මේ අලුත් අවුරුද්දට මුළු රටටම රතිඤ්ඤා හා ගිණිකෙළි දෙන්න, කිඹුලපිටිය සූදානම්

0
391

 

මේ එළැඹ තිබෙන්නේ සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයයි. අලුත් අවුරුද්ද හා ගිණිකෙළි අතර  පවතින්නේ අන්‍යෝන්‍ය වු  සහසම්බන්ධතාවයක්. ගිණිකෙළි ගැන කතා කරද්දි  මීගමුව පුරවරයට ආසන්නවම ඇති කිඹුලපිටිය ප්‍රදේශය අපට කෙසේවත් අමතක කල නොහැකියි.ඒ මොකද කියනවනම් ලංකාවේ ගිණිකෙළි කර්මාන්තයේ පුරෝගාමී ප්‍රදේශය වන්නේ ද මීගමුව- කිඹුලාපිටිය ප්‍රදේශයයි.  පතපොතේ පවා සඳහන් වන විදිහට ලොවට ගිණිකෙළි හඳුන්වා දුන්නේ චීන ජාතිකයින්.

ඒ වගේම මීට වසර 125 කට පමණ පෙර එනම්  1920 දී විතර චීනයේ සිට කිඹුලපිටියට පැමිණි  චීන ජාතිකයින් කිහිප දෙනෙකුගෙන් කිඹුලපිටිය ප්‍රදේශයේ ගම්වැසියකු වූ කේ එමිස් පෙරේරා නැමැත්තා මෙම ගිණිකෙළි කර්මාන්තය පිළිබඳව දැන කියාගෙන පසුව එය කර්මාන්තයක් සහ  ව්‍යාපාරයක් ලෙස කිඹුලපිටිය ප්‍රදේශය  මුල් කරගෙන කරගෙන ගිය  බවත් එතැන් පටන් මෙරට දී විශේෂයෙන්ම කිඹුලපිටිය ප්‍රදේශය සහ ඊට තදාසන්න ප්‍රදේශවල  රතිඤ්ඤා ගිණිකෙළි ව්‍යාපාරිකව නිපදවූ බවත් පත පොතේ වැඩිදුරටත් සඳහන් වෙනවා.
ඉතින් කොහොම වුනත් ගිනිකෙළි කියන්නේ බොහෝ දෙනෙකු දකින්නට කැමතිම දසුනක්.  එහෙත් ඒ සුන්දර සහ අලංකාර වු ගිණි⁣කෙළි කර්මාන්තය තුළ ඇති  ප්‍රශ්න  බාධක ගැටළු නම් බොහෝමයි. ඒ ප්‍රශ්න බාධක ගැටලු  පිළිබඳ  වගේම කිඹුලපිටිය ප්‍රදේශය තුළ ක්‍රියාත්මක  මේ ගිණිකෙලි කර්මාන්ත ව්‍යාපාරයේ  අලුත්ම තතු විත්ති ගැන දැන කියා ගන්නට අප පසුගිය දිනක මීගමුව-කිඹුලාපිටිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුනෙමු.

