අනාරක්ෂිත දුම්රිය කපොල්ලක් තවත් ජීවිතයක් බිලිගනියි.

0
1878

 

අනාරක්ෂිත දුම්රිය කපොලු නිසා දිනෙන් දින ජිවිත බිලිගනිමින් බරපතල සමාජ අර්බුදයක් මේ වන විට නිර්මාණය කර තිබේ.

පසුගියදා කටුනායක කුරණදි අහිමිව ගිය වටිනා ජිවිතයක් ගැන මේ වන ප්‍රදේශවාසින් බරපතල කම්පනයකට පත්ව සිටිති.IMG 20250820 WA0194

කුරණ-කටුනායක 20 කනුව ප්‍රදේශයේ ගුවන් හමුදා කඳවුර මාවතේ, සුසාන භූමිය ආසන්නව ඇති, දළුපත පාරේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී , දුම්රියක ගැටීමෙන් ඊයේ (18/08/2025) සවස සිදු වූ අනතුරකින් එම ප්‍රදේශයේ විසු දක්ෂ කිඳුම්කරුවෙකු ලෙස ප්‍රකට ” සුජීව සම්පත් සභාපති ” නමැති 50 හැවිරිදි, දෙදෙරු පියෙකු මරණයට පත් වී තිබේ.
මෙලෙස ඉතා අවාසනාවන්ත ලෙස මෙම අනතුරින් මරණයට පත් වී ඇති සුජීව සම්පත් නමැති අය 1975 වසරේ ජුනි මස 28 වෙනි දින උපත ලබාඇති අතර මරණයට පත් වන විට 50 වැනි වියෙහි, පසු වුවෙකි. දෙදරු පියකු වන ඔහුගේ වැඩිමහල් පුතු මේ වන විට කොළඹ වෙස්ලි විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතර ,මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම්ව සිටී. එමෙන්ම ඔහුගේ බාල පුතු මීගමුව, සෙන් පීටර්ස් ශාඛා පාසලේ 04 වසරේ ඉගෙනුම ලබන බවද වාර්තා වුණි.
එදින ඔහු සිය පාපැදියෙන් දළුපත පාරේ සිය හිතවතෙකු වු රංජිත් නැමැති අයට අයත් ” රංජිත් ටේලර්ස් ” නම් ඇඳුම් මසන ස්ථානය වෙත ගොස් තම වැඩිමහල් පුතුගේ ඇඳුම් කට්ටලය රැගෙන යාමට පැමිණි බව පවසා තිබේ. ඒ වන විටත් රංජිත් මහතා එම ඇඳුම් කට්ටලය අයන් කරමින් සිට ඇති අතර ඔහු පවසා තිබුණේ තව විනාඩි 05 ක පමණ කාලයක් රැඳී සිට එය රැගෙන යන ලෙසයි. එහෙත් ඔහු එහිදී රංජිත් මහතාට පවසා තිබුනේ තමන් නැවත පැමිණෙන බවත්, ඇඳුම් කට්ටලයේ සියලු වැඩ අවසන් කර තබන ලෙසයි. එලෙස ප්‍රකාශ කළ ඔහු තමන් පැමිණි පා පැදීයෙන්ම තම නිවසට ආපසු පැමිණීම සඳහා එම ස්ථානයෙන් නික්ම ගොස් තිබේ.

