පසුගිය දා මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ , ඛේදනීය සිදුවීම සම්බන්ධයෙන්, මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මේ දිනවල විභාග වන නඩුකරයට අදාල තවත් එක් නඩු විභාගයක් අද ( 27/07/2026) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ,
ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනී පෙරේරා මහත්මිය ඉදිරියේදී විභාගයට ගැනිණි.
එහිදී මීගමුව බන්ධනාගාරය තුළ සිටි රැඳවියකු වු සත් දරු පියෙකු වන මීගමුව පෙරියමුල්ලේ, පදිංචිව සිටි වෘත්තියෙන් අරක්කැමියෙකු වූ 40 හැවිරිදි , මොහොමඩ් නිශාම් මොහොමඩ් ෆස්ලම් නැමැති අය මීගමුව බන්ධනාගාරය තුළ සිදුවු එම සිදුවීමේදී මිය ගොස් තිබිණු අතර ඔහු වෙනුවෙන් මෙම නඩු විභාගයේදී ” ජන අරගලයේ පුරවැසියෝ ” නැමැති සංවිධානය වෙනුවෙන් මෙම නඩුකරයට සම්බන්ධ වීම සඳහා ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් විශේෂ මෝසමක් මඟින් අවසර ඉල්ලා සිටියේය.
ඒ අනුව ඒ සඳහා, අධිකරණයේ අවසර හිමි වීමෙන් අනතුරුව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මෙම සිදුවීමෙන් මිය ගිය මොහොමඩ් නිශාම් මොහොමඩ් ෆස්ලම් නැමැති අය පිලිඹඳව සහ එම සිදුවීමෙන් බන්ධනාගාරය තුළ මරණයට පත් වූ සියලු රැඳවියන් වෙනුවෙන් සහ මෙම සමස්ත සිදුවීම පිළිබඳව, මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කළේය.
එහිදී ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රකාශ කළේ මෙම සිදුවීමෙන් 32 නෙකු මීගමුව බන්ධනාගාරය තුල දී මිය ගිය බවත්, එය ඉතා බරපතල අපරාධයක් බවයි.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයේදී මෙසේ පැවසීය
“” ස්වාමීනි,
මේ සිද්ධියෙන් 32 නෙක් මැරුණා , බන්ධනාගාරය ඇතුලේ. මෙය ඉතා බරපතළ අපරාධයක්.
ජුලි 05 වෙනිදා සිදුවුණ මේ සිදුවීම රැඳවියන් අතර වුණ සාමාන්‍ය සිදුවිමක්.
එයින් 03 නෙක් මැරුණා. ඒ තත්ත්වය පාලනය කරලා තිබුණේ. එදින අවි ආයුධ පවා බන්ධනාගාරයෙන් ඉවත් කළා. නමුත් එදා රැඳවියන් කූඩු වලට නොදා, නිදැල්ලේ තියලා තිබ්බා. එදින බන්ධනාගාරයේ ආරක්ෂාවට නිලධාරීන් කිහිප දෙනෙක් හිටියා,
තුවක්කු අතැතිව. පහුවදා උදේ 6.00 වෙනකම් කිසිම අවුලක් තිබ්බේ නැහැ.
නමුත් කිසිම ප්‍රශ්නයක් නැති තැනකට බන්ධනාගාර මූලස්ථානයෙන්, බන්ධ පොලිස් නිලධාරීන් 89 දෙනෙක් තුවක්කු 10 ක් එක්ක ගෙනත් දැම්මා, සිවිල් ඇඳුමෙන්.
ඒ අය ඉතා අමානුෂික ලෙස රැඳවියන්ට වද හිංසා කරන්න ගත්තා.
ඒක දාරා ගන්න බැරි වුණ රැඳවියන්, ඒ නිලධාරීන්ට පහර දුන්නා. එතනදි නිලධාරීන් 10 දෙනෙක් මැරුණා, රැඳවියොත් 19 දෙනෙක් මැරුණා. ගොඩක් අය තුවාල ලැබුවා. බන්ධනාගාරය ඇතුළට පිටින් වෙඩි තිබ්බේ , ඇතුලේ හිටිය නිලධාරීන් තමයි.
