මීගමුවට ආපදා කළමනාකරණ ඒකකයක් !

0
543

 

දෙසැම්බර් මස මහා සභාවට නියෝජ්‍ය නගරාධිපති චාමර ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාව

පසුගිය 10 වැනි දින මීගමුව මහා නගර සභාවේ දෙසැම්බර් මාසයට අදාළව මහා සභා රැස්වීම පැවැත්විණි. එහිදී නියෝජ්‍ය නගරාධිපති චාමර ප්‍රනාන්දු මහතා විසින් මීගමුව නගරය තුළ ” ආපදා කළමනාකරණ ඒකකයක්” පිහිට විය යුතු බවට
යෝජනාවක් ඉදිරිපත් කළේය.

එහිදී ඔහු කියා සිටියේ මීගමුව නාගරිකය තුළ අනපේක්ෂිත අවස්ථාවලදී මුහුණපෑමට සිදුවන විවිධ හදිසි තත්වයන් හා ස්වභාවික ආපදා අවස්ථාවලදී ජන ජීවිතයට ඇතිවන බලපෑම අවම කර ගැනීමේ අරමුණින්, ගරු නගරාධිපති නියෝජ්‍ය නගරාධිපති, නාගරික කොමසාරිස්, ප්‍රාදේශීය ලේකම් ,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, පොලිස් ස්ථානාධිපති, හා මීගමු රෝහල් අධ්‍යක්ෂකගෙන් සමන්විත වන පරිදි එම ඒකකය පිහිටිය යුතු බවද ඔහු වැඩිදුරටත් එම යෝජනාව තුළින් ඉදිරිපත් කර තිබිණි. .

 

ාමම යෝජනාවට අදාල නොවන ආකාරයෙන් කතා කල මාලිමාවේ ඇතැම් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් නගරාධිපති වරයා දැඩි ස්ථාවරයක් ගෙන කටයුතු කළ බව නිරික්ෂණයවිය.
මේ ඇතැමුන්ගේ
කතාවට බාධා කල නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා පැවසුවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා ගෙන ආ යෝජනාවට අදාලව, ඒ සඳහා ඇති කැමැත්ත සහ අකමැත්ත අනුව ඒ සඳහා කරුණු දක්වා කතා කරන ලෙසයි. එමෙන්ම නගරාධිපතිවරයා එහිදී කියා සිටියේ සියලුම ආණ්ඩු පක්ෂ හා විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන්ට ඉදිරිපත්ව ඇති යෝජනාවට පමණක් අදාළ වන ලෙස කතා කරන ලෙසත් වෙනත් කරුණු කාරණා සභාව තුළ ප්‍රකාශ නොකරන ලෙසත්ය.

ඉන් පසුව කතා කල විපක්ෂයේ දිලිනි ජයකොඩි මන්ත්‍රීවරිය (සජබ) සහ සරුත් සෆ්තාර් මන්ත්‍රීවරයාද (ස්වාධන) යෝජනා කළේ මෙම කමිටුව සඳහා විපක්ෂයේ නියෝජනයක් ද ඇතුළත් කළ යුතු බවයි.

විපක්ෂයේ (සජබ) සජිත් මෝගන් මන්ත්‍රීවරයා නැගී සිටිමින් “” මෝඩයෝ කෑගැහුවට දොස්තර කලබල වෙන්නේ නෑහැ.”” යනුවෙන් ආණ්ඩු පක්ෂයේ මොහාන් අබේසේකර මන්ත්‍රීවරයා දෙස බලා ප්‍රකාශ කරමින් වැඩිදුරටත් ඔහු එහිදී කියා සිටියේ මෙම යෝජනාව ඉතාම කාලෝචිත යෝජනාවක් බවයි.