ඒ අනුව සවස 5.30 ත් 5.40 ත් අතර කාලය තුළ ඔහු පාපැදියෙන් නැවත නිවසට පැමිණෙමින් සිටින විට මෙම දුම්රිය හරස් මාර්ගයේදී කොළඹ සිට හලාවතට ධාවනය වු දුම්රිය පිටත්ව යන තෙක් බලා සිට ඔහු තම පාපැදයෙන් දුම්රිය හරස් මාර්ගයේ ඉදිරියට පැමිණ තිබේ. ද්විත්ව දුම්රිය මාර්ග සහිත වු එහි ඒ වන විටත් , එහි අනෙක් දුම්රිය මාර්ගයෙන් හලාවත සිට කොළඹ බලා යන තවත් දුම්රියක් පැමිණෙන බව ඔහු නොදුටුවා විය හැකිය. එකනෙහිම ඔහු පැද ආ පාපැදිය සමගින්ම එම හලාවත සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී ඇති අතර එම දුම්රිය හරස් මාර්ගයේ සිට කටුනායක දෙසට වන්නට තවත් මීටර 40 පමණ දුරක් ඔහු සහ ඔහුගේ පාපැදිය ඇදී ගොස් තිබිණි. ඒ අනුව දළුපත දුම්රිය හරස් මාර්ගයේ සිට ඒ ආසන්නයේම ඇති ගුවන් හමුදා කඳවුරු දුම්රිය හරස් මාර්ගය අසලදී ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වී ගිය , සිරුර පසුව හමුවී තිබිණි. ඔහුගේ පාපැදිය ද කොටස් කිහිපයකටම කැඩී වෙන් වී තිබිණි.
මෙම දුම්රිය හරස් මාර්ගයේ දෙපස සංඥා එළි පද්ධතියක් සහ සයිරන් නලා ක්‍රියාත්මක වුවත්, එහි දෙපස ආරක්ෂිත ගේට්ටු නොමැති නිසා මෙම දුම්රිය හරස් මාර්ගය අනාරක්ෂිත තත්වයට පත් ව තිබේ. මෙම හරස් මාර්ගයට මීටර් 40 ක් පමණ වන දුරින් කටුනායක ගුවන් හමුදා කඳවුරට යන මාර්ගයේද මෙවැනිම දුම්රිය හරස් මාර්ගයක් තිබේ. එහිද මාර්ගයේ දෙපස සංඥා එළි පද්ධතියක් සහ සයිරන් නලා ක්‍රියාත්මක වන අතරම එහි දෙපස ආරක්ෂිත ගේට්ටු 02 ක් දමා එය විවෘත කිරීමටත් ,වසා දැමීමටත් ගුවන් හමුදා සෙබලුන් දෙදෙනෙකු නිරතුරුව සේවය යොදවා ඇත. ඒ නිසා එම හරස් මාර්ගයේ මෙවන් අනතුරු සිදුවී නොමැති බවද වාර්තා වූණි. මෙම මාරාන්තික අනතුරු සිදුවුණු මෙම දළුපත අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ සිදුවූ මෙවැනි මාරාන්තික අනතුරුවලින් මේ වන විට පුද්ගලයන් 07 දෙනෙකු පමණ මරණයට පත් වී ඇති අතර එම මරණ 07 න් මරණ 03 ක් පමන සිදුවී ඇත්තේ කොළඹ සිට මීගමුව දක්වා ද්විත්ව දුම්රිය මාර්ග ක්‍රියාත්මක වීමෙන් පසුව බවත් වැඩිදුරටත් වාර්තා වුණි.

