විත්තියේ ප්‍රශ්ණ කිරිම් හමුවේ ත්‍රස්ත විමර්ශන නිළධාරින් අසරණවෙයි !සැකකරු නිදොස්කොට නිදහස්!

0
618

 

ටී 56 වර්ගයේ, ස්වයංක්‍රීය ගිනි අවියක්, සහ පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබාගත් වරදට චෝදනා ලැබූ දුනගහ ප්‍රදේශයේ,
” අමරසිංහ ආරච්චිගේ සුජිත් ක්‍රිෂාන්ත අමරසිංහ” නොහොත් ” දූනගහ සුජිත් ” නැමැත්තාව එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස මීගමුව මහාධිකරණ විනිසුරු කවින්ද්‍රා නානායක්කාර මෙනවිය විසින් පසුගිය ද (2025/07/21)  දා නියෝග කලාය.

මෙම නඩු විභාගය එදින පෙරවරුවේදී මීගමුව මහාධිකරණයේදී විභාගයට ගැනිනි.
2013 වසරේ සිට රක්ෂිත බන්ධනාගාරගතව සිටි දුනගහ ප්‍රදේශයේ විසූ අමරසිංහ ආරච්චිගේ සුජිත් ක්‍රිෂාන්ත අමරසිංහ හෙවත් ” දූනගහ සුජිත් ” නැමැත්තාව එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේ කුරුවිට බන්ධනාගාරයේය. මේ අතර 2016/06/09 දින කොළඹ-01 ප්‍රදේශයේ පිහිටි, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ, නිලධාරින් විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව රැඳවුම් නියෝග යටතේ මෙම සැකකරුව එම නිලධාරින්ගේ භාරයට ගෙන තිබිණි. ඒ අනුව මෙම සැකකරුගෙන් 2016/06/11 වැනි දින පිටු 09 ක ප්‍රකාශයක් සහ 2016 /06 /13 වැනි දින පිටු 02 ක ප්‍රකාශයක් ද සටහන් කරගෙන තිබිණි. එලෙසම එම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නාලක රංජිත් බණ්ඩාර නමැති උප පොලිස් පරීක්ෂකවරයාග් මූලිකත්වයෙන් මෙම සැකකරුගෙන් 2016/06/21 දින කරන ලද ප්‍රශ්න කිරීම් වලදී මෙම සිදුවීම සම්බන්ධව විශේෂ ප්‍රකාශයක් සටහන් කර ගත් බවට වාර්තා වුනි. එම ප්‍රකාශය⁣ට අනුව අනාවරණය වුයේ මෙම සැකකරු විසින් භාවිතා කළ ටී 56 වර්ගයේ ගිනි අවියක් ඔහු විසූ, දූනගහ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ ,දර මඩුවේ සඟවා ඇති බවත් , සැකකරු විසින් එය පෙන්වීමට කැමැත්ත පලකර ඇති බවත්ය . ඉන්පසුව සැකකරුගෙන් ඉහත ප්‍රකාශය සටහන් කර ගැනීමට මූලිකව කටයුතු කළ නාලක රංජිත් බණ්ඩාර නමැති උප පොලිස් පරීක්ෂකවරයාද ඇතුළුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් සිවු දෙනෙකු මේ අනුව සැකකරු විසූ දුනගහ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ගිය බවද වාර්තා වුනි. එහිදී සැකකරුගේ නිවසේ දරමඩුවේ තිබී ටී 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක්, මැගසීනයක් සහ එම ගිනි අවියට යොදන උණ්ඩයක් සොයාගෙන තිබෙන බවද එම නිලධාරීන් වාර්තා කර තිබිණි . ඒ අනුව මෙම සැකකරුට එරෙහිව 2020/10/ 06 දින අධි චෝදනා පත්‍ර නිකුත් කර තිබිණි.

ඒ අනුව (2025/07/21) දින මීගමුව මහාධිකරණයේදී මෙම සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීම සිදුවිය.

