා මෙන් නොව මඩ සහිත බොර පැහැයෙන් යුත් අපවිත්‍ර ජලය බවයි.
මේ පිළිබඳව කළ සොයා බැලීමකදී ,ජාතික ජල සම්පාදන හා ජලාපහන මණ්ඩලයේ මීගමුව ශාඛාවේ, නිලධාරියෙකු අප වෙත සඳහන් කළේ මීගමුව හා කටාන ප්‍රදේශවලට ජලය සපයනු ලබන ” මා ඔයේ ” ජලය මේ දිනවල මඩ සහිත වීම නිසා වෙනදා මෙන් නිසි ලෙස අඛන්ඩ ජල සැපයීමක් සිදු කළ නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය දිනවල මධ්‍යම කඳුකරය ආශ්රිත ප්‍රදේශවලට ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශවල කඳු ආශ්‍රිතව ඇති මඩ සහිත පස සහ බොරළු මිශ්‍ර පස වැසි ජලය සමග ගංගා වලට එකතු වීමෙන් ඒවා ගංගා සහ ඔයවල් වැනි පානීය ජල යෝජනා ක්‍රම වලට ජලය සපයා ගන්නා ජල මූලාශ්‍ර වලට එකතුවීමෙන් මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.
එහි ප්‍රතිඵලයක් ලෙස මීගමුවට සහ කටාන ප්‍රදේශවලට ජලය සැපයෙන එකම ජල මූලාශ්‍රය වන මා ඔයේ ජලයද මේ දිනවල අධික ලෙස මඩ සහිත වීම නිසා කොච්චිකඩේ, බම්බුකුලිය ජල පවිත්‍රාගාරය තුළ එම මඩ සහිත ජලය පිරිපහදු කිරීමට වැඩි කාලයක් ගතවන බවයි. ඒ නිසා එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළේ වෙනදා මෙන් අඛණ්ඩ ජල සැපයීමක් සිදුකිරීමට නොහැකි වීී ඇත්තේ ජල පවිත්‍රාගාරය තුළ ජලය පිරි පහදුකිරීමේ කාර්ය සඳහා වෙනදාටත් වඩා වැඩි වේලාවක් ගතවන නිසා බවයි.
ඒ කෙසේ වෙතත් එම නිලධාරියා අප වෙත ප්‍රකාශ කර සිටියේ මීගමුව සහ කටාන ප්‍රදේශ වලට අඛණ්ඩව ජල සැපයීමක් සිදු කළ නොහැකි නමුත් කඩින් කඩ හෝ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මීගමුව ශාඛාව මගින් ජල සැපයුම කෙසේ හෝ ලබා දෙන බවයි.එලෙසම ඔහු අවධාරණය කළේ මෙම තත්ත්වය තවත් දින කීපයකින් සාමාන්‍ය අතට හැරෙන බවත්, ජනතාව ඒ සඳහා අනිසි කලබල වීමක් ඇතිකර නොගත යුතු බවයි.
මේ පිළිබඳව නිසි ලෙස විමසා බැලීමට අප කොච්චිකඩේ මා ඔය පාලම ආශ්රිත ප්‍රදේශයට ගොස් නිරීක්ෂණයක යෙදුනු අතර එහිදී අපටද දැකගැනීමට හැකි වූයේ මා ඔයේ ජලය අන් දිනවලටත් වඩා මඩ මිශ්‍ර වී එම ජලය තද දුඹුරු පැහැයක් ගෙන ඇති ආකාරයයි. එලෙසම ප්‍රදේශවාසීන් සඳහන් කළේ මීට දින තුනකට පමණ පෙර මීටත් වඩා මා ඔයේ ජලයේ ඉතා දැඩි ලෙස මඩ මිශ්‍ර ව දැනටත් වඩා තද දුඹුරු, බොර පැහැයෙන් යුක්ත වූ බවයි. එම ප්‍රදේශවාසීන් ද සඳහන් කළේ මෙම තත්ත්වය තවත් දින කීපයක් පැවතිය හැකි
බවයි.













