. …
මේ ඡායාරූප වලින් දිස්වන්නේ, මීගමුව පළඟතුරේ ප්‍රදේශයේ පිහිටි රජයේ මාතෘ සායන ගොඩනැගිල්ලයි. මෙය මාතෘ සායන ගොඩනැගිල්ල ලෙස නම් කලත් ප්‍රදේශයේ මාතෘ හා ළදරු සායනය මෙන්ම මෙම ගොඩනැගිල්ලේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කාර්යාලයද මෙහි පහත මාලයේ පවත්වාගෙන ගොස් තිබේ. එලෙසම මෙම ගොඩනැගිල්ල දෙමහල් ගොඩනැගිල්ලක් වන අතර මෙහි උඩු මහලේ මෑතක් වනතුරුම අමාත්‍ය නිමල් ලංසාගේ සම්බන්ධීකරණ කාර්යාලයක් පවත්වාගෙන ගොස් තිබේ.
එහෙත් මේ වන විට මේ දෙමහල් ගොඩනැගිල්ල අතහැර දමා තිබෙන ආකාරයක් දැක ගත හැකිය. මෙහි උඩුමහලේ පවත්වාගෙන ගිය අමාත්‍ය නිමල් ලංසාගේ කාර්යාලයද පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයට පසුව මෙම ගොඩනැගිල්ලෙන් ඉවත් කරගෙන ඇති බව ප්‍රදේශවාසීන් පවසති. එහෙත් ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මෙම ගොඩනැගිල්ලේ උඩුමහලේ හිටපු අමාත්‍ය නිමල් ලංසාට අයත් බඩුබාහිරාදිය ද තවමත් එහි තිබෙන බවය.
එලෙසම මෙහි පහත මාලයේ පවත්වාගෙන ගිය වසමේ ග්‍රාම සේවක කාර්යාලයද මෙම ගොඩනැගිල්ලෙන් මේ වන විට ඉවත් කරගෙන ගොස් තිබේ. එලෙසම පහත මාලය පවත්වාගෙන ගිය මාතෘ හා ළදරු සායනයද මේ වන විට මෙම ගොඩනැගිල්ලෙන් ඉවත් කරගෙන ගොස් තිබේ. මේ සියලුම කාර්යාල මෙම ගොඩනැගිල්ලෙන් ඉවත් කරගෙන ගොස් ඇත්තේ මෙම ගොඩනැගිල්ලේ තිබෙන අනාරක්ෂිතභාවය හේතුවෙනි.

මෙම ගොඩනැගිල්ලේ බිත්ති වැඩිමනක්ම මේ වන විට ඉරිතලා පුපුරා ගොස් තිබේ. වහලයේ සිවිලිං ගැලවී ඇති ආකාරයද, වහලේ සමහර තැන්වල සෙවිලි කළ ඇස්බැස්ටස් සෙවිලි තහඩු ගැලවී ඇති ආකාරයද දැකගත හැකිය. එලෙසම මෙම ගොඩනැගිල්ලේ ජලය ගබඩා කර ඇති ජල ටැංකිය තබා ඇති ගොඩනැගිල්ලේ උස් වූ ස්ථානයක පිහිටි විශේෂ කුටියද මේ වන වන විට කැඩී බිඳී ගොස් ගරා වැටී තිබේ. මෙහි ඇති වැසිකිළිවලට ජලය සැපයීම සඳහා ඇති ජල කරාම ආදිය සොරුන් විසින් ගලවාගෙන ගොස් ඇතැයිද ප්‍රදේශවාසීන් පවසති. මෙහි උඩුමහලට පිවිසෙන තරප්පු පෙළින් ගමන් කර නොහැකි වන සේ ඒ සඳහා හාර්ඩ් බෝර්ඩ් එකක් දමා වලක්වා ඇති ආකාරයද දැකගත හැකිය.
මෙහි පවත්වාගෙන ගිය වසමේ ග්‍රාම නිලධාරී කාර්යාල ද වෙනත් තැනකට ගෙන ගොස් ඇති බව ද ප්‍රදේශවාසීන් පවසති.
එමෙන්ම මෙම ගොඩනැගිල්ල තැනීමේ මූලික අරමුණ බවට පත්ව තිබූ මාතෘ හා ළදරු සායනය මේ වන විට පලඟතුරේ ප්‍රදේශයෙන් එපිටට එනම් පෝරුතොට ප්‍රදේශයට ගෙන ගොස් ඇති බව ද වාර්තා වුනි.

