කරවල වේලන්න ලුණු ලැබුනත් , මිල අධික වීම ගැටලුවක්. ….

0
161

මීගමුව ප්‍රදේශයේ කරවල කර්මාන්තය කරගෙන යෑම සඳහා, අවශ්‍ය ප්‍රමාණයට ලුණු නොලැබීමේන්, එම කර්මාන්තය තුළ නියැලුණු බොහෝ දෙනෙකුට පසුගිය කාලයේ ගැටලු ගණනාවකට සහ අපහසුතා රැසකට මුහුණ දීමට සිදුවිය. කලක් ගත වී හෝ මීගමුව භාර , ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ මැදිහත්වීමෙන් පෞද්ගලික ව්‍යාපාරිකයකු හරහා කරවල නිෂ්පාදනයට අවශ්‍ය ලුණු ඉන්දියාවෙන් මෙරටට ආනයනය කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
ඒ අනුව “ඩෙල්ටා” නමින් හඳුන්වන ආයතනයක් හරහා මෙරටට ආනයනය කරනු ලබන කිලෝ 50 ක ලුණු ඇසුරුමක් රු. 4250 ත් 4500 ත් අතර මුදලකට කරවල නිෂ්පාදකයන් වෙත ලබා දෙන බව ද වාර්තා වුනි.

එමෙන්ම දැන් අවශ්‍ය ප්‍රමාණයට , ලුණු තොග වශයෙන් ලැබෙන බවද වැඩිදුරටත් වාර්තා වුණි.
එමෙන්ම කරවල නිෂ්පාදකයන්ට අවශ්‍ය ලුණු ඔවුන්ට වෙනමම එනම් පෞද්ගලික ව්‍යාපාරිකයන්ට හා සමිති මට්ටමෙන් කරවල නිෂ්පාදනයේ දෙන්නන් හට ආනයනයට අවසර ලබා දී ඇති බවද වාර්තා වුණි.
මේ පිළිබඳව අප මීගමුව වැල්ලවීදියේ කරවල කර්මාන්තයේ නියැලී සිටින ව්‍යාපාරිකයෙකුගෙන් විමසූ අවස්ථාවේදී , ඔහු පවසා සිටියේ, පෞද්ගලිකව හෝ සමිති මට්ටමෙන් හෝ ලුණු ආනයනය කිරීම සඳහා තමන් වෙත අවසර ලැබී ඇති බවයි. එමෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ මේ වන විට නිෂ්පාදනය කරන ලුණු ලබාගැනීමට ද තමන් වැනි කරවල නිෂ්පාදනයේ යෙදෙන ව්‍යාපාරිකයන්ට මේ වන විට අවස්ථාව ලැබී ඇති බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් රජය මගින් එනම් ධීවර දෙපාර්තමේන්තු කාර්යාලය මූලික කරගෙන ඩෙල්ටා ආයතනය හරහා කරවල නිෂ්පාදනයට අවශ්‍ය ලුණු, තොග වශයෙන් මිලදී ගැනීමටද තවමත්, තමන් වැනි ව්‍යාපාරිකයන් වෙත අවස්ථාව ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් මංකුලිය, ශාන්ත අන්තෝනි කරවල සමිතියේ සභාපතිනි ගීතානි ප්‍රනාන්දු මහත්මිය පවසන්නේ සමිති මට්ටමින් හා පෞද්ගලික මට්ටමින් ලුණු ආනයනය සඳහා අවසර හිමි වුවත්, එලෙස තවත් රටකින් මෙරටට ලුණු තොග ආනයනය කිරීම සංකීර්ණ කාර්යයභාරයක් බවයි.

කරවල වේලීමේ කාර්යයේ යෙදී සිටින තමන් වැනි ව්‍යාපාරිකයන්ට එවැනි සංකීරණ, ආනයන කාර්යයකට අත ගැසිය නොහැකි බව ද ඇය සදහන් කරයි. ආනයන ක්‍රියාවලියේ ඇති සංකීර්ණභාවය නිසාම කරවල වෙලීමේ කාර්යයේ නිරත බොහෝ ව්‍යාපාරිකයින් තවමත් රජයෙන් ආනායනය කරන ලණු මිලදී ගැනීමට පෙළඹී ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය

මේ අනුව සමිති මට්ටමින් කරවල නිෂ්පාදන කාර්යයේ යෙදෙන ගීතානි ප්‍රනාන්දු මහත්මිය සහ තවත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගෙන්ම අප මේ පිළිබඳව විමසා සිටි අවස්ථාවේදී ඔවුන් සියලු දෙනාව ප්‍රකාශ කළේ කරවල නිෂ්පාදනයට අවශ්‍ය ලුණු තොග යහමින් ලැබුණත් රුපිය 4000/= කට වැඩි, අධික මුදලකට ලුණු මිලදී ගෙන කරවල නිෂ්පාදනය සඳහා යොදා ගත්තත්, කරවල වල මිල වැඩි කිරීමක් මේ අවස්ථාවේදී සිදු නොකළ හැකි බවයි.
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ රුපියල් 4000 කට අධික මුදලකට කිලෝ 50 හේ ලුණු ඇසුරුමක් මිලදී ගෙන , කරවල වේලීමට යොදා ගැනීම තමන්ට දැඩි පාඩුවක් බවයි. එනිසා ඔවුන් වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි තරම් අඩු මුදලකට , කරවල වේලීම සඳහා අවැසි පිරිසිදු ලුණු තමන් වෙත සපයාදීමට අවශ්‍ය කටයුතු කර දෙන ලෙසයි.

එමෙන්ම මේ පිළිබඳව අදහස් දැක්වූ වැල්ලවීදය ප්‍රදේශයේ තවත් එක් ව්‍යාපාරිකයෙක් සඳහන් කළේ මේ දිනවල කරවල වේලීම සඳහා ඇති තරම් ලුණු තිබුණත්, මීගමු ප්‍රදේශයේත්,අනෙකුත් මුහුදුබඩ ප්‍රදේශවලත් මාළු හිඟවීම නිසා කරවල වේලීමට තරම් මාළු තොග නොලැබෙන තත්ත්වයක් මේ වනවිට උද්ගත වී ඇති බවයි. ලැබෙන සුළු මසුන් ප්‍රමාණය පවා අධික මිල ගණනින් යුක්ත වීම නිසාත් කරවල වේලීමට මාළු මිලදී ගැනීම ගැටළුවක් වී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

අවසානයේ එක් ව්‍යාපාරිකයකු අප වෙත සඳහන් කළේ මාළු යහමින් ඇති කාලයේ ලුණු නොමැතිවීමෙන් කරවල කර්මාන්තය නිසි ලෙස කරගෙන යාමට නොහැකි වූ බවත් එමෙන්ම මේ වන විට රට තුළ අධික මිල ගණනින් යුක්තව හෝ කරවල වේලීමට ලුණු තිබුනත් මාළු නොමැතිකමින් කරවල කර්මාන්තය නිසි ලෙස හා අඛන්ඩව කරගෙන යාමට නොහැකි වී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here