සමස්ත ලංකා ගිණිකෙළි සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු මහතා
       අපට එහිදී මුලින්ම හමුවූයේ  කිඹුලපිටිය ගිණිකෙළි කර්මාන්ත කරුවන් හා ව්‍යාපාරිකයන් මූලික කරගෙන ගොඩනගන ලද “” සමස්ත ලංකා ගිණිකෙළි සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු  යි. ඔහු කියන විදිහට ඔහු සභාපතීත්වය දරන මෙම සංගමය මෙරට සමාගම් මැදුරේ ලියාපදිංචි සංගමයක්.  ලංකාවෙම  මේ සංගමයේ සමාජිකයන් 150  පමන සිටිනවා.ඒත් එක්කම ගම්පහ දිස්ත්‍රික්කයේ මේ කර්මාන්තය තුළ නියැලෙන බලපත්‍රලාභී කර්මාන්තකරුවන් 210  දෙනෙක් පමණ කිඹුලපිටිය ඇතුළු මුළු ගම්පහ දිස්ත්‍රික්කයේම ඉන්නවා. විශේෂයෙන්ම ගිණිකෙළි නිපදවන කර්මාන්තකරුවෙක් අනිවාර්යයෙන්ම ආරක්ෂක අමාත්‍යංශයෙන් බලපත්‍රයක් ලබාගත යුතු වෙනවා.
එය වසරෙන් වසරට දිස්ත්‍රික් දිසාපති කාර්යාලයට අනුයුක්ත සහකාර මූදල් පරිපාලකට යොමු කර ආරක්ෂක අමාත්‍යංශය හරහා  එම බලපත්‍රය වාර්ෂිකව අලුත් කරගත යුතු වෙනවා. එහෙම ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි බලපත්‍රලාභියෙකුට තමයි රජයෙන් මාසිකව රසායනික ද්‍රව්‍ය ලබාදීමට කෝටාවක්  හිමි වන්නේ. ගිණිකෙළි කර්මාන්තයක් කරගෙන යන්න වැඩිපුරම අවශ්‍ය වෙන්නේ වෙඩි බෙහෙත්. කට වහරට අපි වෙඩි බෙහෙත් කියලා කිව්වට , ඇත්තෙන්ම ඒවා වැඩිමනක්ම  රසායන ද්‍රව්‍ය.  ඉතින් රතිඤ්ඤා ගිණිකෙළි සඳහා භාවිතා කරන මේ රසායන ද්‍රව්‍ය කියන්නේ අවදානම් සහිත රසායනික ද්‍රව්‍යයන් ඉතින් මේවා මාසික කෝටා ක්‍රමයකට තමයි ගිණිකෙළි  කර්මාන්තකරුවන්ට රජයේ ආයතනයක් වන ” රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව මගින් සැපයෙන්නේ .
මේ දවස්වල වෙළඳපොලේ තියෙන ගිණිකෙළි හදන්න වැඩිපුරම යොදා ගන්න රසායනික ද්‍රව්‍ය තමයි පොටෑසියම් නයිට්ට්‍රේට් ( Potassium Nitrate), බේරියම් නයිට්රේට් ( Barium Nitrate) , පොටැසියම් පර්ක්ලොරේට් ( Potassium Perchlorate) සහ ඇලුමිනියම් පවුඩර් (Aluminium  Powder )
මෙන්න මේ කියන රසායනික ද්‍රව්‍යය අතරින්  ඇලුමිනියම් පවුඩර් මේ වසරේ ජනවාරි ඉඳලා නිසි ක්‍රමවේදයකට නොලැබුණු බවත්, ඒ වගේම පොටෑසියම් නයිට්‍රේට් රසායනිකය මාර්තු මාසයේ කෝටාවෙන් ලැබිලා තිබුණේ 50% වගේ ප්‍රමාණයක් සහ අප්‍රේල්  මාසයට ලැබිය යුතු ප්‍රමාණය  තවමත් හරිහැටි නොලැබුණු බව තමයි අපිට දැනගන්නට ලැබුනේ. දිනේෂ් කියන විදිහට ඇලුමිනියම් පවුඩර් සහ පොටෑසියම් නයිට්‍රේට් වල හිඟයක් තිබිලා තියෙනවා මේ වසරේ මුල ඉඳලා. ඉතින් මේවා අවුරුද්දේ මුල ඉඳලා අඩුම තරමේ මාර්තු මාසේ වෙනකම් හරි නිසි ක්‍රමවේදයකට ලැබිය යුතුයි. මොකද ගිණිකලි නිෂ්පාදනයේදී මේ රසායනික වර්ග සියල්ලම අවශ්‍යම වෙනවා මේ එක රසායනිකයක් හරි නැති වුනොත් මේ ගිණිකෙළි නිෂ්පාදනය කරන්න නොහැකි වෙනවා. ඉතින් ඒවා කාලය පහු වෙලා  ලැබුනා කියල තේරුමක් නෑ කියල තමයි දිනේෂ් කියන්නේ.
ඒ කියන්නේ ඒවා නිසි කාලයට නොලැබිලා  මේ සිංහල අලුත් අවුරුද්දට අවශ්‍ය කරන ගිණිකෙළි හදාගන්න කාලයක් නැහැ. අප්‍රේල් මාසයට අවශ්‍ය කරන නිෂ්පාදන මාර්තු මාසේ 20 දා සිට රට පුරාම බෙදා හරින්න සිද්ධ වෙනවා එනිසා මාර්තු මාස 20, 25  වගේ වෙනකන් තමයි හුඟක් අය මේ ගිණිකෙළි නිෂ්පාදනය සිදුකරන්නේ .එතැන් පටන් බොහෝ අය කරන්නේ බෙදාහරින ප්‍රවාහන වගේ කටයුතු කරන එක.
ඉතින් මේ වසරේ මුල සිට රසායනික වර්ග හරිහැටි නොලැබීම  වගේ  හේතු නිසා මෙවර ගිණිකෙළි නිෂ්පාදනයේ යම් අඩුවක් තියෙනවා කියලා තමයි දිනේෂ්  වැඩිදුරටත් විස්තර කළේ.