එහිදී සාක්ෂි දීම සඳහා නාලක රංජිත් බණ්ඩාර නමැති ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂකවරයා මහාධිකරණය වෙත කැඳවා තිබිණි. ඒ අනුව සැකකරු හෙවත්, විත්තිය පාර්ශවයේ නීතිඥවරයා හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.

විත්තියේ නීතිඥ –— ත්‍රස්ත විමර්ශන කොට්ඨාශ නිලධාරීන් ලෙස මෙම විත්තිකරුව රැඳවුම් නියෝග යටතේ භාරගත් අවස්ථාව වන විට, මෙම විත්තිකරු කොපමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියේද ?
උප පොලිස් පරීක්ෂක— වසර 03 ක කාලයක්.

විත්තියේ නීතිඥ— විත්තිකරුගේ නිවසේ දරමඩුවේ ගිනි අවියක් ඇති බව ( 2016/06/21) එදින පෙරවරු 10.20 ට අනාවරණය කරගෙන, එය පරීක්ෂා කර බැලීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් පිටත් වූයේ කීයටද ?
උප පොලිස් පරීක්ෂක–– 2016 /06/21 දින පැය 16.05 ට ( සවස 4.05)

විත්තියේ නීතිඥ— ඒ අනුව විත්තිකරුගේ නිවසට ළඟාවන විට වේලාව කීයද ?
උප පොලිස් පරීක්ෂක— ඒ දිනයේ රාත්‍රී පැය 23 ට පමණ (රාත්‍රී.11.00 ට පමණ) එම නිවසට ළඟා වුණා.

විත්තියේ නීතිඥ-— විත්තිකරුගේ නිවසට යාමේදී යම්කිසි වෙනත් සංචාරය කිරීමක් හෝ අතරමගදී වෙනත් ස්ථානයකට ගමන් කිරීමක් හෝ සිදුවුණාද ?.
උප පොලිස් පරීක්ෂක— එහෙම අතරමග වෙනත් ස්ථානයකට ගමන් කිරීමක් සිදුවුණේ නැහැ.

විත්තියේ නීතිඥ — ත්‍රස්ත විමර්ශන කොට්ඨාශ මූලස්ථානයේ සිට දුනගහ ප්‍රදේශයේ මෙම සැකකරුගේ නිවසට කෙතරම් දුර ප්‍රමාණයක් ඇතිද ?
උප පොලිස් පරීක්ෂක— කිලෝමීටර් 60ක් පමණ.

විත්තියේ නීතිඥ— කිලෝ මීටර් 60 ක පමණ දුර ප්‍රමාණයක් ගමන් කිරීමට පැය 07 කට ආසන්න කාලයක් ගතවෙලා තියෙනවා නේද ?
උප පොලිස් පරීක්ෂක— ඔව්, එදින කොළඹ මාර්ගයේ අධික වාහන තද බදයක් තිබුණා. ඒක නිසයි, එතරම් වෙලාවක් ගත වුනේ.

විත්තියේ නීතිඥ–— ඔය කියන විදිහට මේ ගිනි අවිය අත්අඩංගුවට ගද්දි ඒ නිවසේ වෙන කවුද සිටියේ ?
උප පොලිස් පරීක්ෂක— ඒ නිවසේ, ඒ අවස්ථාවේදී විත්තිකරුගේ මව, විත්තිකරුගේ සහෝදරිය, සිටියා

විත්තියේ නීතිඥ –— ඒ අයගෙන් යම් ප්‍රකාශයක් හෝ සටහන් කර ගත්තේ ද ?
උප පොලිස් පරීක්ෂක— කිසිවෙකුගෙන් එහෙම ප්‍රකාශයක් සටහන් කරගත්තේ නැහැ.

විත්තියේ නීතිඥ–– ප්‍රධාන විමර්ශන නිලධාරියා ගිනි අවිය අත්අඩංගුවට ගත් ස්ථානයේ කිසිදු වැටලීම් සටහනක් නොයෙදීමට ඔහුට යම් බාධාවක් තිබුණාද ?
උප පොලිස් පරීක්ෂක-— බාධාවක් තිබුණේ නැහැ . ඒ ස්ථානයේ තිබූ අඳුර නිසා සටහන් යොදාන්නට නොහැකි වුණා.