එම සායනය මේ වන විට පෝරුතොට මුස්ලිම් දේවස්ථානයේ ඉදිරිපිට තනා ඇති එම ප්‍රදේශයේ මාතෘ හා ළදරු සායනය පිහිටි ගොඩනැගිල්ලේ පවත්වන බවද වැඩිදුරටත් වාර්තා වුනි.
මෙම ගොඩනැගිල්ල ගොඩනගා දශක කිහිපයක් ඉකුත්ව ගොස් ඇති අතර මේ අවසන් වතාවට ප්‍රතිසංස්කරණය කර ඇත්තේ 2010 වසරේදීය. එදා මෙදා කාලය තුළ වසර 15ක් පමණ ඉක්මගොස් තිබේ. එහෙත් කිසිදු ප්‍රතිසංස්කරණයක් නොකළ මෙම ගොඩනැගිල්ල අද වන විට අනාරක්ෂිත හා ගරා වැටෙන ගොඩනැගිල්ලක් බවට පත්වී තිබේ.



නම සඳහන් කිරීමට අකමැති වූ ප්‍රදේශවාසීයෙකු සඳහන් කරන්නේ, මෙම ගොඩනැගිල්ල කිසිදු ප්‍රතිසංස්කරණයක් නොකර මෙය අනාරක්ෂිත ගොඩනැගිල්ලක් බවට පත්කර, කඩා වැටීමට ලක් කොට පසුකාලීනව මෙය කුමන හෝ කූට ක්‍රමයකට එනම් නීත්‍යානුකූල නොවන ක්‍රමයකට මෙය පෞද්ගලික ඉඩමක් ලෙස අත්පත් කර ගැනීමට ප්‍රදේශයේ බලසම්පන්න දේශපාලකයෙකු හා ඔහුගේ සහචර පුද්ගලයන් කිහිප දෙනෙක් එලෙස උත්සාහ දරන බවද දැනගන්නට ලැබී ඇති බවයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙම ගොඩනැගිල්ල පිහිටි ඉඩම වෙරළාසන්නව පිහිටීමත් එමෙන්ම මීගමුව සංචාරක කලාපය තුළ පිහිටිමත් නිසා මෙම ප්‍රදේශයේ ඉඩම්වල වටිනාකම ඉතා දැවැන්ත ලෙස ඉහල ගොස් ඇති නිසාත් එවැනි විශාල වාණිජ වටිනාකමක් සහිත වූ ඉඩම බොහෝ විට මෙය අත්පත් කර ගැනීමට උත්සාහ දරන දේශපාලන බලය සහිත පුද්ගලයන් මෙම ඉඩම නීත්‍යානුකූල නොවන ක්‍රමයකට අත්පත් කර ගැනීමට වැඩි ඉඩකඩක් පවතින බවයි.
කෙසේ වුවද මෙම ගොඩනැගිල්ලේ ක්‍රියාත්මක වු මාතෘ හා ළදරු සායනය මේ වන විට මෙහි නොපැවැත්වීමෙන් ප්‍රදේශයේ ගැබිනි මව්වරුන්ට සහ කුඩා ළදරුවන් සිටින මව්වරුන්ට පෝරුතොට ප්‍රදේශයට යාමට සිදුවී තිබේ.වර්තමාන ජන බලවේග රජය විසින්ද මාතෘ සායන හා ළමා සායන සේවාව නිසි ලෙස පවත්වාගෙන යාමට ඇති ඇල්මැරුණු ස්වභාවය නිසාද මෙම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර නඩත්තු කර පවත්වාගෙනයාමට හෝ උවමනාවක් නොමැති බවට පෙනී ගොස් ඇති බව පළඟතුරේ ගම්වාසී බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ.
කෙසේ වුවත් මෙය රජයේ ගොඩනැගිල්ලක් නිසා මෙය ප්‍රතිසංස්කරණය කර පවත්වාගෙන යෑම රජයේ කාර්යයක් වන බවත් එලෙසම මෙම ගොඩනැගිල්ල ප්‍රදේශයේ ජනතාවට මාතෘ හා ළදරු සායනය ඇතුළු රජයේ සේවා සපයන ආයතනයක් ලෙස නැවත ස්ථාපනය කිරීමට රජයට විශාල වගකීමක් ඇති බවද සඳහන් කළ යුතුව ඇත.












