වෙරළ තීරයේ පුවරු විනාශ කළ පුද්ගලයන් අත්අඩංගුවට නොගන්නේ ඇයි ?

0
211

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වූ ඉතා සුන්දර මෙන්ම චමත්කාරජනක මුහුදු වෙරළ තීරයක් ලෙස ප්‍රකට මීගමුව මුහුදු වෙරළ තීරය ආශ්‍රිතව දැනට කලක පටන් ෆෝ-වීල් රථ (off road four-wheel driving) ධාවනය සුලභව සිදු විය. මීගමුව වෙරළ තීරයේ අඛන්ඩව සිදුවුන මෙම ෆෝ-වීල් රථ ධාවනය නිසා ,මීගමුව මුහුදු වෙරළ තීරය ආශ්‍රිතව විවේකීව, නිදහසේ කාලය ගත කිරීමට සහ මුහුදු වෙරළේ චමත්කාරය අත්විඳීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් හට ඉන් විශාල බාධාවක් මෙන්ම අනතුරුදායක තත්ත්වයක්ද මෙහිදී ඇති විය.

එමෙන්ම මෙම තත්වය මුහුදු වෙරළ තීරයේ භෞතික ස්වභාවයට සහ එහි පැවැත්මට ද එලෙසම මුහුදු වෙරළ තිරයේ ස්වභාවික සුන්දරත්වයට ද විශාල බාධාවක් විය. මේ පිළිබඳව දිගින් දිගටම මීගමුව සංචාරක පොලිස් ස්ථානයට ලද පැමිණිලි හේතුවෙන් සහ මීගමුව ගරු නගරාධිපතිතුමන්ගේ විශේෂ ඉල්ලීම පරිදි ,වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම සහ අධීක්ෂණය යටතේ මීගමුව සංචාරක සංගමය (NTA) මගින් මීට මාස කිහිපයකට පෙර රුපියල් ලක්ෂ දෙකහමාරකට අධික ( රුපියල් ලක්ෂ 2.5 කට අධික ) මුදලක් වැය කරමින් ප්‍රදර්ශන පුවරු 10 ක් නිර්මාණය කර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගේ මඟ පෙන්වීමට අනුව මීගමුව වෙරළ තීරයේ ස්ථාන 10 ක එම පුවරු ප්‍රදර්ශනය කලහ.

ඒ අනුව 2011 වසරේ අංක 49 දරණ වෙරළ සංරක්ෂන පනත ( සංශෝධිත) අනුව එම දැන්වීම් පුවරු වල සඳහන් වුයේ
“” අවවාදයයි.
නිසි අවසරයකින් තොරව වෙරළ තීරයේ භෞතික ස්වභාවය වෙනස් වන ලෙස වාහන ධාවනය කිරීම 2011 අංක 49 දරණ වෙරළ සංරක්ෂණ (සංශෝධිත) පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදකි.
වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂක ජෙනරාල්. “””
යනුවෙනි.

ඒ අනුව එම ප්‍රදර්ශන පුවරු මේ වන විට , මීගමුව සංචාරක පොලීසිය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු රාජ්‍ය දේපළක් බවට පත්වී තිබේ.

එහෙත් අප වෙත වාර්තා වූයේ පසුගිය සති 02 ක කාලය තුල කිසියම් පුද්ගලයෙකු විසින් එම ප්‍රදර්ශන පුවරු 10 න් 02 ක් කඩා බිඳ දමා විනාශ කර ඇති ආකාරයයි .

වාර්තා වන පරිදි මේ පිළිබඳව මීගමුව සංචාරක පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් ,මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර තිබේ.

එහෙත් මෙම ප්‍රදර්ශන පූවරු කඩා දමා විනාශ කල එම පුද්ගලයාව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවද අප වෙත වාර්තා වුනි.

එලෙසම වැඩිදුරටත් අප වෙත වර්තා වන පරිදි රාජ්‍ය දේපළක් කඩා දමා විනාශ කිරීම දැඩි සිර දඬුවම් පවා ලැබිය හැකි වරදකි. එලෙසම වාර්තා වන පරිදි මෙම ප්‍රදර්ශන පුවරු කඩා බිඳ දමා විනාශ කල පුද්ගලයා පැමිණි ත්‍රී රෝද රථය පහසුවෙන්ම හඳුනා ගැනීමට පවා අසල ඇති සී.සී.ටී.වී. දර්ශන සහිතව පිළිගත හැකි සාක්ෂි තිබියදීත් මේ අනීතික ක්‍රියාවලියට වගකිය යුතු අදාල පුද්ගලයා මීගමුව මූලස්ථාන පොලිසියය මගින් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම පිළිබඳව ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.

එමෙන්ම මීගමුව වෙරළ තීරයට ආසන්නව ඇති සංචාරක හෝටල් අයත් හෝටල් හිමියන් වැඩි දෙනෙකු පවසන්නේ විශාල මුදලක් වැයකර මීගමුව සංචාරක සංගමය මගින් වත්මන් රජයට සහය දක්වා සහ ප්‍රජා සේවාවක් ලෙස සලකා මීගමුවේ සංචාරක ප්‍රවර්ධනය අරමුණු කරගෙන සහ මුහුදු වෙරළ තිරයේ ආරක්ෂාව වෙනුවෙන් නිර්මාණය කර දුන් මෙම ප්‍රදර්ශන පුවරු මෙලෙස කඩා බිඳ දමා විනාශ කිරීමට හේතුව පෞද්ගලික පරමාර්ථයක් විය හැකි බවයි.

එමෙන්ම එම හෝටල් හිමියන් වැඩි දෙනෙකු දැඩිව පෙන්වා දෙන්නේ ඉතිරි වී ඇති ප්‍රදර්ශන පුවරු 08 හෝ ආරක්ෂා කර ගැනීමට නම් පෙර ප්‍රදර්ශන පූවරු 02 ක කඩා බිඳ දමා විනාශ කල පුද්ගලයා වහාම අත්අඩංගුවට ගත යුතු බවයි. එහෙත් මීගමුව මූලස්ථාන පොලිසියේ , පොලිස් නිලධාරීන් විසින් සී.සී. ටී.වී. දර්ශන වලින් පවා සාක්ෂි සපයන විට මෙලෙස මෙම ප්‍රදර්ශන පුවරු කඩාබිඳ දමා විනාශ කළ පුද්ගලයාව අත්අඩංගුවට නොගන්නේ කවර බලපෑමකට යටත්ව දැයි , එම හෝටල් හිමියන් වැඩිදුරටත් ප්‍රශ්න කර සිටි..

එම්මානුවෙල් පීරිස්
ඒත්තුකාල , මීගමුව..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here