අද දින (09/06/2025) පෙරවරුවේදී මීගමුව මහා නගර සභාවේ , ප්‍රථම මංගල මහා සභා රැස්වීම පවත්වන ලදී.
එහිදී මීගමුව මහා නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස පසුගියදා (02/06) රාජකාරී ආරම්භ කළ , නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා මීගමුව මහා නගර සභාවට අභිනවයෙන් තේරී පත්වු පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන් හමුවේ විශේෂ ප්‍රකාශයක් කළේය.
එහිදී ඔහු කියා සිටියේ අප සියලු දෙනා අතර ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස්කම් තිබුණද පක්ෂ විපක්ෂ අප සැමගේම අවසන් අපේක්ෂාව සහ බලාපොරොත්තුව විය යුත්තේ අවසන් එක් ප්‍රතිඵලයක් බවයි. එනම් යහපත් ජනතා සේවාවකි. ඒ අනුව සියලු පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන් සිය ප්‍රතිපත්ති වලට අනුගතවනවා සේම අප සැමගේම පොදු ඉලක්කයන් සපුරා ගැනීමේ කාර්යයේදී සියලු නාගරික මන්ත්‍රීවරුන්ගේ සහයෝගය සහ උදව්ව නඟාරාධිපතිවරයා ලෙස තමාට ලැබෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය..
මෙහිදී 49 ක් වන නවක නාගරික මන්ත්‍රීවරුන් හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ වසර ගණනාවක සිට අප රට නව මාවතකට ගෙන යෑමට බලා සිටි ඒ යුගය උදාවී ඇති බවත්, මෙම සභාවේ සිටින 49 ක් වන අප සියලු දෙනා එය ගොඩනඟන ප්‍රමුඛ සාමාජිකයන් වන බවත්, පාලක පක්ෂය හෝ විපක්ෂය ලෙස නොසලකා මීගමුව යනු ලස්සන ආකර්ශනීය සහ සමෘද්ධිමත් නගරයක් බවට පත් කිරීමට අප සියලු දෙනා ප්‍රමුඛව කටයුතු කළ යුතු බවද පැවසීය.
එමෙන්ම නගරාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ මීගමුවේ ජනතාව නාගරික මන්ත්‍රීවරුන් ලෙස අප සියලු දෙනාව මෙම සභාවට තෝරා පත්කර එවා ඇත්තේ විශාල බලාපොරොත්තු අපේක්ෂාවන් රැසක් සමගින් බවයි.එනිසා ඒ ජනතාවගේ අපේක්ෂාවන් අවතක්සේරුවට ලක් කළ නොහැකි බවද ඔහු අවධාරණය කළේය. විශේෂයෙන්ම නගරාධිපතිවරයා මෙහිදී පැවසුවේ අප අතර ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස්කම් තිබියදීත් එම ජනතා අපේක්ෂාවන් සහ වගකීම් රැසක් අප භාරගෙන ඇති බවත් ඒවා යථාර්ථයක් බවට පත් කිරීමට අප ඇප කැප වී කටයුතු කළ යුතු බවත් ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
එමෙන්ම මෙම සභාවේ සදාචාරාත්මක වටිනාකම් පිළිපදින ලෙසත්, අන් නාගරික මන්ත්‍රීවරුන් සමඟ අදහස් ප්‍රකාශ කරන විටත් , නිලධාරින් සමග කටයුතු කරන විටත් එමෙන්ම පිටතට ගොස් ජනතාව ඇසුරු කරන විටත් සියලු නාගරික මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් තමන්ගේ සදාචාරාත්මක වටිනාකම් වලට අනුගත වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද නගරාධිපතිවරයා මෙහිදී සියලු නාගරික මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් හමුවේ පැවසීය.
එමෙන්ම මෙහිදී නගරාධිපතිවරයා, තමා ඇතුළු මේ සියලු මන්ත්‍රීවරුන්ව මෙම සභාවට තෝරා පත්කර එවූ ජනතාවටත්, ඔහු ඇතුළු සියලු දෙනා සමග වැඩ කළ ජනතාවටත් මෙහදී සිය ස්තූතිය පුද කිරීමට අමතක නොකළේය.
එමෙන්ම නගරාධිපතිවරයා නාගරික මන්ත්‍රී මණ්ඩලය හමුවේ මෙහිදී වැඩිදුරටත් මෙලෙස පැවසීය.
” අපි ජනතාවගේ මුදලින් වැඩ කරන අතර දූෂණය , වංචාව සහ නාස්තිය , විවෘතව හෝ රහසිගතව හෝ සිදු නොකළ යුතුය. සෑම විටම ජනතාව සතුටු කරවන ආකාරයෙන් ක්‍රියා කළ යුතුය. අප අපගේ ප්‍රතිපත්තින් විනිශ්චය නොකර, අප අපගේ ප්‍රතිපත්තීන් මත කටයුතු කිරීමටත් , ඒවා ස්ථාපිත කිරීමටත් උත්සුක විය යුතුව ඇත. නාගරික මන්ත්‍රීවරුන් ලෙස අපට අවශ්‍ය විදිහට ක්‍රියාකළ නොහැකියි. අප අතරින් බොහෝ දෙනෙක් නවක සාමාජිකයින් වන අතර නීති රීති රෙගුලාසි කියවා තේරුම් ගැනීම කළ යුතුව ඇත. අද සිට සෑම දෙයක්ම අප නීත්‍යානුකූලව කටයුතු කරන්නෙමු ” . .යැයිද මීගමුව, නව නගරාධිපති නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
තවද මෙම මංගල මහා සභා රැස්වීමේදී නියෝජ්‍ය නගරාධිපති, චාමර ප්‍රනාන්දු මහතාද සභාව ඇමතිය. එමෙන්ම ජාතික ජන බලවේග පක්ෂයේ පැරණිතම නාගරික මන්ත්‍රීවරයෙක් වන (ජෙ.වී.පී.) ගාමිණී ප්‍රනාන්දු මහතා ද , මිගමුවේ ජනඅරගලයටද නායකත්වය දුන් ජනප්‍රිය සභිකයෙකු සංගිත් පෙරේරාද මෙහිදී සභාව ඇමතිය.
එලෙසම විපක්ෂය නියෝජනය කරමින් එන්.එම්.නුස්රි ,එම්.ඒ.එම්. අප්‍රාස් , එම්.සකාවුල්ලා,සුමිත් ප්‍රනාන්දු, දයාල් නිලංග ,ගයාන් මදුමිහිර, සජිත් මෝහන්, සරූප් සත්තාර්, ඔස්මන් ධර්මසේන, මන්ත්‍රීවරුන්ද මෙහිදී මෙම මහා සභාව ඇමතිය.