IMG 20250820 WA0190IMG 20250820 WA0192IMG 20250820 WA0191IMG 20250820 WA0188

මෙම අනතුරින් මරණයට පත් වී ඇති ” සුජීව සම්පත් සභාපති ” නමැති අය දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලක දෙවැනි දරුවා ලෙස උපත ලබා ඇති අතර ඔහුට වැඩිමහල් සහෝදරයකු සහ බාල සහෝදරයකු සිටි. ළමා කාලයේ පටන්ම තම නිවස ආසන්නයේ ඇති ගුවන් හමුදා කඳවුරේ ඇති පිහිනුම් තටාකයට ගොස් පිහිනීම සහ කිමිදීම ප්‍රගුණ කරගත් ඔහු අපොස උසස් පෙළ විභාගයෙන් පසු වෘත්තීය කිඳුම්කරුවකු ලෙසට තම රැකියාව ආරම්භ කර ඇත. ” කොමර්ෂල් ඩයිවර්ස් “:නමැති ආයතනයේ පලපුරුදු වෘත්තීය කිමිදුම්කරුවෙකු ලෙස ඔහු මෙරට තුළ ප්‍රකට වී තිබේ. විශේෂයෙන්ම නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රවල මුහුදු පතුලේ ඇති කොටස්වල බැඳෙන ” කාවට්ටි ” කඩා දමමින් එම ජනන යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය නිසි ලෙස පවත්වාගෙන යෑමට ඔහුගේ වෘත්තිය නිපුණතාවයක්, කිමිදුම් කරුවෙකු ලෙස ඔහු තුළ තිබූ පලපුරුදුභාවයක් භාවිත කරමින් විශාල සේවාවක් සිදු කරන නිහඬ පුද්ගලයකු ලෙසද ඔහුව හඳුන්වා දිය හැකිය. එලෙසම මහා පරිමාණ නැව්වල මුහුදු පතුලේ ඇති කොටස්වල යම් යම් අලුත් වැඩියා කටයුතු කිරීමටද ඔහු තුළ මනා දක්ෂතාවයක් තිබූ බව ඔහුගේ මිතුරන් පවසති. එලෙසම කලක් මාල දිවයින් රාජ්‍යයේ සේවය කර ඇති ඔහු මුහුදු මාර්ගය ඔස්සේ ක්‍රියාත්මක වන කේබල් සවිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා මුහුදු පතුලට කිමිදෙමින් සිට එම කාර්යය සිදුකළ අතර එම ජාත්‍යන්තර ව්‍යාපෘතිය සඳහා සක්‍රීය දායකත්වයක් සැපයූ ප්‍රමුඛ පුද්ගලයකු ලෙසද ඔහුව හඳුන්වා දිය හැකිය.

මෙවැනි පලපුරුදු වෘත්තීය කිමිදුම්කරුවෙකු මෙරටට අහිමිවීම මිල කළ නොහැකි, අති විශාල පාඩුවක් බව කුරණ ගම්වාසීන් බොහෝ දෙනකු ප්‍රකාශ කරති. එමෙන්ම ඔහුගේ මිතුරන් සහ අවට ප්‍රදේශවාසීන් පවසන්නේ ගමේ පොදු වැඩ වලදී පෙරට පැමිණ අන් අය සමඟ සමගියෙන් සහයෝගයෙන් කටයුතු කළ පුද්ගලයෙකු බවත්, එලෙසම ඔහු ගුණ යහපත්කමින් හා මනුෂ්‍යත්වයෙන් පිරුණු පුද්ගලයෙකු බවයි.

කුරණ-කටුනායක ,ගුවන් හමුදා කඳවුර පාරේ ප්‍රදේශවාසීන් මෙන්ම දලුපත පාරේ වෙසෙන බොහෝ දෙනෙකුද වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම දුම්රිය හරස් මාර්ගයේ විදුලි සංඥා පද්ධතියක් සහ සයිරන් නලා ශබ්ද පද්ධතියක් සවිකර ” අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකි, ගේට්ටුකරුවන් නොමැත- භයානකයි (DANGER) ” යනුවෙන් පුවරු ප්‍රදර්ශනය කිරීමෙන් පමණක් මෙලෙස නිරන්තරයෙන් දුම්රියට බිලිවන ජීවිත එම මාරක අනතුරුවලින් ගලවා ගත නොහැකි බවයි. විශේෂයෙන්ම ද්විත්ව මාර්ග සහිත වන මෙවැනි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල දෙපසට අනිවාර්යෙන්ම ආරක්ෂිත ගේට්ටු සවිකර ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ආකාරයකට හෝ නැතහොත් දුම්රියන් ධාවනය වන විට වසා දැමීමටත් පසුව විවෘත කිරීමටත් , ස්ථිර ගේට්ටු ක්‍රියාකරුවන් යෙදවිය යුතු බවත් එම ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසති.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගිය
” සුජීව සම්පත් සභාපති ” ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු, මේ මස 21 වෙනි (21/08/2025) බ්‍රහස්පතින්දා ,සවස 4.30 ට කුරණ-කටුනායක, ලංකා සභා ( ඇන්ග්ලිකන් සභා ) සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.

