පුංචි රෝමය ආලෝකවත් කරමින් දැනුම, විනෝදය, සහ නව්‍යකරණය එකම ස්ථානයක …
මීගමුව පුරවරයේ හෙළ කිතුනු අභිමානය සුවිශේෂී ලෙස සනිටුහන් කළ, වසර 155 ක ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, සිය 155 වැනි සංවත්සරය මහත් හරසරින් සැමරීමට සූදානම් වේ. ඒ වෙනුවෙන්, මීගමුව අධ්‍යාපන කලාපයේ මෑත කාලීනව පැවති විශාලතම අධ්‍යාපන, විද්‍යා, තාක්ෂණ, සංස්කෘතික හා වෙළෙඳ ප්‍රදර්ශනය වන “Maryite Expo 2026” ( මේරිඑයිට් එක්ස්පෝ 2026 ) සංවිධානය කර ඇත. මෙම දැවැන්ත ප්‍රදර්ශනය මේ මස ඔක්තෝබර් 29, 30 සහ 31 යන තෙදින පුරා, පෙරවරු 8.30 සිට පස්වරු 5.00 දක්වා විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව පවතී.
සිසු දක්ෂතා එළිදක්වන වේදිකාව සහ දැනුමේ දොරටුව. …
මෙම ප්‍රදර්ශනයේ මූලික අරමුණක් වන්නේ විද්‍යාලයේ 155 වැනි අභිමානවත් සංවත්සරයට සමගාමීව, ශාන්ත මරියා විද්‍යාලයේ දරු දැරියන්ගේ සිසු නිපුණතා එළිදැක්වීමයි. අධ්‍යාපන, විද්‍යා, තාක්ෂණික, සංස්කෘතික හා වෙළඳ අංශයන් නියෝජනය වන ප්‍රදර්ශන කුටි 100 කට අධික ප්‍රමාණයක් මෙහිදී දැකගත හැකි වනු ඇත. රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල ප්‍රදර්ශන කුටි, අධ්‍යාපන විශ්ව විද්‍යාල සහ පාසල් නවෝත්පාදන ප්‍රදර්ශන කුටි මෙන්ම වෙළඳ ප්‍රදර්ශන කුටිද මෙයට ඇතුළත් වේ. මේ හරහා ප්‍රදේශයේ පාසල් දරුවන්ට මෙන්ම දෙමාපියන් ඇතුළු වැඩිහිටියන්ටද නව දැනුමක් හා අත්දැකීම් රාශියක් ලබා ගැනීමට අවස්ථාව සැලසේ.
ප්‍රදර්ශන තතු විත්ති එලි දැක් වු , දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව . …
ඒ අනුව ඊයේ දින (2026/10/20) උදෑසන විද්‍යාලයේදී පැවති මාධ්‍ය හමුවක් මගින් මෙම ප්‍රදර්ශනය පිළිබඳව නිල වශයෙන් දැනුම් දෙන ලදී. විද්‍යාලීය විදුහල්පති ගරු සුදත් හේමන්ත ප්‍රනාන්දු පියතුමන්ට හදිසි නොවැලැක්විය හැකි හේතුවක් නිසාවෙන් සහභාගි වීමට නොහැකි වුවද, විද්‍යාලීය සහකාර විදුහල්පතිවරුන් වන ගරු සුරංග වර්ණකුළසූරිය පියතුමා සහ ගරු සන්දිප් රුක්ෂාන් පියතුමා සහභාගී වූහ. එලෙසම විද්‍යාලීය ප්‍රාථමික අංශයේ නියෝජ්‍ය විදුහල්පතිනිය වන ගරු මේරි නිමාෂිනි කන්‍යා සොහොයුරියද තවද විද්‍යාලයේ අධ්‍යාපන පරිපාලන කටයුතු භාර නියෝජ්‍ය විදුහල්පතිනි දුලානි බණ්ඩාර මහත්මිය සහ අධ්‍යාපන සංවර්ධන කටයුතු භාර නියෝජ්‍ය විදුහල්පතිනි රශීමා තිළිණි මහත්මිය ද මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගී වූහ. .