එලෙසම ඔහු ප්‍රකාශ කළේ මෙහි යම් අඩුපාඩුවක් ඇති බව තමන්ට පෙනෙන්නට තිබෙන බවයි. එනම් මෙම කමිටුව සඳහා සෞඛ්‍ය කාරක සභාවේ සභාපතිවරයා ඇතුළු සියළු කාරක සභා සභාපතිවරුන් සහ අඩුම තරමින් විපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් හෝ මේ සඳහා ඇතුල් කළ යුතු බවත් එලෙස සංශෝධනය කර මෙම කමිටුව ස්ථාපිත කරන්නේ නම් එය වඩාත් ක්‍රියාකාරී කමිටුවක් බවට පත් වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඒ නිසා එම සංශෝධනය සමගින් මෙම යෝජනාව සකස් විය යුතු බවද ඔහු වැඩිදුරටත් එහිදී අවධාරණය කළේය.

ඉන් අනතුරුව මෙම යෝජනාව පිළිබඳව කතා කළේ විපක්ෂයේ හුස්නි මොහොමඩ් (සජබ) මන්ත්‍රීවරයාය. ඔහු ප්‍රකාශ කළේ මෙය ඉතාමත් හොඳ යෝජනාවක් වන අතර මෙම කමිටුව පත්කර එය සක්‍රීය මට්ටමට පත් කළ යුතු බවයි. එමෙන්ම ඔහු ප්‍රකාශ කළේ ආපදා අවස්ථාවක නගර සභාවට ක්‍රියාත්මක වීමට නගර සභා ආඥා පනත් ආදිය පවතින අතර ආපදා අවස්ථාවකදී විශේෂ රැස්වීම් ආදිය පැවැත්වීමට නගරාධිපතිවරයාට බලතල ඇති බවයි.

කෙසේ වෙතත් ඔහු ද වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙවැනි ආපදා අවස්ථාවක විපක්ෂයටද වැඩ කළ හැකි බවයි. ඒ නිසා විපක්ෂයේද නියෝජනයක් සහිතව මෙවැනි කමිටුවක් ප්‍රායෝගික ලෙස ස්ථාපිත කළ යුතු බව, ඔහු එහිදී පෙන්වා දුන්නේය.

ඉන් පසුව නැගී සිටි ආණ්ඩු පක්ෂයේ සංගීත් පෙරේරා නාගරික මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මෙතෙක් කලක් ප්‍රදේශයේ ඇතිවන ආපදා තත්ත්වයකදී සියළු කටයුතු සම්පාදනය කිරීම පැවරෙන්නේ අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාට බවයි. මේ ඒකකය පිහිටුවීමෙන් ප්‍රාදේශීය ලේකම්වරයාගේ එම කාර්යභාරය වඩාත් ශක්තිමත් වන බවත්, එම කාර්යභාරයන් සියල්ල දැනට වඩා කාර්යක්ෂම තත්ත්වයට පත්කර ගත හැකි බවද ඔහු ප්‍රකාශ කළේය . එසේම ඔහු පැවසුවේ මෙම ඒකකය ස්ථාපිත කිරීමෙන් පසු ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නගරාධිපති ප්‍රමුඛ මන්ත්‍රී මණ්ඩලයේත්, අදාළ අනෙකුත් රජයේ ආයතන ප්‍රධානීන්ගේත් තීන්දු තීරණ ඉක්මනින් ක්‍රියාත්මක කර ගත හැකි වන බවයි.ඒ තුළින් හදිසි ආපදා තත්ත්වයකදී පීඩාවට පත් ජනතාවට දැනට වඩා කාර්යක්ෂකම සේවාවක් මේ ඒකකය පිහිටුවීමෙන් සලසා ගත හැකි බව ද ඔහු පැවසීය. එමෙන්ම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙහි නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා යනුවෙන් සඳහන් වන නිසා ඒ තුළින් මුළු පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රී මණ්ඩලයම ප්‍රකාශ වන බවයි. එනිසා ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම ඒකකය පිහිටුවීමේදී විපක්ෂ මන්ත්‍රීවරුන් යනුවෙන් මෙහි විශේෂයෙන් ඇතුළත් කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවයි..

