සිරිපැළ ලෑන්ඩ්ස් , කටාන ප්‍රා. සභාව,  වගඋත්තරකරුවන් කරමින් නඩුවක් ගොනු කරයි.

0
379

WhatsApp Image 2026 02 25 at 8.17.51 AM

කටාන ප්‍රාදේශීය සභාව ඇතුළු ඒ ආසන්නව පිහිටි රාජ්‍ය ආයතන ගණනාවක් පිහිටා ඇති
” ඉඹුල් ගස් වාඩිය ” නැමැති විශාල ඉඩමෙන් , අක්කර 05 ක ප්‍රමාණයකින් යුත් ඉඩම් කොටසක්, අයත් බව කියමින් සිරිපැල ලෑන්ඩ්ස් ආයතනයට එම ඉඩම් කොටස ලබා නොදීමට එරෙහිව, කටාන ප්‍රාදේශීය සභාවට හා එහි සභාපතිනිය ත් එමෙන්ම උප සභාපතිවරයාව සහ එහි ලේකම්වරයාව ද වග උත්තරකරුවන් කරමින් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කර ඇත.
ඒ අනුව අද දින (24/02/2026) කටාන ප්‍රාදේශීය සභාවේ පැවති පෙබරවාරි මාසයට අදාළ මාසික මහා සභා රැස්වීම සඳහා සභාපතිනි නිෂානි ඉරේෂා මහත්මිය විසින් විශේෂිත යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි. එම යෝජනාවෙන් සභාපතිනිය ඉල්ලා සිටියේ
“සිරිපැල” ඉඩම සඳහා ප්‍රාදේශීය සභාව හා සභාවේ සභාපතිනි, උපසභාපති මෙන්ම ලේකම් , වග උත්තරකරුවන් කරමින් ඒවා ඇති නඩු අංක 28/ 2026 වෙනුවෙන් අභියාචනාධිකරණයේ පෙනී සිටීම සඳහා නීතිඥ චන්දන බොතේජු මහතා පත් කර ගත යුතු බවටත් ඒ සඳහා වන නීතිඥ ගාස්තු කටාන ප්‍රාදේශීය සභා අරමුදලින් දැරීම සුදුසු බවත්ය.
එහෙත් කටාන ප්‍රාදේශීය සභාවේ විපක්ෂ සභිකවරුන් එහිදී සභාපතිනිය විසින් ගෙන ආ එම යෝජනාවට විරුද්ධව අදහස් පළ කළහ. ස්වාධීන සභිකවරුන් ඇතුළුව විපක්ෂ සභිකවරුන් එහිදී ප්‍රකාශ කළේ මෙම නඩුව සඳහා ගෙවිය යුතු නීතිඥ ගාස්තු සභා අරමුදල් මගින් ගෙවීම නිශ්ඵල කාර්යයක් විය හැකි බවයි. එලෙසම බොහෝ විපක්ෂ සභිකවරුන් මෙහිදී කියා සිටියේ මේ නඩුව සඳහා වැයවන නීතිඥ ගාස්තු සභා අරමුදල් මඟින් ගෙවීමට තමන් විරුද්ධ වන බවයි.
එහෙත් ආණ්ඩු පක්ෂ සභිකවරුන් බොහෝ දෙනෙකු පැවසුවේ මෙම නඩුව සඳහා කටාන ප්‍රාදේශීය සභාව ඇතුළු එහි සභාපතිනිය, උප සභාපතිවරයාව සහ ලේකම්වරයාව වග උත්තරකරුවන් ලෙස නම් කර ඇති නිසා මෙය පුද්ගලික නඩුවක් ලෙස නොසලකා, මෙහිදී වැය වන නීතිඥ ගාස්තු සභා අරමුදල් මගින් ගෙවීම සුදුසු වන බවයි.
පසුව මෙම යෝජනාව සඳහා ඡන්ද විමසීමක් සිදු කරන ලදී. එහිදී මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 23 ක් ද , විපක්ෂව ඡන්ද 17 ක් ද ප්‍රකාශ වූ අතර සභිකවරුන් 02 කු මෙවර මහ සභාවට පැමිණ නොසිටි අතර ඒ අනුව වැඩි ඡන්ද 06 කින් මෙම යෝජනාව සභා සම්මත වූ බව ප්‍රකාශ කරන ලදී.

මේ පිළිබඳව කටාන ප්‍රාදේශීය සභා සභාපතිනී නිෂානි ඉරේෂා මහත්මියගෙන් කරන ලද විමසීමකදී ඇය කියා සිටියේ ඉඩම සඳහා අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බැවින් මේ සම්බන්ධව කිසිවක් ඇයට මේ මොහොතේ ප්‍රකාශ කළ නොහැකි බවයි.

මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී වාර්තා වූයේ අභියාචනාධිකරණයේ ගොනුකර ඇති මෙම නඩුව සඳහා කටාන සංවර්ධන කමිටු සභාපතිවරයාව සහ එහි ලේකම් ධූරය දරන කටාන ප්‍රාදේශීය ලේකම්වරියද ඇතුළු තවත් රාජ්‍ය නිලධාරින් කිහිපදෙනෙකුවම මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස නමි කර ඇති බවයි.

” ඉඹුල් ගස් වාඩිය ” නැමැති මෙම විශාල ඉඩමෙන්, ඉඩම් කොටස් කිහිපයක අයිතිය ඇති බව ප්‍රකාශ කරමින් ඉදිරිපත් වී ඇති පාර්ශවයන් වෙත මෙම ඉඩම් කොටස් ලබා නොදෙන ලෙස ඉල්ලමින් කටාන ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසක් පසුගිය වසරේ එනම් 2025 වසරේ ඔක්තෝබර් මසදී කටාන ප්‍රාදේශීය සභා කාර්යාලයේ ඉදිරිපිටදී විශාල මහජන විරෝධතාවයක් පවත්වන ලදී. එදින එම විරෝධතාවය හමුවේ කටාන ප්‍රාදේශීය සභා සභාපතිනි නිශානි ඉරේෂා මහත්මිය ජන මාධ්‍යයන් වෙත ප්‍රකාශ කර තිබුනේ
” ඉඹුල්ගස්වාඩිය” නැමැති මෙම ඉඩම පසුගිය ආණ්ඩු කාලයන් සමයේදී කටාන නව නගරය නිර්මාණ කිරීමට වෙන් කරන ලද ඉඩමක් බවත්, එය තවමත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් (එල්.ආර්.සී) ඉඩමක් බවට වාර්තා වුණු බවත්ය. එලෙසම මේ වන විට එහි ඉඩම් කොටස් කිහිපයක අයිතිය ඇති බව ප්‍රකාශ කරමින් දෙදෙනෙකු ඉදිරිපත්ව තිබෙන බවත් කෙසේ වෙතත් ( ඒ වන විට) තමන් කටාන ප්‍රාදේශීය සභාපතිනිය බවට පත්වී ගත වී ඇත්තේ මාස දෙක තුනක කාලයක් පමණක් බවත් ඒ නිසා තමා මේ පිළිබඳව නිසි ලෙස දැනුවත් නොමැති නිසා, පලාත් පාලන දෙපාර්තමේන්තුවෙන් මේ සඳහා නීති උපදෙස් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙන බවද එහිදී ඇය වැඩිදුරටත් අවධාරණය කර තිබුණි.
කෙසේ වෙතත් එම විරෝධතාවෙන් පසු ඇය මාධ්‍ය වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ, මෙය රජය සතු දේපලක් නම් , මෙය පෞද්ගලික පිරිස් වෙත ලබා නොදිය යුතු බවයි. එලෙසම ඇය එහිදී විශේෂිතම කරුණක් ලෙස ප්‍රකාශ කළේ මේ වන විට මෙම විශාල ඉඩමේ කටාන ආසනයේ බහුතරයක් රාජ්‍ය ආයතන ස්ථාපිත කර ඇති නිසා විශේෂයෙන්ම පොලිසිය, සමුපාකාරය, ප්‍රාදේශීය සභාව, තැපැල් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රජයේ වෙඩි බෙහෙත් ගබඩාව, පසු වෛද්‍ය කාර්යාලය, කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යනාදී රජයේ ගොඩනැගිලි මෙම ඉඩමේ පිහිටා ඇති නිසා පසුගිය ආණ්ඩු කාල සමයේදී මෙය නගර සංවර්ධන කාර්යයන් සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබුණේ නම් එය සඳහා යොදා ගත යුතු බව ඇයගේ ද පෞද්ගලික අදහස බවයි. තවද ඇය එහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබුනේ මෙම ඉඩම කටාන ආසනයේ නගර නිර්මාණය කිරීම සඳහා යොදා ගැනීමට වඩාත් සුදුසුම ඉඩම බව ඇයගේ ද අදහස බවයි. එලෙසම ඇය එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබුණේ ඇයගේ පෞද්ගලික මතය වන්නේ ද මෙම ඉඩම තවමත් රජය සතු ඉඩමක් නම් කටාන ආසනයේ නව නගර නිර්මාණය සඳහා මෙය අනිවාර්යයෙන්ම යොදාගත යුතු බවයි.WhatsApp Image 2026 02 25 at 8.17.39 AM

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here