ඔහු ඒ සම්බන්ධ තවත් මෙන්න මෙහෙම  කතාවකුත් අපට කිව්වා
“” ලංකාවේ ගිණිකෙළි නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයන්ට ඒවා විකුණගන්න  අවුරුද්දකට සීසන් 02 ක් තියෙනවා. එක සීසන් එකක් තමයි නත්තල්, ජනවාරි අලුත් අවුරුදු කාලේ. හැබැයි නත්තල් වැඩිපුරම සමරන්නේ කළුතර සිට පුත්තලම දක්වා වෙරළබඩ තීරයේ වෙසෙන ජනතාව. හැබැයි අප්‍රේල් මාසේ සිංහල අලුත් අවුරුද්ද මුළු රට පුරාම සමරනවා. ඒ නිසා ගිණිකෙළි කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයන්ට වැඩිපුරම නිෂ්පාදනයක් සහ අලවියක් සිදු කරන්නත් පුළුවන් වෙන්නේ සිංහල හින්දු අලුත් අවුරුදු කාලෙට.

මේ රසායනික ද්‍රව්‍ය කෝටා ක්‍රමයට හරිහැටි නොලැබීම නිසා නිෂ්පාදනයේ යම් අඩුවක් තියෙකවා. හැබැයි එහෙම අඩුවක් තිබුණා කියලත් මිල ගණන් නම් ලොකු වෙනස් වීමක් වෙලා නෑ. ඉතින් මේ කර්මාන්තය පවත්වාගෙන යන්න අපිට අවශ්‍ය ඒ රසායනික ද්‍රව්‍යයන් හිඟයකින් තොරව ඒ වෙලාවල් වලට ලැබෙනවා නම්, අපේ නිෂ්පාදන කටයුතු වලට කිසිදු ප්‍රශ්නයක් නෑ.””
මේ සංචාරයේදී අපට ගිණිකෙළි කර්මාන්තය සහ නිෂ්පාදනය පිළිබඳව තවත් කරුණු කාරණා ගණනාවක් දැනගන්න ලැබුණා.
තව ප්‍රශ්නයක් තමයි ආරක්ෂක අමාත්‍යාංශයෙන් ගිණිකෙළි නිෂ්පාදනය කිරීම සඳහා ලැබෙන බලපත්‍ර නොමැති අය පවා අද ගිණිකෙළි නිෂ්පාදනය කරනවා. මොකද ගිණිකෙළි නිෂ්පාදනයේදී යොදා ගන්නා රසායනිකයන් අවදානම්කාරී රසායනික ද්‍රව්‍යයන් නිසා ඒවා ගබඩා කිරීම, ඒවා ගිණිකෙළි සඳහා යොදා ගැනීම එහෙම නැත්නම් පිරවීම වගේ කටයුතුත්. ඒ වගේම මේවා ඇසුරුම් කිරීම, ඉන්පසු ඒවා ගබඩා කිරීම ආරක්ෂිත ක්‍රමවේද අනුවම සිදු කළ යුතුයි. විශේෂයෙන්ම රසායනික ද්‍රව්‍ය ගබඩා කිරීමේදී ඒවා හදිසි ගින්නකට හසු නොවෙන විදිහට ඒ ගබඩා කරන ස්ථාන පවා ආරක්ෂිත ක්‍රමවේද අනුව සැකසිය යුතුයි. ගිණිකෙළි වලට ඒවා පිරවීමේදී පවා එම ස්ථාන ආරක්ෂිත ක්‍රමවේද අනුව සකසා තිබිය යුතුය.  ඒ වගේමයි නිෂ්පාදනය අවසන් කර ඇසුරුම් කළ ගිණිකෙළි ගබඩා කිරීමේදී එම ස්ථාන පවා ආරක්ෂිත ක්‍රමවේද අනුව සැකසිය යුතුයි.