සුවිශේෂී “දේව කැඳවීමේ කඳවුරක්”
Maryite Expo 2026 හි සුවිශේෂී අංගයක් වන්නේ “දේව කැඳවීමේ කඳවුරක්” පැවැත්වීමයි. කතෝලික සභාවට ගරු පියතුමන්ලා 94 දෙනෙකු දායාද කළ මීගමුව, ශාන්ත මරියා විද්‍යාලය, මෙම කඳවුර තුළ කතෝලික සභාවේ පැවිදි නිකායන් 25 ක පමණ කුටි ස්ථාපිත කිරීමට කටයුතු සංවිධානය කර ඇත. මෙය ප්‍රදේශයේ තරුණ තරුණියන්ට මෙන්ම පාසල් සිසු දරු දැරියන්ටද තම අනාගත ජීවිතය දේව කැඳවීමට අනුගත කරමින් සජීවීක දිවියක් තෝරා ගැනීමට මෙම ප්‍රදර්ශනය තවත් එක් සුවිශේෂී අවස්ථාවක් වනු ඇත.
ආදායම සුහුරු පන්ති කාමර සහිත සිව් මහල් ගොඩනැගිල්ල සඳහා . …
.
මෙම ප්‍රදර්ශනය සඳහා අලෙවි කරන ටිකට්පත් වලින් ලැබෙන මුදල්, දැනට පාසල් පරිශ්‍රය තුළ ඉදිකරමින් පවතින රුපියල් කෝටි 15 ක් ( රුපියල් මිලියන 150 ක් ) පමණ ඇස්තමේන්තු කර ඇති සුහුරු පන්ති කාමර (smart class rooms) සහිත සිව් මහල් ගොඩනැගිල්ලේ ඉතිරි ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගැනීමට මූලික අභිප්‍රාය වී ඇත.
අතිගරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදු වන ආරම්භය…..
ප්‍රදර්ශනයේ ආරම්භක දිනය වන ඔක්තෝබර් 29 වන දින, අතිගරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ සහ බස්නාහිර පළාත් කතෝලික පෞද්ගලික පාසල් ප්‍රධාන අධ්‍යක්ෂක ගරු රංජිත් මදුරාවල පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අති දැවැන්ත ප්‍රදර්ශනය විවෘත වේ. එලෙසම ප්‍රදර්ශනයේ දෙවන දිනය වන ඔක්තෝබර් 30 වන දින කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය විවෘත වන අතර, අවසන් දිනය වන ඔක්තෝබර් 31 වන දින විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහ මීගමුව ප්‍රදේශයේ වෙළඳ ව්‍යාපාරික ප්‍රජාවගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය විවෘත වනු ඇත.
මීගමුව ශාන්ත මරියා විද්‍යාලීය වසර 155 සංවත්සරය වෙනුවෙන් පවත්වනු ලබන Maryite Expo 2026 ( මෙරිඑයිට් එක්ස්පෝ 2026) අති දැවැන්ත, අධ්‍යාපන, විද්‍යා , තාක්ෂණික, සංස්කෘතික හා වෙළඳ ප්‍රදර්ශනය පිළිබඳව මෙම දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව විද්‍යාලීය ජනමාධ්‍ය විෂය භාර ආචාර්යවරයා වන චතුර ජයසිංහ මහතා ඇතුළු විද්‍යාලීය මාධ්‍ය ඒකකය විසින් සංවිධානය කර තිබිණි.
ඔබ සැමටම ආරාධනා . ….
අධ්‍යාපනය, දැනුම, විනෝදය සහ සතුට ලබන්නට මීගමුව ශාන්ත මරියා විද්‍යාලය අභිමානවත් ව සංවිධානය කරන Maryite Expo 2026 ( මෙරිඑයිට් එක්ස්පෝ 2026 ) අති දැවැන්ත ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ නව දැනුමක් තම ජීවිතයට ලබා ගන්නා ලෙස සිසු දරු දැරියන්ටත්, වැඩිහිටි ඔබ සැමටත් සුහද සිතින් මෙලෙස ආරාධනා කර සිටිමු. ..
සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු.
























