මීගමුව මහා රෝහල සහ මාරිස්ටෙල්ලා විද්‍යාලය අතර ඇති මුදළිඳු මෙන්ඩිස් මාවත නැමැතිි අතුරු පාරේ කලයක් තිස්සේ පැවති යතුරුපැදි ඇතුළු රථ වාහන නවතා තැබීම පසුගියදා මීගමුව රථවාහන පොලිසියේ අණ පරිදි තහනම් කර තිබිණි. එහෙත් දැනට දින දෙකකට පමන පෙර සිට නැවත එම අතුරු පාරේ යතුරුපැදි , ත්‍රී රෝද රථ වැනි රථ වාහන නවතා තැබීම පෙර මෙන් සිදුවන බව නිරීක්ෂණය වුණි. මේ පිළිබඳව මීගමුව රථවාහන පොලිසියේ ස්ථානාධිපති කුලරත්න මහතාගෙන් කරන ලද විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ ,එම අතුරු පාර යතුරුපැදි ඇතුළු රථවාහන නවතා තැබීම සඳහා මීගමුව, රථවාහන පොලිසිය කිසිදු අවසරයක් ලබා නොදුන් බවයි. ඒ අනුව ඉතා ඉක්මනින්ම මෙම අතුරු පාරේ යතුරුපැදි ඇතුළු රථවාහන නවතා තබන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවත් විශේෂයෙන්ම එලෙස රථ වාහන නතර කර තබා යන අයට දඩ නියම කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය
එලෙසම ඔහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම අතුරු පාරේ වාහන නවතා තැබීම තහනම් සඳහන් පුවරු සෑදීම සඳහා මීගමුව රථවාහන පොලිසියට ප්‍රතිපාදන නොමැති අතර එම අතුරු පාරේ දැනටත් තබා ඇති පුවරු, තමා වෙනත් තැන්වලින් ගෙන ආ බවත්, ඒ පුවරු කිහිපය පමණක් මෙම කාර්ය සඳහා ප්‍රමාණවත් නොවන බවද ඔහු පැවසීය
එනිසා ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේ ව්‍යාපාරිකයන් හෝ කිසියම් පුද්ගලයෙකු හෝ මෙම අතුරු පාරේ වාහන නවතා තැබීම තහනම් යනුවෙන් සඳහන් තවත් පුවරු කිහිපයක් ලබා දෙන්නේ නම් සම්පූර්ණයෙන්ම එම පාරේ යතුරුපැදි ඇතුළු රථවාහන නවතා තැබීමට කිසිදු ඉඩක් නොතැබීමට කටයුතු කළ හැකි බවයි. 
ඒ කෙසේ වෙතත් ඔහු අවසන් වශයෙන් අවධාරණය කළේ ඉතා ඉක්මනින්ම මෙම ස්ථානයේ යතුරුපැදි ඇතුළු රථ වාහන නවතා තැබීම නතර කිරීම සඳහා ක්‍රියාත්මක වන බවයි.












