ලොව වැඩිම ගුවන් සම්බන්ධතා පවත්වන ගුවන්තොටුපොල ලැයිස්තුවේ ප්‍රමුඛයා බවට පත්වීමට තුර්කියේ ඉස්තාන්බුල් (IST/LTFM) සමත් වෙයි

0
9

ලොව වැඩිම ගුවන් සම්බන්ධතා පවත්වන ගුවන්තොටුපොල ලැයිස්තුවේ ප්‍රමුඛයා බවට පත්වීමට තුර්කියේ ඉස්තාන්බුල් (IST/LTFM) සමත්ව තිබෙනවා. මෙතෙක් කාලයක් මෙම ලැයිස්තුවේ මුල් තැන රැඳී සිටි එක්සත් රාජධානියේ ලන්ඩන් හීතෲ ගුවන් තොටුපොළ දෙවන ස්ථානයට පත් කරමින් ඉස්තාන්බුල් මෙම ජයග්‍රහණය හිමිකරගත්තා.

ජාත්‍යන්තර ගුවන්සේවා දත්ත විශ්ලේෂණ ආයතනයක් වන OAG මගින් 2026 අගෝස්තු මස නිකුත් කරන ලද වාර්තා අනුව, ඉස්තාන්බුල් ලොව පුරා ගුවන්තොටුපොල 337 ට ගුවන් ගමන් පවත්වනවා. තුර්කි ගුවන් සේවය (Turkish Airlines) ඉස්තාන්බුල් ගුවන්තොටුපොළේ මෙහෙයුම්වලින් 80% කට ආසන්න ප්‍රමාණයකට දායක වන බවත් එහි දැක්වේ. යුරෝපය, ආසියාව සහ අප්‍රිකාව යා කරන භූගෝලීය පිහිටීම මෙන්ම, අඩු කාලයක් ඇතුළත පහසුවෙන් විවිධ ගමනාන්ත වෙත ගුවන් යානා මාරු වීමට ඇති පහසුකම් මෙහි දියුණුවට ප්‍රධානතම හේතු කීපයක්.

ලොව හොඳම ගුවන් සම්බන්ධතා ඇති ගුවන් තොටුපොල 5 ලෙස පත්වූයේ,

1. ඉස්තාන්බුල් – තුර්කිය
2. ලන්ඩන් හීතෲ – එක්සත් රාජධානිය
3. ඇම්ස්ටර්ඩෑම් ෂිපෝල් – නෙදර්ලන්තය
4. ක්වාලලම්පූර් – මැලේසියාව
5. චිකාගෝ ඕ’හෙයාර් – ඇමෙරිකා එක්සත් ජනපදය

කටුනායක ගුවන්තොටුපොල සම්බන්ධ ගමනාන්ත ගණන නිල වශයෙන් තොරතුරු නැතත්, flightradar24 වෙබ් අඩවිය අනුව 2026 සැප්තැම්බර් මස වන විට, 50 ට ආසන්න ප්‍රමාණයකට ඍජු ගුවන් සම්බන්ධතා පවත්වාගෙන යනු ලබයි. ඩේලි මිරර් පුවත්පත් වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවේ සියලු ගුවන්තොටුපොල, ලොව පුරා ගමනාන්ත 72 ට 2025 වසරේදී සම්බන්ධ වී තිබූ බව සඳහන්.

දකුණු ආසියාවේ වැඩිම සම්බන්ධිත ගුවන්තොටුපොල ලෙස, ගමනාන්ත 160 ට සම්බන්ධ ඉන්දියාවේ දිල්ලි පත්ව තිබේ.

දකුණු ආසියානු කලාපයේ උපායමාර්ගික ගුවන් මධ්‍යස්ථානයක් ලෙස කටුනායක ගුවන්තොටුපොල තවදුරටත් සංවර්ධනය කිරීමට රජය බලාපොරොත්තු වන බව විෂය භාර අමාත්‍යතුමා 2026 ජුනි මාසයේ මාධ්‍යයට පවසා තිබුණි.

AeroFiles 2026.09.27

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here