මිගමුවේ මී උණ පැතිරෙයි?දැනටමත් එක් අයෙක් මිය ගිහින් !

0
810

කාමච්චෝඩේ 21 හැවිරිදි තරුණයා මිය ගියේ මී උණ වැළඳීමෙන් බවට මීගමුව සෞඛ්‍ය බලධාරීන් සනාථ කරයි.

පසුගිය ජුලි මස 24 වැනිදා රාත්‍රී, මීගමුව රෝහලේදී 21 හැවිරිදි මුස්ලිම් තරුණයකු මිය ගියේ මී උණ රෝගය වැළදීමෙන් බව මීගමුව ,වැඩ බලන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් පෙරේරා මහතා අවධාරණය කළේය.IMG 20250815 WA0106
වෛද්‍ය රුවන් පෙරේරා මහතා මේ බව අවධාරණය කළේ අද (15/08/2025) දින පෙරවරුවේ මීගමුව නගර ශාලාවේ පැවති අගෝස්තු මාසයට අදාල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදීය.. ඒ අනුව අද පෙරවරුවේ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ මූලිකත්වයෙන් පැවති මෙම සංවර්ධන කමිටු රැස්වීම සඳහා නගරාධිපති රොබට් හීන්කෙන්ද මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි සහ මීගමු නාගරික කොමසාරිස් නුවණී සුදුසිංහ යන මහත්ම මහත්මාවීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ නිලධාරීනියන් පිරිසක්ද සහභාගී වූහ. එම රැස්වීමේදී මීගමුවේ වර්තමානය සෞඛ්‍යය තත්ත්වය පිළිබඳව සමාලෝචනයක් ඉදිරිපත් කරමින් මීගමුව වැඩ බලන, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ, සමස්තයක් ලෙස ගත් කල බස්නාහිර පළාත තුළත් එලෙසම මීගමුව තුළත් ඩෙංගු රෝගය ව්‍යාප්තිය මේ වන විට යම් තරමක අඩුවීමක් වාර්තා වී ඇති බවයි. ඒ අනුව 2023 සිට මේ දක්වා ඩෙංගු රෝගයෙන් සිදුවූ මරණ වාර්තා වී නොමැති බවද ඔහු මෙහිදී සඳහන් කළේය.
එහෙත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මීගමුව තුළ” මී උණ ” රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවධානමක් පවතින බවත් මේ අවධානම පිළිබඳව තමා මීට පෙර පැවති මෙම කමිටු රැස්වීම් හමුවේ ද එය පෙන්වා දුන් බවයි. එහිදී ඔහු අනාවරණය කලේ පසුගිය මාසයේදී කාමච්චෝඩේ ප්‍රදේශයේ විසූ තරුණයකු මී උණ රෝගය වැළඳී මරණයට පත්වී ඇති බවයි.

කාමච්චෝඩේ මී උණ අවධානම?

මෙලෙස ඉතා අවාසනාවන්ත ලෙස මී උණ රෝගය වැළඳී මියගොස් තිබුණේ කාමච්චෝඩේ ,වෙළෙඳපොළ ආසන්නව ඇති ඇලෙක්ස් පාරේ විසූ 21 හැවිරිදි “මොහොමඩ් සලීම් මොහොමඩ් අන්වර්” නැමැති අවිවාහක තරුණයෙකි. මේ තරුණයාගේ මරණය සම්බන්ධයෙන් ඔහු ජීවත්වූ කාමච්චෝඩේ ප්‍රදේශයේ වෙසෙන බහුතර ජනතාවත්, එම වෙළඳපොලේ ව්‍යාපාර කටයුතු කරන වෙළෙඳ ව්‍යාපාරිකයින් සහ වෙළඳපොළට නිතර යන එන පාරිභෝගික ජනතාවද මීගමු මහා නගර සභාවට බරපතල ලෙස චෝදනා එල්ල කර තිබිණි. එයට හේතු වූයේ මිය ගිය තරුණයා විසු නිවස පිහිටි කාමච්චෝඩේ වෙළඳ පොල ආශ්‍රිත ප්‍රදේශය දැඩි අපවිත්‍ර හා අපිරිසිදු ප්‍රදේශයක් ලෙස පැවතීමත්, එහි වැසි ජලය හා අප ජලය බැස යාමට විධිමත් සහ ක්‍රමවත්, කානු පද්ධතියක් නොමැති වීමත් නිතරම එම ප්‍රදේශය අප ද්‍රව්‍ය වලින් හා කැලිකසළ ගහන ප්‍රදේශයක් බවට පත්වීම නිසාත් එහි මැසි මදුරු උවදුරු මෙන්ම මීයන්ගේ ගහණයද ඉතා අධික ලෙස පවතින බව පවසමිනි.