විත්තියේ නීතිඥ— නැවත ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට පැමිණියේ කීයටද?
උප පොලිස් පරීක්ෂක— පසුදින (2016/07/22) අලුයම 1.30 ට

විත්තියේ නීතිඥ-— ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට පැමිණීමෙන් පසු සිදු කළ පළමු රාජකාරිය කුමක්ද ?
උප පොලිස් පරීක්ෂක–– භාන්ඩ මුද්‍රා කිරීම (සීල් කිරීම) සිදුකළා.එම කාර්යය නිමවන විට අලුයම 2.00 පමණ වුනා.

විත්තියේ නීතිඥ-— ත්‍රස්ත විමර්ශන කොට්ටාසයට ඇතුළුවීමේ සටහන යෙදුවේ කීයටද ?
උප පොලිස් පරීක්ෂක— අලුයම 1.30 ට

විත්තියේ නීතිඥ—- භාන්ඩ මුද්‍රා කිරීමට පැය භාගයක් පමණ ගියේ නම්, මුද්‍රා කර භාන්ඩ භාර දීම සඳහාත් පැය භාගයක් ගියේ නම්, පැමිණියේ අලුයම 1.30 ට නම් ඔබ මුලින්ම කළේ භාණ්ඩ මුද්‍රා කිරීම නම්, අළුයම 1.30 ට පැමිණීමේ සටහන් ඔබ යෙදුවේ කොහොමද ?
උප පොලිස් පරීක්ෂක-— ඇතුළුවිමේ සටහන කිරීම සිදුවන අතරතුරේම භාණ්ඩ මුද්‍රා තැබීමේ කාර්යය ද සිදු කළා.

විත්තියේ නීතිඥ-— තමුන්ගේ දීර්ඝ සටහන යෙදුවේ කීයටද?
උප පොලිස් පරීක්ෂක— ( ඔහු සටහන දෙස බලමින්) දීර්ඝ සටහන යෙදූවේත් අලුයම 1.30 ට.

විත්තියේ නීතිඥ — ( අධිකරණය වෙත යෝජනා කරමින්)
ඔය කියන ආකාරයට වැටලීමේ සටහනත් වැටලීමේ දීර්ඝ සටහනත් ඇතුළු වීමේ සටහනත් ,:භාණ්ඩ මුද්‍රා කිරීමත් සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට පැමිණීමත් අලුයම 1.30 ට සිදු වුනා නම් ඔය කටයුතු සියල්ලම අලුයම 1.30 ටම වීමට කිසිසේත්ම නොහැකියි .මෙය සම්පූර්ණ අසත්‍යයක් බවට මා යෝජනා කරනවා.
උප පොලිස් පරීක්ෂක-— ප්‍රතික්ෂේප කරනවා. මේවාඅසත්‍ය සටහන් නොවේ.මා ත්‍රස්ත විමර්ෂන කොට්ඨාසයට පැමිණි වේලාවයි මෙලෙස සටහන් කර තිබෙන්නේ.

මෙහිදී සැකකරු හෙවත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණයට යෝජනා කලේ විත්තිකරු විසින් ( ගිනි අවියක් සම්බන්ධව ) එවැනි ආකාරයේ ප්‍රකාශයක් සිදු නොකළ බවත්, ඔය ආකාරයක වැටලීමක් සිදු නොවූ බවත්, විත්තිකරුගේ පෙන්වාදීම මත එවැනි ගිනි අවියක් සොයා නොගත් බවත්, රක්ෂිත බන්ධනාගාර ගතකල රැඳවියෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ , ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයට ගෙන කිසිදු ගිනි අවියක් සොයාගත නොහැකි වූ තැන,, එම සැකකරුගෙන් ප්‍රකාශයන් 02 ක්ද සටහන් කරගෙන හෝ කිසිවක් අනාවරණය නොවූ විට වෙනත් පුද්ගලයෙකුගෙන් සොයාගත් ටී 56 ගිනි අවියක්, මේ විත්තිකරුට සතු කිරීමට ද්වේෂසහගතව කටයුතු කර ඇති බවයි.
ඉන් පසුව මහාධිකරණ විනිසුරුතුමිය විසින්ද සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කිරීමක් සිදු කළාය.

