මීගමුව සංවර්ධන කමිටු රැස්වීමේදී ,කොච්චිකඩේ දී සිදුවූ  දුම්රිය අනතුර ගැන අවධානයට

0
760

WhatsApp Image 2025 07 13 at 17.19.09 86c1ee55

පසුගිය 09 වනදා පැවති මීගමුව සංවර්ධන කමිටුවේදී  05 වනදා   කොච්චිකඩේ දුම්රිය ස්ථානයට ආසන්නයේ ( ” ලූර්දු පෙදෙස “)  අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී සිදුවූ දුම්රිය අනතුර හා ඊට අදාළ කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡාවට ගන්නා ලදී. එම කමිටු රැස්වීම පැවැත්වුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද , ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි, සහ නාගරික කොමසාරිස් නුවණි සුදුසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු තවත් රාජ්‍ය නිලධාරින් පිරිසකගේ ප්‍රධානත්වයෙනි.
මෙහිදී  පසුගිය මාර්තු මාසයේ පැවැති මීගමු සංවර්ධන කමිටු රැස්වීමට ඉදිරිපත් කර තිබූ යෝජනාවක  මීගමුව ප්‍රදේශයේ, අනාරක්ෂිත ලෙස පවතින දුම්රිය හරස් මාර්ග ගණනාවක් පිළිබඳව අවධානයට ලක් කර තිබිණි. එහි ප්‍රගතිය පිළිබඳව මෙවර සංවර්ධන කමිටු රැස්වීමේදී අවධානයට ලක් කෙරිණි.

මෙවැනි දුම්රිය අනතුරු මීගමුව දුම්රිය හරස් මාර්ග ආසන්නයේ සිදුවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් විසින් අදහස් හා යෝජනා ගණනාවක් ඉදිරිපත් කළ අතර ඒ්වා  විමසා බැලූ , සංවර්ධන කමිටු රැස්වීමේ මුලසුන හෙබවූ මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා සාකච්ඡාව අවසානයේදී  අවධාරණය කළේ මීගමු ප්‍රදේශයේ ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල පවතින එම අනාරක්ෂිතභාවය අවම කිරීමට අවශ්‍ය විසඳුම් පිළිබඳව වැඩිදුරටත් කරුණු හරිහැටි අනාවරණය කර ගනිමින් සාකච්ඡාවට ලක් කළ යුතු බවයි. ඒ අනුව ඒ පිළිබඳව ඉදරි ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී පුළුල් ලෙස සාකච්ඡා කර ඒ සඳහා විසඳුම් ලබාදිය හැකි බවද වැඩිදුරටත් අවධාරණය ලදී.

සාකච්ඡාවේදී දැක්වූ අදහස් –

දුම්රිය දෙපාර්තමේන්තුවේ සංඥා අංශය නියෝජනය කරමින් පැමිණ සිටි කළමනාකරු 

මීගමුව ප්‍රදේශයේ දුම්රිය ද්විත්ව මාර්ග ක්‍රමයක් ක්‍රියාත්මක වන නිසා බොහෝ පිරිසක් දුම්රියක් ධාවනය වූ විට ඉක්මනින්ම දුම්රිය හරස් මාර්ගය හරහා තම වාහනය ඇතුළු කර අනෙක් පසට ධාවනය කිරීමට පෙළඹී තිබෙනවා.
ඒ  නිසා දුම්රිය ද්වීත්ව මාර්ගවලදී තවත් දුම්රියක් පැමිණෙන විට අනතුරු සිදුවෙනවා.  ජනතාව දුම්රිය මාර්ග හරහා විශේෂයෙන්ම යතුරුපැදි හා රථ වාහන මගින් ගමන් කිරීමේදී වඩාත් සුපරික්ෂාකාරී වෙනවා නම් මෙවැනි මාරාන්තික අනතුරු වළක්වාගන්න පුලුවන්.  දුම්රිය දෙපාර්තමේන්තුව මගින් පාලනය වන දුම්රිය හරස් මාර්ගවල අනතුරු සිදුවීම මේ වනවිට අවම වෙලා තිබෙනවා.

