2026 නව වසරේ මීගමුව මහ නගර සභා පළමු මාසික මහා සභා රැස්වීම අද (08/01/2026) පෙරවරුවේදී ආරම්භ විය.
ඒ අනුව වෙනත් මාසික මහ සභා රැස්වීමක දක්නට නොලැබුනු පරිදි අද දින පැවැත්වන ජනවාරි මස මහා සභා රැස්වීමට පූර්ණ පොලිස් ආරක්ෂාවක් ලබාදීී තිබිණි.
පසුගිය වසරේ එනම් 2025 වසරේ දෙසැම්බර් මස 22 දින පැවති මීගමුව මහා නගර සභාවේ අයවැය විවාදයේ දී මතභේදාත්මක තත්ත්වයක් වාර්තා වූ අතර එහිදී නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා ප්‍රකාශ කලේ අයවැය කිසිදු පාර්ශවයකගේ විරුද්ධත්වයක් නොමැතිව ඒකමතිකව සම්මත වූ බවයි.
එහෙත් විපක්ෂයේ ඇතැම් මන්ත්‍රී කණ්ඩායම් විශේෂයෙන්ම සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම ප්‍රකාශ කළේ අයවැය විවාදයේදී අයවැයට විරුද්ධව සිය මතය ප්‍රකාශ කලද ඒ සඳහා බෙදීමක් හෝ ඡන්ද විමසීමක් හෝ නගරාධිපතිවරයා විසින් ලබා නොදුන් බවයි. ඒ අනුව මීගමුව සමගි ජන බලවේග සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා ගේ මූලිකත්වයෙන් මානව හිමිකම් කොමිසමට සහ බස්නාහිර පළාත් පාලන කොමසාරිස් කාර්යාලයට මේ පිළිබඳව පැමිණිලිද යොමු කර තිබිණි. එවැනි තත්වයකින් පසුව පවත්වන ලද ප්‍රථම මාසික මහා සභා රැස්වීම අද දින මෙලෙස පවත්වන අතර අද දින පවත්වන මෙම මහා සභා රැස්වීමේදී කාරක සභා සඳහා නාගරික මන්ත්‍රීවරුන් තෝරාගැනීමේ ඡන්ද විමසීමද පැවැත්වේ.
කෙසේ වෙතත් නගර සභා ආරංචි මාර්ග සඳහන් කරන්නේ පෙර කිසිදු දැනුම්දීමකින් තොරව අද දින පවත්වන මාසික මහා සභා රැස්වීමට මෙලෙස පූර්ණ පොලිස් ආරක්ෂාවක් කැඳවා ඇති බවයි.