විනිසුරුතුමිය — මෙම දරමඩුව ,ආවරණය වූ එකක්ද, නිරාවරණය වූ එකක්ද ?
උප පොලිස් පරීක්ෂක— නිරාවරණය වූ එකක්

විනිසුරුතුමිය— එම දරමඩුවේ තිබූ දර කුමන තත්ත්වයෙන් තිබුණේද ?
උප පොලිස් පරීක්ෂක— එම දර කඩා පාවිච්චි කිරීමට හැකි ඒවායි.

විනිසුරුතුමිය— එම දර දිරාපත්ව තිබුණේද ?
උප පොලිස් පරීක්ෂක— ( එම දර දිරාපත්ව තිබුණේ ද යන්න ඔහු ප්‍රකාශ නොකළේය)

විනිසුරුතුමිය— එම නිවසේ වෙනත් තැනැත්තන් සිටියා නේද?
උප පොලිස් පරීක්ෂක-— වෙනත් අයත් එහි සිටියා.

ඉන්පසු මහාධිකරණ විනිසුරුතුමිය විසින් මහාධිකරණයේ නියෝගය ප්‍රකාශයට පත් කිරීමට පෙර සඳහන් කළේ වසර 03 ක් බන්ධනාගාරගතව සිටිය මෙම විත්තිකරුගේ තනි හා අනන්‍ය සන්තකයේ මෙම ටී 56 ගිනි අවිය තිබුණේ යැයි කිසිසේත් පිළිගත නොහැකි බවයි.එය ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය අපොහොසත් වී ඇති බවත්, එලෙසම මෙම නිලධාරියාට කිලෝමීටර 60 ක පමණ දුරක් ගමන් කිරීමට පැය 07කට ආසන්න කාලයක් ගතවී ඇති බව කිසිසේත්ම අධිකරණයට පිළිගත නොහැකි බවද සඳහන් කළාය.එමෙන්ම මෙම නිලධාරියා සටහන් යොදා ඇති ආකාරය සහ ඔහු සාක්ෂි ලබාදුන් ආකාරය ඉතා පැහැදිලිවම මෙම අධිකරණයට දිස්වූයේ ඔහු රාජකාරිය නිසි ආකාරයෙන් ඉටුකිරීම පැහැර හැර ඇති බවත් .එය කිසිසේත්ම සාධාරණීකරණයට ලක් කළ නොහැකි බවද විනිසුරුතුමිය මෙහිදී සඳහන් කළාය. මේ හේතුවෙන් තව කොතෙක් සාක්ෂි මෙහෙයවීම සිදුකලත් මෙම විත්තිකරුව, වරදකරු කිරීමේ තීරණයකට එළඹිය හැකි ආකාරයේ සාක්ෂි ගරු අධිකරණයට ඉදිරිපත්ව නොමැති බැවින් නීතිපති ඉදිරියේ බරණගේ නඩු තීන්දුව අනුව යමින් මෙම විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවට විනිසුරුතුමිය විසින් නියෝග කළාය.

විත්තිකරු හෙවත් සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ දන්ත නිරංජන් මහතා පෙනී සිටියේය. ඔහුගේ සහයට අරුණි ද සිල්වා, චමිලා දිල්රුක්ෂි යන නීතිඥවරියන් පෙනී සිටි අතර පැමිණිලි පාර්ශවය හෙවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙනුවෙන් රජයේ අධිනීතිඥ ප්‍රභාත් දිසානායක මහතා පෙනී සිටියේය..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here