spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සමෘද්ධි බැංකු නිලධාරිනියගේ වැඩ තහනම හෙවත් ටින්ටස් ඇණේට කුළුගෙඩියෙන් ගැහීම

Must read

ඡායාරූපය උපුටාගැනීම අන්තර්ජාලයෙනි.
ඡෘයාරූපය ප්‍රවෘත්තියට අදාළ නැත

මේ දිනවල උණුසුම් පුවත් කිහිපයක් ගොඩ ගැසී ඇතත් පහුගිය දවස්වල “නැඟලා ගියේ” සමෘද්ධි බැංකු නිලධාරිනියගේ කුණුහරුපයයි.ඒකට දෙනෝදාහක් දෙනා ඒ නිලධාරිනියගේ අම්මා මුත්තා සිහිපත් කළහ.රාජ්‍ය සේවයේ අශීලාචාරකම ගැන හෑලි ලියූහ.ඊළඟට ඒකටම සම්බන්ධ තවත් වීඩියෝවක් එළියට ආවේය.ඒකේ අර නිලධාරිනියත් ඉන්නවා පෙනුණි.ඒ නිලධාරිනිය සේවය කළ තැනම සේවය කරන අයෙකු මාධ්‍යවේදියායැයි කියන කෙනෙකුට හොඳ වැදගත් විදියට කතා කර කරුණු පැහැදිලි කරදීමට උත්සාහ ගන්නවා ද පෙනුණි. මාධ්‍යවේදියායැයි කියන කෙනා ඔහුට “හවස නිවුස් වලට පෙන්නනම්” යැයි තර්ජනය කරනු ද පෙනුණි .වඩාත් වටිනාම දේ ඒ සමෘද්ධි බැංකුවේ සේවය ලබාගන්නට පැමිණි මහජනයා ද අර මාධ්‍යවේදියායැයි කියන කෙනාට හොඳටම අමතන අන්දමත් එහි සටහන්ව තිබීම ය. ඒකොටස අර සමෘද්ධි නිලධාරිනියගේ කුණුහරුපයට පෙර සිදුවීම බව ඉතාම පැහැදිලිය. මහජනයාගේ විරෝධයට පාත්‍රවන විට මාධ්‍යවේදියායැයි කියන කෙනා “ඔයාව මම පුද්ගලිකව හමුවෙන්නම්” යැයි කියා ෂේප් වෙන්නට වෙරදැරුවත් මහජනතාව ඒකාබද්ධව ඔහුට ප්‍රකාශ නොදීමට ක්‍රියා කළේ එම ස්ථානයේ පැවති ගැටලුව තීව්‍ර කළේ ඔහු බවට චෝදනාවක් ද කරමිනි.

පෙර නිකුත් වූ වීඩියෝවේ දුෂ්ටයා වූයේ නිලධාරිනිය ය.නමුත් වීඩියෝවේ දුෂ්ඨයා වුනේ මාධ්‍යවේදියායි.නමුත් දෙවෙනි එක මුල් එක තරම් නැගලා ගියේ නැත.නිලධාරීනිය දුෂ්ටයා වුණේ වචන තුනක් ප්‍රකාශ කර ගස්සාගෙන යාමෙනි.මාධ්‍යවේදියා දුෂ්ටයා වුනේ තමාගේ උද්දච්ච මනෝභාවය හා තමන්ගේ වෘත්තිය බලය යොදාගෙන නිලධාරීන් තර්ජනත්මක ප්‍රකාශ මගින් බිය වැද්දීමට තැත් කිරීම නිසා ය.එමෙන්ම මහජනයාගෙන් මේ ස්ථානයේ ගැටලුවක් ඇති බවට බලයෙන් ප්‍රකාශ ලබා ගැනීමට උත්සාහ කිරීම වැනි වෘත්තීය වශයෙන් සදාචාරාත්මක නොවන හැසිරීම් ගණනාවක් පෙන්නුම් කිරීම නිසාය.නමුත් සුපුරුදු පරිදි වැඩියෙන් දොස් කියන්නේ අර නිලධාරිනියගේ වචන තුනට ය.ඒ වෙන කිසිවක් නිසා නොවේ. ඒ වචන තුන කිව්වේ කාන්තාවක් නිසා ය.
කාන්තාවකගේ කටින් කුණුහරුපයක් සැරෙන් පිට වෙන්නට නම් ඇයට කොතරම් ප්‍රමාණයක මානසික පීඩනයක් දියයුතුදැයි ඕනෑම කෙනෙකුට සිතා ගත හැකිය ඒ කිව් කුණුහරුපයම පිරිමියෙක් ගෙන් පිට කරවා ගැනීමට නම් බොහොම සුලු බැණීමක් ප්‍රමාණවත්‍ වේ.මට කල්පනා වෙන්නේ ඒ කුණුහරුපය අර කාන්තාවගේ කටින් පිට කරවා ගැනීමට මාධ්‍යවේදියායැයි කියාගන්නා තැනැත්තා සෑහෙන වදයක් ඒ කාන්තාවට දෙන්නට ඇති කියා ය.ඒ ප්‍රමාණයේ වදයකින් භාගයක් පිරිමියෙකුට දුන්නානම් වදේ දීපු එකා මොකා වුණත් උගේ හොම්බ කට සමතලා කරගනු නියත ය. හොම්බකට බේරා ගැනීමේ වාසනාව තිබුනු නිසාදෝ ඒ අධමයාගේ වදයට පාත්‍රවුණේ කාන්තාවකි.