මෙහිදී විපක්ෂයේ (පොහොට්ටු ) දයාල් නිලංග නාගරික මන්ත්‍රීවරයා සභාවට ප්‍රකාශ කළේ හදිසි ආපදා අවස්ථාවකදී නගරාධිපතිවරයාට රජයේ සියලු අංශ ප්‍රධානීන් එනම් ප්‍රාදේශීය ලේකම් ත්‍රිවිධ හමුදා නිලධාරීන්, උසස් පොලිස් නිලධාරීන්, ඇතුළු සියලු අත්‍යවශ්‍ය රාජ්‍ය නිලධාරීන් කැඳවීමට නගරාධිපතිවරයාට අවශ්‍ය බලතල තිබෙන බවයි.

එහෙත් මෙහිදී නගරාධිපතිවරයාට ඇති එම බලතල මෙම ඒකකය පිහිටුවීමෙන් වෙනත් නිලධාරින්⁣ට පැවරෙන බවද ඔහු ප්‍රකාශ කලේය.

එලෙසම ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ විපක්ෂයේ නියෝජනයක් නොමැතිවීම මෙම යෝජනාව තුළ කැපී පෙනෙන බවයි. එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ව්‍යවසනයක් සිදු වූ විට පක්ෂ පාට භේද කිසිවක් නොසලකා සියලු ජනතාවට සේවාවන් සැලසිය යුතු බවයි.එහෙත් ඇතිවුණු ගංවතුර තත්ත්වයේදී ජනතාවට අත්‍යවශ්‍ය සේවා සැපයීමේදී එම කාර්යය නිසි ලෙස සිදුවී නොමැති බවද ඔහු චෝදනා කළේය.

විශේෂයෙන්ම කෑම පාර්සල් බෙදා දීමේදී ගංවතුරට අවතැන් නොවූ පිරිසකටද එම කෑම පාර්සල් බෙදාදීම් සිදුවී ඇති බව ඔහු ඉතාම දැඩිව ප්‍රකාශ කළේය. මෙහිදී ආණ්ඩු පක්ෂයේ මොහාන් අබේසේකර නාගරික මන්ත්‍රීවරයා ඇතුළු තවත් ආන්ඩු පක්ෂ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් දයාල් නිලංග නාගරික මන්ත්‍රීවරයාගේ කතාවට බාධා කලා අතර, එහිදී දයාල් නිලංග මන්ත්‍රීවරයා සඳහන් කළේ ආණ්ඩු පක්ෂයට ඇත්තේ තවත් පෝයවල් 32 ක් පමණක් බවයි. ඉන් පසුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ම දයාල් නිලංග‍ මන්ත්‍රීවරයාට බාධා කරමින් ඝෝෂා කළ අතර විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක්ද ආණ්ඩු පක්ෂයට ප්‍රති විරුද්ධ ලෙස නගර සභා ශාලාව තුළ විශාල ඝෝෂාවක් ඇති කළහ.

ඉන් පසුව නගරාධිපතිවරයා ඉතා දැඩි පරිශ්‍රමයකින් පසුව ඒ අවස්ථාවේදී දෙපිරිස පාලනය කල අතර ඉන්පසු නැවත දයාල් නිලංග මන්ත්‍රීවරයා සභාව ඇමතිය.

එහිදී ඔහු කියා සිටියේ මෙම යෝජනාව තුලින් පිහිටුවීමට බලාපොරොත්තු වන එම ඒකකය සඳහා නගර සභාවේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඇතුළු සම්පූර්ණ මන්ත්‍රී මණ්ඩලයම ඇතුලත් කළ යුතු බවත්, එලෙස එය සංශෝධනය කර මෙම යෝජනාව ඉදිරිපත් කළහොත් තමන් ඒ සඳහා සහය දක්වන බවයි.