එලෙසම මීගමුව-කොච්චිකඩේ ප්‍රදේශයේදීද පසුගිය ජූලි 05 වෙනි (05/07/2025) දින මෙවැනිම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් වූ ” ලුර්දු පෙදෙස ” අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයෙකු ධාවනය වන දුම්රියක ගැටීමෙන් මාරාන්තික අනතුරක් සිදුවිය. එම මාරාන්තික අනතුරින් මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ විසු ප්‍රකට මාළු ව්‍යාපාරිකයෙකු වු “ඥානශේකර්” නමැති 60 හැවිරිදි , දෙදරු පියෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය. එහෙත් එම දුම්රිය හරස් මාර්ගයේ තත්ත්වයද තවමත් එසේමය. එහි අනාරක්ෂිතභාවය තවමත් එලෙසමය. එම ප්‍රදේශවාසීන්ද පවසන්නේ වගකිවයුතු නිලධාරීන් සහ බලධාරීන් තවමත් මර නින්දේ බවය.
මර නින්දේ පසුවන වගකිවයුතු නිලධාරීන්ගෙන් මෙන්ම බලධාරීන්ගෙන්ද මේ අවාසනාවන්ත මරණයන් සමඟ ශෝකී වන ජනතාව සමඟ අපටද අසන්නට ඇත්තේ එකම එක ප්‍රශ්නයකි. එනම් මෙවැනි දුම්රිය හරස් මාර්ග වල පවතින අනාරක්ෂිත බව දුරලීමට යම් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර මේ අහිංසක මිනිස් ජීවිත ආරක්ෂා කිරීම සඳහා “:සුජීව සම්පත් ” වැනි රටට වැඩදායි තවත් අහිංසක මිනිස් ජීවිත කීයක් අවැසි ද යන්නයි.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකුද වන ෂෙවොන් මේ කම්පනය සිය ⁣⁣ෆේස්බුක් පිටුවේ මෙසේ සටහන් කර තිබුණි.

ප්‍රියාදර සම්පත් සොයුර.
ඔබගේ අකල් සමුගැනීම මුලු කටුනායක ගමේ උදවියගේ ශෝකයට හේතු වෙනවාට සැකයක් නොමැත. ඒ ඔබව අගය කල ඔබට ආදරය කල ඔබේ මිතුරු කැල, ඔබ සමග ගමන් බිමන් ගිය, විශේෂයෙන්ම අපගේ විශ්වාසය දිනාගත් සුවිශේෂී පුද්ගලයෙක් වීම නිසාවෙන් වෙන්න ඇති.
ඔබගේ සැබෑ වෘත්තිය මය හැකියාවන් සහ එම ජීවිතය ගැන මා පවා දැනගත්තේ අහම්බෙනි.
ලංකාවෙ සුවෙශේෂ හැකියාවක් හෙබි කිමිදුම් කරුවෙක් කියා ඔබව හදුනා ගත් දින සිටම ඔබෙන් මම බොහෝ පඩම් ඉගෙන ගතිමි.ඔබ දුන් පොත් පෙල බොහොම අභිරුචියෙන් කියෙව්වෙමි.
ඔබගේ උපදේශකත්වය යටතේ කිමිදුම්කරුවෙකු වීමට මම සැලසුම් හදපු හැටි මතකද?

නොරොච්චෝලෙ තාප විදුලි බලාගාරයේ පටු උමං වල කාවට්ටි කඩමින් එම ජනන යන්ත්‍ර වල ක්‍රියාකාරිත්වයට ඔබගේ සක්‍රිය දායකත්වය ගැන දන්නේ කීයෙන් කී දෙනාද?

ඔබ සමග අපි අරගලයට ගියා මතකද?

සැමවිටම ගමේ පොදු ප්‍රශ්න අපි දෙදෙනා බෙදා ගත්තා මතකද?

විටෙක ප්‍රතිභාපූර්ණ කිමිදුම්කරුවෙක්, විශ්වාසනීය සගයෙක්, මිතුරෙක්, සැම විටම දයාබර සැමියෙක් සහ ආදරනීය පියෙක්.

ඔබට සදා මෝක්ශ්‍ය රාජ්‍යයෙ සුව පතමි.

මම Chervon

Screenshot 20250820 071956 com.whatsapp

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here