නගර සභාවට බරපතල චෝදනාවක් 

එනිසා එම ජනතාව මීගමුවේ සෞඛ්‍ය බලධාරින් වෙතත්, එලෙසම නගරාධිපතිවරයා ඇතුළු සමස්ත මහා නගර සභාවටත් චෝදනා කර සිටියේ කාමච්චොඩේ වෙළඳපොළ ප්‍රදේශය කැලිකසල සහ අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීමට මෙන්ම අප ජලය සහ වැසි ජලය නිසි ලෙස මෙහි ඇති කානු පද්ධතිය හරහා බැස නොයෑම වැනි හේතුන් වලට විධිමත් හා ක්‍රමවත් විසඳුමක් ලබා දීමට අපොහොසත් ව ඇති බව පවසමිනි.

මීගමුව කාබච්චෝඩේ වෙළඳපොළ ආශ්‍රිතව මතු වී ඇති මෙම අයහපත් තත්ත්වය පිළිබඳවත් ,මේ තරුණයාගේ මරණය පිළිබඳවත් අප විසින් අප ප්‍රවෘත්ති වෙබ් අඩවියේ පළ කරමින් ජනතාව දැනුවත් කළ විට, මීගමුවේ බොහෝ සෞඛ්‍ය අංශ නිලධාරින් පවසා සිටියේ මෙම තරුණයාගේ මරණය මී උණ රෝගයෙන් සිදුවූවාදැයි නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බවයි. . එමෙන්ම විටක නගරාධිපතිවරයාද ප්‍රකාශ කළේ මෙම තරුණයාගේ මරණය පිළිබඳව කණගාටු වන අතර ඔහුට මේ රෝගය වැළඳුනා නම් එය වැළඳුනේ මෙම ස්ථානයෙන් ( කාමච්චෝඩි වෙළඳපොළ ප්‍රදේශය) බවට ස්ථිරව ප්‍රකාශ කළ නොහැකි බවයි. එහෙත් මීගමුව රෝහලින් පවසා තිබුණේ ඔහුගේ මරණය මී උණ රෝගය වැලදී එය උස්සන්න වීමෙන් සිදුවුණු බවයි.. එමෙන්ම මේ තරුණයා විසූ කාමච්චෝඩේ ප්‍රදේශයේ ජනතාව දැඩි සේ ප්‍රකාශ කර සිටියේ මේ තරුණයාට මී උණ රෝගය වැළඳී ඇත්තේ, කාමච්චෝඩේ වෙළඳ පල ආශ්‍රිත ප්‍රදේශයෙන්ම බවයි

ඉජිනේරු අංශය බුදිද ?

කෙසේ වෙතත් මේ වන විටත් කාමච්චෝඩිය ප්‍රදේශයේ අප ජලය සහ වැසි ජලය එම වෙළෙඳපොලේ මාර්ගවල විසිරී පැතිරී පවතින ආකාරය දැක ගත හැකිය එම වෙළඳපොළ ප්‍රදේශයේ පවතින එම තත්ත්වයට තාවකාලික විසඳුමක්වත් ලබාදීමට මීගමුව මහා නගර සභාවේ ඉංජිනේරු අංශයේ බලධාරීන් තවමත් අපොහොසත්ව ඇති බව පෙනේ.

 

මී උණ රෝගය පිළිබඳව වැඩිදුරටත් අප වෙත අදහස් දක්වමින් මීගමුව වැඩ බලන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ , වෙනත් ප්‍රදේශවලදී නම් ” මී උණ ” වැඩි වශයෙන් ව්‍යාප්ත වන්නේ කුඹුරු ආශ්‍රිතව බවයි. එහෙත් මීගමුව තුළ එම තත්ත්වය සම්පූර්ණ වෙනස් එකක් බවත් , මීගමු තුළ අප ජලය සහ වැසි ජලය නිසි ලෙස ගලා නොයෑම හේතුවෙන් එම ජලය රැඳී පවතින ස්ථාන වල වෙසෙන ජනතාවට ,මී උණ රෝගය වැළඳීමේ දැඩි අවදානමක් පවතින බව ඔහු ප්‍රකාශ කලේය. එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මීයන්ගේ මුත්‍රා වල ඇති “ලෙප්ටෝස්පයිරා” (Leptospira) නැමැති බැක්ටීරියාව හේතුවෙන් මී උණ රෝගය වැළඳෙන බවයි. මෙම බැක්ටීරියාව සාමාන්‍ය මතුපිටක මෙන්ම ජලය රැඳී ඇති ස්ථානයක මාස 03 කට වැඩි කාලයක් සක්‍රීයව පැවතිය හැකි බවත්. එනිසා එවැනි ජලවහන පද්ධතියක් සමග ගැටෙන පුද්ගලයන්ගේ විශේෂයෙන්ම කකුල් වල ති⁣බෙන සුළු තුවාලයකින් හෝ මෙම බැක්ටීරියාව ශරීර ගත වී, මී උණ රෝගය වැළඳීමේ ඉතාම දැඩි අවධානමක් පවතින බව ද වෛද්‍ය රුවන් පෙරේරා මහතා මෙහිදී දැඩිව අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here