සුමිත් ප්‍රනාන්දු – (කොච්චිකඩේ, කොට්ඨාශයේ විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමේ)

මේ  අනතුර සිදූවූ  ස්ථානයේ ( ලූර්දු පෙදෙස )  දුම්රිය දෙපාර්තමේන්තුව මගින් කනු සිටවා විදුලි ආලෝක සංඥා පුවරු  සවිකර ඒවා විවෘත කරන්නට සූදානම්ව සිටි මොහොතේම එම විදුලි ආලෝක සංඥා පුවරු ගලවා ඉවත් කරගෙන ගියා.  එම විදුලි ආලෝක සංඥා පුවරු සවිකිරීමට සිටවූ එම කණු තවමත් එම ස්ථානයේ තියෙනවා. එම විදුලි ආලෝක සංඥා පුවරු සවිකර විවෘත කරන්නට සියලු කටයුතු සූදානම් කර තිබියදී ඒවා එම ස්ථානයෙන් ගලවා ඉවත් කිරීමට හේතුව කුමක්ද ?  විදුලි ආලෝක සංඥා පුවරු එම ස්ථානයේ සවිකර තිබුනා නම් නම් කොච්චිකඩේ, ” ලූර්දු පෙදෙස” දුම්රිය හරස් මාර්ගයේදී මෙවැනි මාරාන්තික අනතුරු සිදුවන ස්ථානයක් බවට පත්වෙන්නේ නැහැ.

ලෙස්ටර් ජයකොඩි – ජාතික ජන බලවේගය 
මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය මෙන් ” මාර්ෂල් ” පාරේ ද මෙවැනි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් තිබෙනවා.  දැනට ටික කාලයකට පෙර එහි ,දුම්රිය දෙපාර්තමේන්තුව මගින් දුම්රියක් පැමිණෙන විටත් ඒ බව හොඳින් පෙනෙන සේ ලොකු ප්‍රමාණයේ කාච මෙම හරස් මාර්ගයේ දෙපස සවි කර තිබුණා. පසුව ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු එම කාච වලට පහරදීමක් කරලා  එම කාච වලට දැඩි ලෙස අලාභ හානි සිදුකලා.   ඒ පුද්ගලයන්ව අල්ලා දුම්රිය දෙපාර්තමේන්තුව ද දැනුවත් කර කොච්චිකඩේ පොලිස් ස්ථානයට භාර දුන්නා.  එම පුද්ගලයා සම්බන්ධයෙන් මේ වන විට කිසිදු  පියවරක් ගෙන නැහැ.

මැක්සි රොද්‍රිගු – ජාතික ජන බලවේගය
මෙම දුම්රිය හරස් මාර්ගයේ රේල් ගේට්ටු සවිකර ඇති ස්ථානය ට ආසන්න දුම්රිය මාර්ගයේ දෙපස සහ ඒ අසලින් ඇති අතුරු පාරවල් වලත් අනවසර ඉදිකිරීම් තිබෙනවා.  එලෙසම එම ස්ථානවල විශාල ගස් වැවිලා තියෙන්නේ.  මේ වගේ තත්ත්යක් නිසා  මාර්ගයේ ගමන් කරන රථවාහන හා යතුරුපැදි වලට දුම්රියක් පැමිණේ දැයි නිසි ලෙස පෙනෙන්නේ නැහැ. ඒ වගේම අනවසරයෙන්  ඉදිකර ගත් සමහර ගොඩනැගිලිවල වහලවල් දුම්රිය මාර්ගය ආසන්නයටම පිහිටා ඇති තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යභාරයක් හා එම දෙපාර්තමේන්තුව සතු විශාල වගකීමක් තමයි  එවැනි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කරන එක.

 දුම්රිය දෙපාර්තමේන්තුවේ සංඥා අංශයේ කළමනාකරු –

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සමහර දුම්රිය හරස් මාර්ග වල එහි පවතින අනාරක්ෂිතභාවය පදනම් කරගෙන විදුලි ආලෝක සංඥා පුවරු සවිකර අත්හදා බැලීමි නිරන්තරයෙන් සිදු කරනවා.  එම අත්හදා බැලීම් වලදී එම විදුලි ආලෝක සංඥා ක්‍රමවේදයන් එම ස්ථානයට නොගැලපෙන තත්ත්වයකට පත් වුවහොත් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ඒවා ගලවා ඉවත් කරනවා.

