සසංකාරා…

0
479

Tv බලන්න තරම් ජීවිතේ විවේකයක් නැති වුණත් මෑතක fb ශෝට්ස්වලින් කතා කීපයක්ම නිරන්තරයෙන් බැලුවා. ඒ අතරින් තවමත් බලමින් පවතින කතාවක් තමයි “සසංකාරා”. ඉතා දක්ෂ රංගන කෞශ්‍යල්‍යයක් නිරූපණය කරන ප්‍රතිභාපූර්ණ ශිල්පීන් වගේම නවක ශිල්පීන්ගෙනුත් මේ නාට්‍යයට ලැබෙන්නෙ ආලෝකයක්. ඒ වගේම එහි භාවිත ව්‍යංගයෙන් අනූන භාෂා භාවිතය කාව්‍යාත්මක මනහරබවක් එම කර්කශ ගැමි ජීවිතය අර්ථපූර්ණ කරන්න ගෙන එනවා. සරල අව්‍යාජත්වය වගේම නොහික්මුණු ජීවන යතාර්ථයන් අමුවෙන් විදහාපානවට වඩා සංස්කෘතික කඩමාල්ලේ විසිදුරු වුණු ග්‍රාම්‍ය මනෝභාවයන් හරි අපූරුවට ඉස්මතුකරන්න මේ කතාව සමත් වෙලා තියනව.

ඉතිං ඒ නිසාම සංස්කෘතිය කරපින්නගත්තු හෙළ ප්‍රේක්ෂකයා මේ ටිකේ පුදුමතරම් මේ කතාවට බනිනව කමෙන්ට්ස් වලින් පෙනෙනව. සමහරු චෝදනා කරල තිබුණා මෙම කතාව සිංහල මිනිස්සු එක්ක වෛරයෙන් ලියල තියන බවත් මෙහෙම දේවල් මේ මිහිපිට නොවන බවත්…

ග්‍රාමීය පරිසරවල අවුරුදු පහළවකට කිට්ටු වෘත්තීය අත්දැකීම් නිසාම දන්නව මේ බොහෝ කාරණා අදටත් චක්‍රයක් සේ සිදු වන බව. ගුරුවරුන්ට දරුවන්ගේ මාර්ගයෙන් ග්‍රාමීය කුටුම්භ තුළ දෛනිකව සිදුවන දේවල තොරතුරු ලැබෙනව. ලංකාවෙ බොහෝ දුශ්කර ගම්මානවල පියවරු කිහිපදෙනෙකුගෙන් එකම මවක් ලද දරුවන් එකම නිවසින් පාසලට එන අවස්ථා, ගමට ආ ආගන්තුකයන් අතින් ගමේ කතුන් ගැබ් දැරූ අවස්ථා, පිටස්තරයන්ගේ කාසිවලට රැවටී කැලේ කොළේ බඩගා දරුවන් සමග තනි වූ අවස්ථා ආදී එකී මෙකී නොකී කතා විරල නැහැ.

එසේම මෙහි නලුනිළියන්ට ඉතා නින්දිත අයුරින් බැනවැදෙමින් කමෙන්ට් කිරීමට තරම් වර්ථමාන ප්‍රේක්ෂකයා කලාව යනු කුමක්දැයි නොදැන සිටීම කනගාටුවට කරුණක්. බිත්තිය හෝ නලුනිළියන් හඳුනාගත නොහැකි මට්ටමට මේකප් දැමූ, දවල් හෝ රෑ වෙන්කොට හැඳිනිය නොහැකි මට්ටමට ලයිට් ගැසූ දෙවෙනි ඉනිම, සංගීතේ ආදී සිල්ලර ටෙලිනාට්‍යවලට මෙවැනි නිර්මාණවල අහලකටවත් ඒමට නොහැකි යුගයක වචනයේ පරිසමාප්‍ත අර්ථයෙන්ම මෙවන් උසස් කලා නිර්මාණ බිහිවීම ඉතාම කාලානුරූපයි. විෂේශයෙන්ම කථාවට ගැලපෙන අයුරින් වචන, චරිත හසුරුවනවා සේම රංගවින්‍යාසයන් තීව්‍ර කිරීමද දායක වන රංග උපකරණ ඇඳුම් ආයිත්තම් ගෘහභාණ්ඩ ආදී සියල්ල කතාවේ තාත්විකත්වය ඉස්මතු කරනවා. මගුලට යාමට මෙන් ගෙදරටත් මේකප් දමා සිටින සීනිබෝල නලුනිළියන් ආයාසයෙන් රඟන සිල්ලර කතා දැක බලා සැනසෙන්න ආස බහුතරයක් මිනිසුන් මෙම තාත්වික නිරූපණයන් දිරවා නොගැනීම කනගාටුවට කරුණක්.

තිළිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here