
මීගමුව, මාරිස්ටෙල්ලා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය වාර්ෂිකව සංවිධානය කරමින් ඉදිරිපත් කරන මාරිස් මෝටර් රැළේ (MMR-2025) තරඟයට සමගාමීව,මේ වසරේ පවත්වන Negombo together Festival 2025 අද දින (05) පෙරවරුවේදී මීගමුව ජැටිය ආශ්‍රිතව සහ ඓතිහාසික ලන්දේසි කොටුව පරිශ්‍රයේදී ආරම්භ විය.
මීගමුව පුරවරයේදී ප්‍රථම වතාවට ” ඔබත්, මමත් ,වෙරළත් ”යන තේමාව මුල් කරගනිමින් ජුලි මාසය පුරාවට ක්‍රියාවට නැංවෙන ව්‍යාපෘති කිහිපයක් මෙම වැඩසටහනට ඇතුළත් වන අතර මෙලෙස අද දිනයේ ආරම්භ වු මෙම පවිත්‍ර කිරීමේ ව්‍යාපෘතිය තුළින්, නගරයේ හැමිල්ටන් ඇලත්, කලපුවත් සම්බන්ධ වන ජැටිය ආශ්‍රිත ඇල හා කලපු ප්‍රදේශය ශුද්ධ පවිත්‍ර කිරීමත් ඒ සමඟම දැනට මීගමු බන්ධනාගාරය ස්ථාපිත කර තිබෙන ඓතිහාසික ලන්දේසි කොටුව සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයත් එලෙසම ඒ ආසන්නයේ පිහිටා ඇති දැනට වල් බිහි වී ,අපවිත්‍ර වී ඇති, පැරණි උසාවි භූමිය පවිත්‍ර කිරීමේ ක්‍රියාවලියද පැවැත් වේ.


මේ පිළිබඳව අදහස් දක්වන මරිස්ටෙල්ලා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ධම්මික ප්‍රනාන්දු මහතා පැවසුවේ ශ්‍රී ලංකාවට කෙතරම් විදෙස් සංචාරකයන් ප්‍රමාණයක් පැමිණියත් මෑතක සිට මීගමුව තුල එම සංචාරකයන් රැඳී නොසිට මෙරට වෙනත් ප්‍රදේශ කරා යාමට පෙළඹී ඇති බවත් එලෙස ගිලිහී යන සංචාරක ආකර්ෂණය යළි යළිත් මීගමු පුරවරය තුළ ස්ථාපිත කිරීමට, මෙලෙස මීගමු පුරවරයේ ඇති ඓතිහාසික ස්ථාන මෙන්ම මීගමුව නගරය සහ වෙරළාශ්‍රිත ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ව්‍යාපෘති ගණනාවකින් සමන්විත වැඩසටහන් කිහිපයක්ම මාරිස් මෝටර් රැළේ තරගාවලියට සමගාමීව පවත්වනු ලබන ” නිගම්බෝ ටුගෙද(ර්) ෆෙස්ටීවල් 2025 ” වැඩසටහන හරහා ක්‍රියාත්මක කරන බවයි.
එමෙන්ම ධම්මික ප්‍රනාන්දු මහතා එහිදී වැඩිදුරටත් පැවසුවේ “නිගම්බෝ ටුගෙද(ර්) ෆෙස්ටීවල් 2025 ” වැඩසටහන හරහා මීගමුව පුරවරය තුළ දැඩි සංචාරක ආකර්ෂණයක් ඇති කිරීමට හැකිවන බවයි. එම ආකර්ෂණය මීගමුව පුරවරය නව සංවර්ධිත දිශානතියකට ගමන් කරනු ඇති බවත් , ඒ තුළ මීගමු ජන ජීවිතයටද විශාල ආර්ථික ශක්තියක් ලැබෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද පැවසීය. ඒ අනුව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම වැඩසටහන් මාලාව හුදු විනෝදාස්වාදයට පමණක් සීමා නොවන මීගමුව පුරවරය තුළ නව ආර්ථික සහ සමාජීය, පිබිදීමක් සනිටුහන් කරන වැඩසටහන් මාලාවක් වනු ඇති බවයි.
ඒ අනුව අද දින මෙලෙස ආරම්භ වූ Negombo together Festival 2025 වැඩසටහනේ මීගමුව ජැටිය , මීගමු කලපුව සහ ඓතිහාසික ලන්දේසි කොටුව පවිත්‍ර කිරීමේ මෙම ව්‍යාපෘතිය සඳහා මීගමු මහා නගර සභා නිලධාරීන් සහ කම්කරුවන්, බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන්, මීගමු පොලිස් නිලධාරීන්, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ සංචාරක දෙපාර්තමේන්තුව වැනි රජයේ ආයතනවල නිලධාරීන්ද එමෙන්ම ස්වේච්ඡා සංවිධාන වල සාමාජිකයන්ද ඇතුළුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ ආදි සිසුන්ද මෙම කාර්යභාරයට දායක වුහ.
මෙම විශේෂ වැඩසටහනට සහයෝගය දැක්වීමටත් එය අධීක්ෂණය කිරීම සඳහාත් මීගමුව නියෝජ්‍ය නගරාධිපති චාමර ප්‍රනාන්දු මහතා, මීගමුව නාගරික කොමසාරිස් නුවණි සුදුසිංහ මහත්මිය, මීගමුව ප්‍රධාන සෞඛ්‍ය පරීක්ෂක එච්.ඒ.යු.කේ.ගුණරත්න මහතා ඇතුළු මිගමුව බන්ධනාගාරයේ සහ මුලස්ථාන පොලිස් ස්ථානයේ උසස් නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.
නිගම්බෝ ටුගෙද(ර්) ෆෙස්ටීවල් 2025 වැඩසටහනේ මීළඟ කර්තව්‍ය ලෙස එළඹෙන ජූලි 12 වැනිදා උදෑසන, මීගමුව සිට පෝරුතොට දෙසට වු මුහුදු වෙරළ තීරය පවිත්‍ර කිරීමේ ව්‍යාපෘතිය සිදුකිරීමට ද නියමිතව ඇත.















