මීගමුව මහා නගර සභාවේ, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයාට පහර දුන් ත්‍රිරෝද රථ රියදුරු ට ඇප. ..

0
590

 

මීගමුව මහා නගර සභාවේ ආන්ඩු පක්ෂයේ හෙවත් ජාතික ජන බලවේග පක්ෂයේ (මාලිමාවේ) නාගරික මන්ත්‍රීවරයෙකු වු දීපාල් වීරමුණ්ඩ නැමැති අයට පහර දුන් බව කියන ත්‍රිරෝද රථ රියදුරා රුපියල් ලක්ෂ 05 බැගින් වන ශරිර ඇප 02 ක් යටතේ මුදා හරින ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා අද දින (02/02/2026) නියෝග කළේය.

එලෙසම එම ත්‍රී රෝද රථ රියදුරුව හදුනා ගැනිමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබු අතර එම පෙරට්ටුව මහෙස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියේ අද දින සිදු කර තිබුණි. එහිදි අගතියට පත් නාගරික මන්ත්‍රීවරයා එම සැකකරු හඳුනා ගෙන තිබේ.

ඉකුත් 26 වැනිදා (26/01/2026) එම පහරදිමෙන් පසු මෙම ත්‍රී රෝද රථ රියදුරා අත්අඩංගුවට ගත් අතර 28 වැනිදා (28/01/2026) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. එහිදී අදාළ සැකකාර ත්‍රී රෝද රථ රියදුරු අද දින (02/02/2026) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබිණි.

මෙම නාගරික මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කාර්මික ශිල්පියෙකු ලෙස සේවය කරන අතර එම ආයතනයේ කැබ් රථයකින් පසුගිය 26 වැනි දින (26/01/2026) මාර්ගයේ ගමන් කරමින් සිටියදී ත්‍රිරෝද රථ රියදුරු මාර්ගය හරස් කර ඇති බවත්, එහිදී සිදු වූ බහින්බස්වීමකදී නාගරික මන්ත්‍රීවරයාට , මෙම ත්‍රී රෝද රථ රියදුරු විසින් පහර දී ඇති බව පොලිසිය කරන ලද විමර්ශන වලින් හෙලි කරගත් බව මීගමුව පොලිසිය සඳහන් කලේය.

මෙලෙස පහර කෑමට ලක්ව ඇති 53 හැවිරිදි මීගමුව මහා නගර සභාවේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රීවරයා මීගමුව , මරදාන පාරේ පදිංචි අයෙකි. පහර කෑමට ලක් වූ නාගරික මන්ත්‍රීවරයා මීගමුව රෝහලෙන් ප්‍රතිකාර ලබා පසුව නිවසට ගොස් තිබුනි.

මිගමුව පොලිසියේ සැරයන් බණ්ඩාර විසින් පැමිණිල්ල මෙහෙය වනු ලැබීය.

මුලස්ථාන පොලිස් පරික්ෂක තල්වත්ත , විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ජයසුන්දර , පොලිස් සැරයන් විජේනායක සහ අධිකරණ පොලිස් සැරයන් බණ්ඩාර යන පොලිස් නිලධාරීන් විසින් මෙම සිදුවීමට අදාළ විමර්ශන කටයුතු සිදු කලහ.

මෙම සිදුවීමට අදාල ,නඩුව නැවත ලබන අපේල් 28 වැනි දින (28/04/2026) යලි කැඳවීමට නියමිතව ඇත..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here