නොඑසේ නම් තමන් ඒ සඳහා විරුද්ධත්වය ප්‍රකාශ කරන බවද දයාල් නිලංග මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

දයාල් නිලංග මන්ත්‍රීවරයාගෙන් පසුව සභාව ඇමතූයේ ආණ්ඩු පක්ෂයේ මොහොමඩ් ෆසීර් නාගරික මන්ත්‍රීවරයාය. ඔහු ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ බහුතර බලයද, එමෙන්ම මෙම මහා නගර සභාවේ බහුතර මන්ත්‍රී බලයද ජනතාව විසින් තම පක්ෂයට (ජාතික ජන බලවේගය) ලබා දී ඇති අවස්ථාවක මෙවැනි යෝජනාවක් ගෙන එමින් මෙවැනි ඒකකයක් පිහිටවීමට යෝජනා කළේ, මෙවැනි ආපදා අවස්ථාවකදී ආන්ඩුපක්ෂ සහ විපක්ෂයේ සියලු දෙනාගේ අදහස් පිළිබඳ සලකා බලා එවැනි අවස්ථාවක පොදු කණ්ඩායමක් සේ ජනතාවට සේවය කිරීමේ යහපත් අරමුණ ඇතිව බවයි.

ඒ නිසා මෙම යෝජනාවේ දැක්වෙන පරිදි මෙම ඒකකය පිහිටුවා ගැනීමෙන් ආණ්ඩු පක්ෂයේ අය පමණක් නොව විපක්ෂයේද අයටද ආපදා අවස්ථාවකදී එම මහජන සේවාවන් සඳහා දායක වීමට මෙයින් අවස්ථාව සැලසෙන බවද ඔහු පැවසීය.

එබැවින් ඔහු පැවසුවේ මෙවැනි යෝජනාවක් ගෙනාආවේ පූර්ණ සද් භාවයකින් යුතුව බවයි. එමෙන්ම ඔහු මෙහිදී ප්‍රකාශ කළේ පසුගියදා මෙම ප්‍රදේශයේ ඇතිවු ගංවතුර ආපදා තත්වයේදී සමහර මන්ත්‍රීවරුන් පක්ෂ භේද නොසලකා ජනතාවට සහන සැලසීමට උත්සුක වූ බවයි.

සමහර විපක්ෂ නාගරික මන්ත්‍රීවරු පවා නගරාධිපතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ අදාළ සහන සපයන රාජ්‍ය නිලධාරින් සමඟ ඉතාම යුහුසුළුව ආපදාවට ලක් වූ ජනතාවට සේවා සැපයීම සඳහා කටයුතු කළ ආකාරය පිළිබඳව ස්තුති පූර්වකව මෙහිදී සිහිපත් කළේය .

විශේෂයෙන්ම විපක්ෂයේ ( ස්වාධීන ) සුමිත් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට ඔහු ඒ සඳහා ආණ්ඩු පක්ෂය වෙනුවෙන් මේ අවස්ථාවේදී ස්තුතිය පුද කළේය.

පසුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා සභාව අමතමින් ප්‍රකාශ කළේ මේ ආපදා තත්ත්වය තුළ ජනතාවට බෙදා දීම සඳහා ආහාර වැඩි ප්‍රමාණයක් ලැබුණු බවයි. ඒවා බෙදා දීමේදී යම් ආකාරයක අතපසුවීමක් සිදුවන්නටද ඉඩ තිබෙන බවත් කා අතින් හෝ වැරැද්දක් වීමට හැකියාවක් ඇති බවත් සර්ව සම්පූර්ණ මනුෂ්‍යයන් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය

එනිසා ඉදිරි කාලයේදී මෙවැනි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් එම අඩුපාඩු නිවැරදි කරගෙන වඩාත් හොඳ සේවාවක් සැපයීමට බලාපොරොත්තු වන බවත්, මෙම යෝජනාව සඳහා අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන්ට ඔහු මෙහිදී ස්තූතිය පුද කලේය.

අදහස් දැක්වීමෙන් පසුව මෙම යෝජනාව සභා සම්මත කිරීම සඳහා ඡන්ද විමසීමක් කැඳවන ලදී.
එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 34 ක් සහ යෝජනාවට විපක්ෂව ඡන්ද 01 ක් ද හිමි වූ අතර වැඩි ඡන්ද 33 කින් මෙම යෝජනාව සභා සම්මත විය. එහිදී නොපැමිණි මන්ත්‍රීවරුන් 03 දෙනෙකු වාර්තා වූ අතර ඡන්දය ජන්දය දීමෙන් නාගරික මන්ත්‍රීවරුන් 11 දෙනෙකු වැලකී සිටියහ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here