මීගමුවේ කරවල නිෂ්පාදන කටයුතු මේ වන විට විශාල ලෙස පසුබෑමකට ලක්ව තිබේ. එයට හේතු වී ඇත්තේ දැනට මාස ගණනාවක සිට කරවල නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රමාණයට ලුණු නොලැබීම සහ ලුණු වල මිල අධික ලෙස ඉහළ යෑම හේතුවෙනි. මෙම තත්ත්වය තුළ මීගමුවේ කරවල නිෂ්පාදන කටයුතුවල නියැලී සිටින කරවල ව්‍යාපාරිකයන් දැඩි දුෂ්කරතාවයකට ලක්වී තිබේ.
මෙම ගැටලුව සම්බන්ධයෙන් මීගමුව භාරව කටයුතු කරන සුගත් තිලකරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා දින 10 ක කාලයක් ලබා දෙන ලෙසත්, එම දින 10 ඇතුළත පෞද්ගලික ආනයනකරුවෙක් හරහා ලුණු ආනයනය කර මීගමුවේ කරවල නිෂ්පාදනය කරන අය වෙත ලබා දෙන බවට ප්‍රකාශයක් කළේය. ඒ අනුව මීගමුව, ධීවර දෙපාර්තමේන්තු කාරයාලයේ ලියාපදිංචි සමිති 05 ක් සහ ලියාපදිංචි නොවූ තවත් සමිති 03 ක් ද ඇතුළුව කරවල නිෂ්පාදනයේ යෙදී සිටින සමිති 08 ක් සඳහා පෞද්ගලික ආනයනකරුවෙකු ලවා කිලෝ ග්‍රෑම් 50 ඇසුරුම් 500 ක් අඩංගු කන්ටේනරයක් බැගින් කන්ටේනර් 07 ක් මේ වන විට ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා ඇතැයි වාර්තා විය.. එම කන්ටේනර් 07 න් , කන්ටේනර් 06 ක ඇති ලුණු කිලෝ ග්‍රෑම් 2500 ක් මෙම කරවල නිෂ්පාදනය කරන අය වෙත ලබාදීමට සැලසුම් කර ඇති බවද එහිදී වැඩිදුරටත් වාර්තා වුනි.
එහෙත් එම ලුණු තොගය වරායේ රඳවාගෙන ඇති බවත් ඒවා කරවල ව්‍යාපාරිකයන් වෙත ලබාදීමට උත්සුක නොවන බවත් පවසමින් මීගමු ප්‍රදේශයේ කරවල ව්‍යාපාරිකයන් විසින් පසුගිය දිනවල විවිධාකාරයේ මැසිවිලි නගන්නට විය. උද්ගතව ඇති මෙම තත්වය සම්බන්ධයෙන් කරවල ව්‍යාපාරිකයන් පිරිසක් ප්‍රකාශ කළේ මේ වන විට එම ලුණු තොගය පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන බවට වාර්තා වූ බවයි. එනම් මෙම ලුණු තොගයේ ආසනික් නැමති විෂ රසායනය ඇති බවට සැකයක් ඇතිවී ඇති බවත්, ඒ පිළිබඳව පරීක්ෂණයක් කර නිගමනයකට එළඹෙන තුරු මෙම ලුණු තොගය කරවල ව්‍යාපාරිකයන් හට ලබා නොදෙන බවය.
එහෙත් දැනට මසකට ආසන්න කාලයක් ඉකුත්ව ගොස් ඇතත් මීගමුවේ කරවල නිෂ්පාදන කටයුතුවල නිරත වී සිටින ව්‍යාපාරිකයන් හට තම කරවල කර්මාන්තය නිසි ලෙස සහ අඛණ්ඩව කරගෙන යෑමට අවශ්‍ය වන ලුණු තොග සපයා දීමට මීගමුව භාරව කටයුතු කරන සුගත් තිලකරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු අදාළ ආණ්ඩුවේ බලධාරීන් අපොහොසත් වී තිබේ.
මෙවැනි පසුබිමක් තුළ අපට වාර්තා වූයේ එළඹෙන මැයි 06 වැනිදාට පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසුව ,මීගමුව ප්‍රදේශයේ සිටින කරවල ව්‍යාපාරිකයන් සහ එම කර්මාන්තය තුළ යැපෙන සියලු පිරිස් එකට ඒකාබද්ධව ඔවුන් කලින් වතාවේ සැලසුම් කර තිබූ උද්ඝෝෂණය සහ විරෝදතාවය නැවත වරක් සිදුකිරීමට සැලසුම් කරන බවයි.
මීට මසකට පමණ කලින් එවැනි උද්ඝෝෂණයක් සහ විරෝධතාවයක් දැක්වීමට මේ පිරිස සූදානම් වු අවස්ථාවේදී මීගමුව භාර ජන බලවේග රජයේ සුගත් තිලකරත්න නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් සහ ඔහු ලබාදුන් ප්‍රකාශය මත එම උද්ඝෝෂණය හා විරෝධතාවය කල් දැමීමට මීගමුවේ කරවල ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස කටයුතු කර තිබිණි.
එහෙත් මීගමුව ,කරවල කර්මාන්තය සහ කරවල ව්‍යාපාරිකයන්ගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු වගකිවයුතු ආණ්ඩුවේ බලධාරීන් දක්වන ඇල්මැරුණු ස්වභාවය මෙම උද්ඝෝෂණය නැවත වරක් පැවැත්වීමට අදහස් කර ගෙන සටින බවත් අප වෙත අදහස් දක්වමින් කරවල ව්‍යාපාරිකයන් පිරිසක් ප්‍රකාශ කළහ.