පසුගියදා සමාජගත වූ “අළුත්ම අප් ඩේට් එක” ඒ කාන්තාවගේ රැකියාවෙන් වැඩ තහනමට ලක්වීම නිසා ජීවත් වෙන්න විදියක් නැතැයි කියා හඬා වැටෙන වීඩියෝවය. ඒ වීඩියෝවට හොඳ වැඩේ කියන සත්පුරුෂයන් ද සෑහෙන සංඛ්‍යාවක් දුටුවෙමි.තවත් පිරිසක් අලුත්ම සොයා ගැනීමක් කර ඇත. ඒ අර කාන්තාව විශ්ව විද්‍යලයේදී සමාජවාදය පදනම්වූ දේශපාලනයක නිරතව සිටි කෙනෙකු බව සොයා ගැනීමය.ඒ සොයා ගැනීම කළ අය පෙන්වන්න උත්සාහ කරන්නේ .”ඔය මාලිමාවේ එවුන් ඔහොමම තමා” යන්න ය.ඒ අයට අනුව මාලිමාවට හෝ මිටියට වැඩ කරන එවුන් ගේ වැඩ තහනම් වී කෙලවුනාට කමක් නැත .උන් ප්‍රකෝපවී කුණුහරුප කියනවුන්‍ ය.ශීලාචාර කමක් නැත.ඒ නිසා උන්ගේ වැඩ තහනම් වී ජිවත් වෙන්න විදියක් නැතුව අඬා වැටීම ඒ අයගේ සංතෝෂයට කරුණකි.මේ අපේ සුචරිතවත් සමාජ දර්ශනයේ හැටිය.
මේ කිසි එකෙක් අර විදියට කාන්තාවකගේ කටින් කුණුහරුපයක් පිට කිරීමට අවශ්‍ය වන අන්දමට ඇයට පීඩනය දුන් කාලකන්නියා ගැන කතාවක් නැත. වෙන එකක් තබා ඒකා ප්‍රවෘත්ති සපයන මාධ්‍ය ආයතනය හරි නම් කළ යුතුව තිබුණේ දෙවන වීඩියෝවෙන් තහවුරු වන කරුණු අනුව ඌව බ්ලැක් ලිස්ට් කර මාධ්‍ය රස්සාවෙන් එලවා දැමීමය.ඒ අවශ්‍යතාවය කාටවත් පෙනී නැත්තේ ඒකා පුරුෂ ලිංගිකයෙකු වන නිසා වියයුතු ය. වාමාංශික අදහස් සහිත දේශපාලනය කරන අයට ඕනෑවට වඩා පීඩනය දෙන්න ගිය රටේ පාලකයින් මුලු රටේ තරුණ පරම්පරාවක්ම බල්ලන් බළලුන් මෙන් මහපාරේ මරාදමන්නට මග පාදාගත් අන්දම ගැන අත්දැකීමක් මේ රටේ බොහොමයකට ඇත. ඒවා කල පාලකයින්ට හා සගයින්ටද මහපාරේ මෙන්ම ගෙදරදීමත් අකාලයේ මරු වැළඳ ගන්නට සිදුවූ බව අපට මතකය. එහෙව් රටේ වමේ දේශපාලනය කරන කාන්තාවක් නම් ඇය වචන තුනක කුණුහරුපයක් කියා ගස්සා ගෙන යාමෙන් පමණක් ප්‍රතිචාර දැක්වීම ගැන ඇයට කෘතඥ විය යුතුය.

මේ රටේ පවතින තත්වය අනුව මහජනයා සමග දෛනිකව විශාල වශයෙන් කටයුතු කරන ග්‍රාම නිලධාරීන් සමෘද්ධි නිලධාරීන් හා වෙනත් ක්ෂේත්‍ර නිලධාරීන් මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සෘජු මහජන සේවා සම්පාදනය කරන ආයතන ආදී රාජ්‍ය ආයතනවල සේවකයෝ ජනතාව විඳින ජීවත්වීමේ අවදානමේ පීඩනයට එරෙහිව රජය වෙත එල්ල කරනු ලබන විරෝධයටත් මුහුණ දෙන්නෝ වෙති. ඔව්හු තමන්ගේ ජීවත්වීමේ අවදානමේ පීඩනය කෙලින්ම දරන්නෝ වෙති.ඒනිසා ඔවුන් කෙරෙහි ද සානුකම්පිතව බැලිය යුතුය. විශේෂයෙන් රාජ්‍ය සේවක කාන්තාවන්ද අනිකුත් සාමාන්‍ය කාන්තාවන් මෙන්ම තම දරුමල්ලන්ගේ කුසගින්න ඔවුන්ගේ අනාගතය පිළිබඳ බරපතල ලෙස සිතමින් පීඩාවේ උපරිමය දරමින් සිටිති.ඒනිසා ඔවුන්ට තවත් අතිරේක පීඩනයක් ලබා දී කරදර හිරිහැර කර ඔවුන්ගෙන් ක්ෂාන්තිවාදී පාරමිතා බලාපොරොත්තුවීම අමුම ගොං වැඩකි. මේ පසුබිම යටතේ අර කුණුහරුපයෙන් අධමයෙකුට ආමන්ත්‍රණය කළායැයි චෝදනා කර අර කාන්තාවගේ වැඩ තහනම් කිරීම ඊටත් වඩා භයානක ගොංකමකි. අවවාද කිරීමකින් නිවැරදි කළ හැකි වරදකට වැඩ තහනම් කිරීම ටින්ටස් ඇණේට කුළුගෙඩියෙන් ගැහුවාක් වැනි ගොං තකතිරු වැඩකි.

සුනිල් කන්නන්ගර විශ්‍රාමික ශ්‍රී ලංකා පරිපාලන සේවය
උපුටා ගැනීම – www.vinivida.lk

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article