පොත් බෑගය මෙන්ම මෙම සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය ද දරුවනට විශාල බරක් වෙලා – අග්‍රාමාත්‍යවරිය

0
484

WhatsApp Image 2025 08 04 at 11.39.32 a11fbc52

වර්තමාන ජාතික  ජන බලවේග රජය විසින් නුදුරේදීම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති , යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා වන සාකච්ඡාවක් පසුගියදා බත්තරමුල්ල , පැලවත්ත පිහිටි
” ඉසුරු පාය” අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාව පැවැත්වූයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන ,සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය , අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනී අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙනි.
ඒ අනුව මෙම සාකච්ඡාවේදී යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් තුළින් හඳුන්වාදීමට නියමිතව ඇති විෂය මාලාවන් සහ දැනට ක්‍රියාත්මක වන විෂය මාලාවන් අතර ඇති වෙනස්කම් පිළිබඳවත්, මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් තුලින් යෝජිත විභාග ක්‍රමය පිළිබඳවත් සවිස්තරාත්මකව හඳුන්වා දෙනු ලැබීය.
එලෙසම මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ අන්තර්ගතවන නව විෂයානුබද්ධ කරුණු කාරණා පිළිබඳවද මෙම සාකච්ඡාව සඳහා සහභාගි වූවන් දැනුවත් කිරීම සිදුවිය. විශේෂයෙන්ම මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් තුළින් හඳුන්වාදීමට යෝජනා කර ඇති ” මොඩියුල්ස්” පිළිබඳව හඳුන්වාදීම ද මෙම සාකච්ඡාව තුළ වැඩි වශයෙන් සිදු විය

මෙම නව යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් පිළිබඳව , පරිගණක ගත ඉදිරිපත් කිරීම සිදුවන අතර වාරයේ මතු වු ගැටලු සහ යම් කරුණු කාරණා සම්බන්ධයෙන් ඒ පිළිබඳව විමසීම සඳහා ජනමාධ්‍යවේදීන් ඇතුළු මෙම සාකච්ඡාවට සහභාගි වූ පිරිසට අවස්ථාව සැලසිණි. ඒ අනුව ඒ සඳහා අග්‍රාමාත්‍යවරිය මෙන්ම මෙම සාකච්ඡාව සඳහා සහභාගීව සිටි අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්ත මහතා ද එලෙසම නාලක කළුවැව මහතා සහ ආචාර්ය අශෝක ද සිල්වා මහතාද සභාව තුළින් මතු වු එම ප්‍රශ්න වලට පිළිතුරු සැපයූහ.
මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් තුළින් ඉතිහාසය සහ සෞන්දර්ය යන විෂයන් අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අනිවාර්ය නොකිරීම පිළිබඳව ද වැඩි වශයෙන් සාකච්ඡාවට බඳුන් විය. එහිදී අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කලේ අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස තමන්ටත් , තම කණ්ඩායමටත් ,මෙම නව යෝජිත ප්‍රතිසංස්කරණයන් තුලින් අවශ්‍ය වූයේ කුමන හෝ ආකාරයකට දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය තුළට කෙසේ හෝ ඉතිහාසය සහ සෞන්දර්ය යන විෂයන් ඇතුළු කිරීමට බවත්, මේ අනුව හඳුන්වා දෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් තුළින් එම විෂයන් ඉවත් කිරීමකට ලක් නොකළ බවත් අග්‍රාමාත්‍යවරිය එහිදී ප්‍රකාශ කළාය. ඇය එහිදී පෙන්වා දුන්නේ දැනට ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමය තුළ විෂයක ඇති වැදගත්කම මනිනු ලබන්නේ විභාගයක් පැවැත්වීමෙන්, එය සමත් වීම හෝ අසමත් වීම මත බවයි. නමුත් මෙම යෝජිත ප්‍රතිසංස්කරණයන් තුළින් හඳුන්වා දෙන මොඩියුල්ස් ක්‍රමය මගින් එම ක්‍රමය වෙනස් වී ඇති බවත්, එහිදී විභාගය සමත්වීම හෝ අසමත් වීම මත දරුවාගේ ඉගෙනුම් ක්‍රියාවලියේ සාර්ථක හා අසාර්ථක භාවය තීරණය නොවන බවද ඇය එහිදී අවධාරණය කළාය.
අග්‍රාමාත්‍යවරිය මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අනාවරණය කළේ , දරුවාට පොත් බෑගය මෙන්ම මෙම සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය ද දරුවනට විශාල බරක් වී ඇති බවයි . ඒ නිසා ඇය පෙන්වා දුන්නේ ලෝකයේ නව ප්‍රවණතාවයන් මෙන්ම වත්මන් ලොව තුළ ඇති නව විෂය මාලාවන් හඳුන්වා දෙමින් නව ලොවට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා පළමු පියවරක් ලෙස මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් හඳුන්වා දුන් බවයි.
මෙම සාකච්ඡාව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කර තිබු අතර ඒ සඳහා වෘත්තීය ජනමාධ්‍යවේදින්ට අමතරව වියත් සමාජ ක්‍රියාකාරීහු පිරිසක්ද මේ සඳහා සහභාගි වූහ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here