එපමණක් නොවෙයි ගිණිකෙළි ප්‍රවාහනයේදී පවා,ඒවා ප්‍රවාහනය කරන රථ වාහන ඒ සඳහා ආරක්ෂිත ක්‍රම භාවිතා කර තිබිය යුතුයි. ඒ සඳහා එම රථ වාහන අංක පවා යොදා ප්‍රදේශයේ පොලිස් ස්ථානයෙන් ( කටාන පොලිස් ස්ථානයෙන් ) ප්‍රවාහන බලපත්‍ර ලබාගත යුතුයි. බලපත්‍ර ලාභි ගිණිකෙළි කර්මාන්තකරුවන් මේ සියලු කරුණු කාරණා සපුරා ගත යුතුයි. නමුත් කිසිදු බලපත්‍රයක් නොමැති අය  බොහෝ විට මේ කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් භාවිතා නොකර ගිණිකෙළි කර්මාන්තය තුල නිරත වීම කිඹුලාපිටිය ප්‍රදේශයේදී  තවමත් සුලබව සිදුවෙනු දැකගත හැකියි. බොහෝ විට බලපත්‍ර ලබා මාසිකව රසායනික ද්‍රව්‍ය කෝටා ක්‍රමයට ලබා ගන්නා සමහර ගිණිකෙළි කර්මාන්ත කරුවන් ගිණිකෙළි නිෂ්පාදනය නොකර එම රසායනික ද්‍රව්‍යයන් වැඩි මිලකට එසේත් නොමැති නම් බ්‍ලැක් මාර්කට් මිලට  බලපත්‍ර නොමැති අයට අලෙවිකරණ වංචනික අවස්ථාවන් රැසක්ද කිඹුලපිටිය ප්‍රදේශයේදී අපට හෙළිදරව් වුණා.

. බලපත්‍රලාභීන් නොවන අය මේ ගිණිකෙළි නිෂ්පාදනය කරන්නට යෑම විශාල ගැටලුව

මේ පිළිබඳවද අප වෙත අදහස් දැක්වූ සමස්ත ලංකා ගිනිකෙලි සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු ඒ පිළිබඳව  මෙලෙස පැවසුවා.
” ඇත්තෙන්ම මේ තත්වය ගැන හරිහැටි නිරීක්ෂණයක්, විමර්ශනයක් රජය විසින් සිදු කළ යුතුයි. බලපත්‍රලාභීන් නොවන අය මේ ගිණිකෙළි නිෂ්පාදනය කරන්නට යෑම විශාල ගැටලුවක්. ඒත් එක්ක ඒක විශාල අවදානමක්.  ඒ අයට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය වැඩි මිල ගණන්වලට දෙන්නෙත් අපේම බලපත්‍රලාභීන්ම තමයි. කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් භාවිතා නොකර තමයි ගොඩක් මේ බලපත්‍ර නොමැති අය මේ ගිණිකෙළි නිෂ්පාදනය කරන්නේ. ඉතින් අපි කියන්නේ මේ කටයුතු පිළිබඳව රජය විශේෂ විමර්ශනයක් කරලා මේ කටයුතු නැවැත්විය යුතුයි. එක අතකින් නිසි බලපත්‍ර ලබා ගෙන නිෂ්පාදන කටයුතු කරන කර්මාන්ත කරුවන්ටත් මේ තුළින්  යම් අසාධාරණයකුත් වෙනවා. අද වෙද්දි කිඹුලපිටිය ප්‍රදේශයට අලුතින් පදිංචියට ආපු අය පවා මේ කර්මාන්තයේ තියෙන අවදානම්කාරි බව හරි හැටි නොදැන කිසිම බලපත්‍රයක් නැතිව ගිණිකෙළි නිෂ්පාදනයට යොමු වෙලා තියෙනවා. මේ නීති විරෝධී කටයුතු පිළිබඳව රජය මැදිහත් විය යුතුයි. මොකද මොකක් හරි ප්‍රශ්නයක් වුනාහම ඒ සෑම දේකටම වගේ මුහුණ දිය යුත්තේ බලපත්‍ර ඇති කර්මාන්තකරුවන් පමණයි. ඉතින් මම හිතනවා රජයේ මූලික වෙලා මේක ඉක්මනින්ම නැවැත්විය යුතුයි “”අනික දිනේෂ් මෙහිදී මතු කරන තවත් කාරණයක් තමයි මේ ගිණිකෙළි වල මිල ගණන්. ඔහු කියන විදිහට ගිණිකෙළි නිෂ්පාදකයා කෙතරම් අඩු මිලකට මේ ගිණිකෙළි සහ  රතිඤ්ඤා වෙළඳපොළට නිකුත් කළත් ඒවා වෙළඳාම් කරන අය අධික මිල ගණන් වලට මේවා විකිණීම හරහා මිනිසුන් එහෙම නැත්නම් පාරිභෝගිකයින් විශාල ලෙස ගසා කෑමකට ලක්වන බව තමයි ඔහු පවසන්නේ.