WhatsApp Image 2025 07 13 at 17.17.06 a71206d3
නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ
නාගරික මන්ත්‍රී මැක්සි රොද්‍රිගු
නාගරික මන්ත්‍රී මැක්සි රොද්‍රිගු
නාගරික මන්ත්‍රී ලෙස්ටර් ජයකොඩි
නාගරික මන්ත්‍රී ලෙස්ටර් ජයකොඩි
නාගරික මන්ත්‍රී සුමිත් ප්‍රනාන්දු
නාගරික මන්ත්‍රී සුමිත් ප්‍රනාන්දු

කොච්චිකඩේ  ” ලුර්දු පෙදෙස” දුම්රිය හරස් මාර්ගය

කොච්චිකඩේ  ” ලුර්දු පෙදෙස” දුම්රිය හරස් මාර්ගය යනු බස්නාහිර පළාත සහ වයඹ පළාත වෙන් කෙරෙන සිමාව හෙවත් මෙම පළාත් දෙකට මායිම් වන ” මා ඔය ” ට කලින් හමුවන බස්නාහිර පළාත් සීමාවේ අවසාන දුම්රිය හරස් මාර්ගයයි. මෙම යතුරු පැදිය අපරික්ෂාකාරිව එම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයෙන් ධාවනය කර ඇති අතර ඒ අවස්ථාවේදී එම යතුරු පැදිය ධාවනය වෙමින් තිබු දුම්රියේ ගැටී තිබේ.
දුමිරියේ ගැටුණු එම යතුරු පැදිය මීටර් 50 කට පමන වැඩි දුරක් කොච්චිකඩේ දුම්රිය ස්ථනය දෙසට ඇදී ගොස් තිබිණි.WhatsApp Image 2025 07 13 at 17.12.04 b6136cbf

මෙම දුම්රිය අනතුර සිදු වු ” ලූර්දු පෙදෙස” දුම්රිය හරස් මාර්ගය , මේ වනවිට අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් ලෙසද ප්‍රදේශවාසීන් හඳුන්වයි. එම ස්ථානයේ කිසිදු ආලෝක සංඥා පද්ධතියක් (ලයිට් සිග්නල්) හෝ සයිරන් නලා පද්ධතියක් හෝ නොමැති අතර එම ස්ථානයේ ආරක්ෂිත ගේට්ටු 02 ක් පවතී. එම ආරක්ෂිත ගේට්ටු දෙක , විවෘත කිරීමට හා වසා දැමීමට, ගේට්ටු භාර මුරකරුවෙක් සිටි අතර ඔහු මේ වන වට එම කාර්යයෙන් ඉවත්ව යන බව පවසා කොච්චිකඩේ පොලිස් ස්ථානයට ලිපියක් භාර දී එම කාර්යයෙන් ඉවත් වී ඇති බවද වාර්තා වුනි. එවන් තත්ත්වයක් තුළ මෙම දුම්රිය හරස් මාර්ගය දැඩි ලෙස අනාරක්ෂිත තත්ත්වයට පත්ව තිබේ. එලෙස එම ගේට්ටු මුරකරු ඉවත්වී දැනට මාසයකට අධික කාලයක් ඉකුත්ව ගොස් ඇතත් ,එම ස්ථානය සඳහා වෙනත් ගේට්ටු මුරකරුවෙකු එම ස්ථානයේ සේවය සඳහා යොදවා නොමැති බවද වාර්තා වුනි. එම ගේට්ටු මුරකරුට වැටුප් ගෙවන්නේ ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නොව, කොච්චිකඩේ පොලිස් ස්ථානයෙන් බවත් වාර්තා වුනි. හිටපු දුම්රිය ගේට්ටු මුරකරු දිනකට රු 250 ක් බැගින් පුරා මසක් පුරාවට සිදුකරන සේවය වෙනුවෙන් රු 7500 ක මුදලක් පමණක් ලබාදී තිබේ. දවසේ පැය 24 පුරාම සේවය, කිරීමට සඳහා එම වැටුප ප්‍රමාණවත් නොවන බව පවසා, එම කාර්යයෙන් එම ගේට්ටු මුරකරු ඉවත් වී ඇති බවද දැන ගන්නට ලැබිණි.
මේ තත්ත්වය නිසා එම දුම්රිය හරස් මාර්ගය දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇතැයි ප්‍රදේශවාසීන් පවසති. මෙවැනි මරණීය අනතුරු මෙම ස්ථානයේ සිදුවීම ඉඩහැරීම පිලිඹඳව දුම්රිය දෙපාර්තමේන්තුවත්, කොච්චිකඩේ පොලිස් ස්ථානයත් වගකිවයුතු බව මෙම ප්‍රදේශයේ බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here