ගුවන්තොටේදි අත්අඩංගුවට ගත් කංජිපානිගේ සමීපතමයාට ඇප !…

0
588

 

ඉන්දියාවේදී අත්අඩංගුව ගෙන, ඊයේ දින අලුයම (24/07/2025) මෙරටට පිටුවහල් කල, කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට පත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සමීපතම අනුගාමිකයෙකු ලෙස සැකකරන,45 හැවිරිදි ” මොහොමඩ් මිහිලාර් මොහොමඩ් අර්ෂාඩ්” නමැත්තාව ඊයේ දින (24/07/2025) මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිළධාරීන් විසින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ ශාලා අංක 02 හී , අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය ඉදිරියට පමුණුවන ලැබූ මෙම සැකකරු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගැනීමට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කල බව වාර්තා වුණි.
එහිදී සැකකරු හෙවත් විත්ති පාර්ශවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරනායක මහතා සහ දුලීෂා විජේසූරිය නීතිඥවරිය පෙනී සිටි අතර ,ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරනායක මහතා විසින් පෙන්වා දෙනු ලැබුවේ මෙම සැකකරු සම්බන්ධයෙන් යම් චෝදනාවක් ගොනු කිරීම සඳහා කිසිදු සාක්ෂියක් හෝ නොමැති බවයි. ඔහු සන්තකයේ කිසිදු මත්ද්‍රව්‍යක් හෝ නොමැති බවත් , සැකකරුට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැති බැවින් ඔහුව රැඳවුම් නියෝග යටතේ තබා ගැනීමට නීතිමය වශයෙන් ප්‍රතිපාදනයක් නොමැති බවද නීතිඥවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ඒ අනුව මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරිය , රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මෙම සැකකරුව ඇප මත මුදා හැරීමට නියෝග කළ අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගය එලඹෙන 28 වැනි (28/07/2025) දිනට කල්තැබීය.

ඊයේ අලුයම 2.30 ට පමන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ 13, ආදුරුප්පු වීදියේ පදිංචිකරුවෙකු වන අතර ඔහු නීති විරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටියදී , එරට ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මෙලෙස ඊයේ දින අලුයම ඉන්දියාවේ චෙන්නායි හී සිට ඉන්ඩිගෝ 6E – 1171 දරන ගුවන් යානයෙන් මෙරටට පිටුවහල් කර තිබිණි.
වාර්තා වන පරිදි මෙම පුද්ගලයා 2017 වසරෙදි ඩුබායි වෙත පලා ගොස් තිබේ. ඉන්පසු 2019 වසරේදී මාකඳුරේ මදූෂ් ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් කිහිපදෙනෙකුම ඩුබාහිදී අත්අඩංගුවට පත්වීමෙන් පසුව මෙම පුද්ගලයා ඉන්දියාවට පලා ගොස් ඇතැයි වාර්තාවේ.
එලෙසම ඔහුගේ බිරිඳ සහ දරුවන් ඉන්දියාවේ සිටින බවත්, ඔවුන් සතුව වලංගු ගුවන් ගමන් බලපත්‍ර සහ වීසා පවතින බවත් වාර්තා වුනි. තවද මෙම පුද්ගලයා ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වන විට ඔහු සතුව වලංගු වීසා සහ ගුවන් ගමන් බලපත්‍රයක් හෝ නොතිබුණු බවද වැඩිදුරටත් වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here