විශේෂයෙන්ම පදික වේදිකාවල්වල, සහ තාවකාලිකව සිදුකරන වෙළඳ කුටිවලදී ඒවා මෙහෙයවන වෙළෙන්දුන් සමහර වෙලාවල් වලට එකට එකක් ලාභ තබාගෙන මේ ගිණිකෙළි අලෙවි කිරීම හරහා විශාල ලෙස පාරිභෝගිකයන් ගසාකෑමට ලක් වන බව ඔහු පවසනවා. සමහර වෙලාවට එවැනි තැන්වලින් මිල දී ගන්න  ගිනිකෙළි වල  කොලිටිය එහෙම නැත්නම්  තත්ත්වය සම්බන්ධ විශාල ප්‍රශ්නත් තියෙනවා කියලත් ඔහු කියනවා. ඔහු අපට පෙන්වා දුන්නේ ලංකාවේ නිසි මිලක් නියමව නැති භාණ්ඩ අතරින් ප්‍රමුඛව තියෙන දෙයක් තමයිලු ගිණිකෙළි කියලා කියන්නේ. ඒ නිසාවෙන්ම ඔහු අවධාරණය කරන්නේ ගිණිකෙළි සඳහාද නිසි පාලන මිලක් තිබිය යුතු බවයි.  මෙවැනි ප්‍රශ්න සඳහා රජය මැදිහත්ව මිල නියාමනයක් සිදු කර පාරිභෝගිකයා ආරක්ෂා කල යුතු බවත්, එසේ නොවුනහොත් ගිණිකෙළි වලින් පාරිභෝගයන් ගසා කෑම අඛණ්ඩවම සිදු වන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. කෙසේ වුවත් ඔහු පවසන්නේ  මේ කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යන්නට මේ කරුණු කාරණා සහ මෙම කර්මාන්තකරුවන්ගේ අදහස්  වර්තමාන රජයට ඉදිරිපත් කිරීමට ඉදිරි කාලයේදී කටයුතු කරන බවයි.