වැඩි හරියක් රැඳවියන් මැරුණේ වෙඩි වලින්.
අද කියනවා තුවක්කු 300 ක් විතර රස පරික්ෂනයට යැව්වා කියලා. ඒ ගෙනාපු අවි වලින් තමයි වැඩි හරියක් මැරුණේ.
ඒ අවි අරගෙන බැලුවා නම් බලන්න පුළුවන් මොකෙන්ද වෙඩි තිබ්බේ කියලා. කට උත්තර එක්දහස් ගානක් ගත්තලු. තව ඉවරයක් නැහැ. මේ නඩුව මෙහෙම ගෙනියන්න බැහැ. රජයේ බන්ධනාගාරයක් තුල මැරුණ මිනිස්සු ගැන වගකීමක් රජයට තියෙනවා.ආණ්ඩුව මරුණ නිලධාරීන්ට විශාල මුදලක් වන්දි ගෙවනවා.
රැඳවියන්ට මුකුත් නැහැ. මම අද පෙනී සිටින්නේ ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය වෙනුවෙන් සහ මිය ගිය රැඳවියකු වන මොහොමඩ් නිසාම් වෙනුවෙන්.
ඔහුට දරුවන් 07 දෙනෙක් ඉන්නවා. දැන් ඒ පවුල ඉතා අසරණයි. චූටිම දරුවාට තවම මාස 02 යි.
54 වැනි වගන්තිය යටතේ රස පරික්ෂක වාර්තා එනකම් හිටිය කෙනෙක් , මේ මැරුනේ.
අපි කියන්නේ මේකට අර නිලධාරීන් 89 දෙනා වගකියන්න ඕනා. ඒ අය අත්අඩංගුවට අරන් සැකකරුවන් කරන්න කියලා.
මේකට වෙඩි තියන්න අණ දිපු කොනාගේ ඉඳලා, අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න ඕනේ. මෙතන සමුල ඝාතනයයක් වෙලා තියෙනවා. ඒ නිසා රැඳවියන්ට සාධාරනයක් විය යුතුයි . සී.අයි.ඩී. එක ( අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ) ඒ අය වෙනුවෙන් හඬක් නගන්නේ නැහැ.
ඒ අය දැනටමත් වරදකරුවෝ කරලා.
ඒ නිසා අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා, සාධාරණ පරික්ෂණයක් කරන්න කියලා.
රැඳවියන් සාක්ෂි දෙන්න පවා භයයි. මොකද සාක්ෂි දීලා ආපසු යන්න වෙන්නේ එතනට නිසා.
ඒ නිසා ඒ අයට භය නැතිව සාක්ෂි දීමට පරිසරයක් හදන්න ඕනේ.””
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ එම ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහන් කළේ,
පසුගිය ජූලි 14 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ගිනි අවි , උණ්ඩ ඇතුළු සියළුම දේ රජයේ රස පරික්ෂක වෙත යොමු කිරීමට මේ වනවිට කටයුතු කර ඇති බවයි. එලෙසම මෙම සිදුවීම සම්බන්ධයෙන්
දැනට පුද්ගලයන් එක්දහස් ගනනකගෙන් කට උත්තර ලබා ගෙන ඇති බවත්,
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ( සී.අයි.ඩී ) මෙම සිදුවීම සම්බන්ධව සර්ව සාධාරණ විමර්ශනයක් සිදු කරන බවද එම නිලධාරින් වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී
අනතුරුව සමස්ථ සිද්ධිය සම්බන්ධයෙන් නියැඳි වශයෙන් සාක්ෂි ලබා ගන්නා අතර මේ වන විට පුද්ගලයන් 28 දෙනෙකු සිය අධිකරණය හමුවේ සාක්ෂි ලබා දී ඇති බවත් , අධිකරණය කාටත් එකසේ යුක්තිය ඉටු කරන බවත් , මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය මෙහිදී සඳහන් කළාය.
සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු .



