නිමල් කුමාර මහතා
       කිඹුලපිටිය ප්‍රදේශය මූලික කරගෙන සිදුවන මේ ගිනිකෙලි කර්මාන්තය   ” පරිසර හිතකාමී ලෙස සිදුවෙනවා කියලා අපට පෙන්වා දුන්නේ වසර 40 ක කාලයක් පාරම්පරිකව ගිණිකෙළි කර්මාන්ත යෙදී සිටින ව්‍යාපාරිකයෙක් වන නිමල් කුමාර යි.
“” අපි ගිණිකෙළි හදන්න භාවිතා කරන්නේ වැඩ අරගෙන අයින් කරපු එක්සයිස් පොත්, බිල් පොත් කාඩ්බෝඩ් මගේ ඉවතලන දේවල්. කොටින්ම කියනවනම් අපේ බිල් පොත් පවා අපි මුද්‍රණය කරලා තියෙන්නේ පාවිච්චි කරලා අයින් කරපු එක පැත්තක් පමණක් පාවිච්චි කරන්න පුළුවන් කොල යොදාගෙන. මේ නිසයි මම කියන්නේ අපි මේ කර්මාන්තය එක් පැත්තකින් පරිසර හිතකාමී  කියලා.  මේ රසායනික ද්‍රව්‍ය ලැබෙන කෝටා ක්‍රමයේ තියෙන අඩුපාඩු වගේ දේවල් නිසත් ,අනිත් එක මේ කර්මාන්තය පවත්වාගෙන යන්න අවශ්‍ය සේවක සේවිකාවන් සොයා ගැනීමේදී තියෙන අවහිරතා ප්‍රශ්න  හා දුෂ්කරතාවයන්  නිසාත් පෙර කාලයේ පාරම්පරිකව මේ කර්මාන්තය කල මේ ප්‍රදේශයේ නම ගිය ව්‍යාපාරිකයන් පවා මේ වෙද්දි මේ කර්මාන්තයෙන් ඉවත්වෙලා තියෙනවා. ඉතින් අපිත් බොහෝම සීරු මාරුවට බොහොම ඉවසීමෙන් යුතුව තමයි මේ කර්මාන්තය තුළ සහ මේ ව්‍යාපාරය තුළ නිරත වෙන්නේ””
අෂාන්  ප්‍රනාන්දු
ඒත් එක්කම මේ සංචාරයේදී අපිට මුනගැහුණු පාරම්පරිකව මේ කර්මාන්තය තුළ නිරත වන තරුණ ව්‍යාපාරිකයෙක් වන අෂාන්  ප්‍රනාන්දු පැවසුවේ විවිධ වු දුෂ්කරතා ප්‍රශ්න ගැටළු විසඳාගෙන මේ කර්මාන්තය තුළ ඉදිරියටත් නියැලීමට බලාපොරොත්තු වන බවයි. ඔහු ප්‍රකාශ කරන්නේ පෙර තිබූ රතිඤ්ඤා අහස් වෙඩි සහ  නිලා ආදී සාම්ප්‍රදායික ගිණිකෙළි නිෂ්පාදන වලට වඩා මේ වන විට අලුත් ගිණිකෙළි නිෂ්පාදන රැසක් වෙළඳ පොළට ඉදිරිපත් කර ඇති බවයි. කලර් ෂොට් ,ක්‍රැක්ලින් ෂොට්, මල්ටි ෂොට්,  ආදී  විවිධ වු නම් වලින් හැඳින්වෙන මල් වෙඩි වර්ග කීපයක්ද,  අලුතින්ම හඳුන්වා දෙන විසිල් චක්‍ර සහ  රතිඤ්ඤා වර්ග කිහිපයක්ද මේ වන විට විවිධ නම්වලින් සහ විවිධ වූ මිල ගණන් වලින් වෙළඳපොළට ඉදිරිපත්  වී තිබේ.

 

ඉතින්  විවිධ වූ බාධක දුෂ්කරතා අමාරුකම් මධ්‍යයේ වුවද මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දටත් කිඹුලාපිටිය වාසි ගිණිකෙළි ව්‍යාපාරිකයන් මුළු රටටම අවැසි රතිඤ්ඤා සහ අනෙකුත් විසිතුරු ගිණිකෙළි සැපයීමට සූදානම්ව  සිටි.
එහෙයින් මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ අසිරිය මුළු සිරිලකටම හා මුළු ලොවටම කියන්නට, කිඹුලපිටිය  රතිඤ්ඤා හා ගිණිකෙළි සමඟින් නව අවුරුදු සැමරුමට අපි ඔබට මෙලෙස ආරාධනය කරමු.
එලෙසම මේ සටහන අවසන් කිරීමට මත්තෙන් ඒක ඕවදනක් ඔබ වෙත කිව යුතුව ඇත. රතිඤ්ඤා හා ගිණිකෙළි භාවිතයේදී හා දැල්වීමේදී ඔබේ ජීවිතය මෙන්ම අන් අයගේ ජීවිතද ආරක්ෂාකාරී වන ලෙස පරිස්සම් වන්න.

සටහන – තුෂාර රොහාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here