.
මෙරට මළල ක්‍රීඩා ඉසව් සඳහා වැඩිපුරම නැඹුරු වෙන්නේ තරුණ පරපුරයි . නමුත් වයස අවුරුදු 66 ක් ඉක්මවා තිබියදිත් මෙරටදී මෙන්ම විදේශයන් හී පැවැත්වෙන ජාත්‍යන්තර මට්ටමේ මළල ක්‍රීඩා තරගාවලීන් වලට පවා සහභාගීව, ඒවා ජයග්‍රහණය කරමින් මෙරටට මහත් වු කීර්තියක් අත් කරදෙන මීගමු පුරවරයෙන් බිහි වුණු තවත් දක්ෂ , ජවසම්පන්න ප්‍රවීණ මළල ක්‍රීඩකයෙකු ගැන තැබෙන අභිමානවත් සටහනකි , මේ. …
ඔහු මීගමුව , මීරිගම පාරේ, නෙවිල් ද සිල්වා මාවතේ පදිංචි පී. මහේන්ද්‍ර සිල්වා මහතායි.. 1959 වසරේ අප්‍රේල් මස 01 වැනි දින උපන් ඔහුගේ වයස මේ වන විට අවුරුදු 66 කි. ඔහු මළල ක්‍රීඩාවට යොමු වෙන්නේ වයස අවුරුදු 13 සිටයි . එදා සිට අද දක්වාම මෙරට සහ ජාත්‍යන්තරව පවත්වනු ලබන විවිධ වූ මළල ක්‍රීඩා තරගාවලීන් නියෝජනය කරමින් ජවන හා පිටිය තරග ඉසව් සඳහා ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද සහභාගී වී ඇත. එලෙස ඔහු සහභාගිවන සෑම තරඟ ඉසව්වකදීම එක්කෝ පදක්කමක් නැත්නම් කුසලානයක් නොඑසේ නම් විශිෂ්ටතා සහතිකයක් හෝ ජයග්‍රහණය කිරීමත්, තවද ඔහු සහභාගිවන සෑම තරගයකදීම, ප්‍රථම ස්ථානය හෝ, දෙවන ස්ථානය නොඑසේ නම් තෙවන ස්ථානය හෝ ජයග්‍රහණය කිරීමත් ඔහුගේ ක්‍රීඩා දිවිය තුළ අනිවාර්ය ලක්ෂනයක් බවට පත්ව තිබේ. ඒ නිසයි ඔහුව සුවිශේෂී ප්‍රවීණ මළල ක්‍රීඩකයෙක් ලෙසට ද හඳුන්වන්නේ.

දරුවන් 06 දෙනෙකුගෙන් යුත් පවුලක 04 වෙනි දරුවා ලෙස උපන් ඔහු මුලින් පාසල් අධ්‍යාපනය ලැබුවේ අම්බලන්ගොඩ දේවානන්ද මහා විදුහලයෙනි. ඒ ඔහුගේ පියා ,තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ සුපරීක්ෂක ධුරයේ රැකියාවක් කළ නිසාවෙන් පියාට ලැබුණු රැකියා මාරුවීමකට අනුවයි. එහිදී 04 වෙනි වසර දක්වා අධ්‍යාපනය ලැබූ ඔහු ඉන්පසුව සිය මවගේ ගම් ප්‍රදේශය වන මීගමුවට පැමිණි අතර, මීගමුවේදී ඔහුට අධ්‍යාපනය ලැබීමට පාසලක් ලැබෙන තුරු වසරක පමණ කාලයක් තාවකාලිකව මීගමුව, විද්‍යාලංකාර විද්‍යාලයට ඇතුළත්ව ඇත. එහිදී වසරක ට පසු එනම් 06 වසරේ සිට ඔහු අධ්‍යාපනය ලැබීම සඳහා මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසලට ඇතුලත් වී තිබෙන අතර එලෙස ඔහු අධ්‍යාපනය ලැබීමට මීගමුව, හරිස්චන්ද්‍ර විද්‍යාලයට ඇතුළත්වීම ඔහුගේ ජීවිතයේ ප්‍රධානතම හැරවුම් ලක්ෂය බවට ද පත්ව විය. ඒ ඔහුට හරිස්චන්ද්‍ර පාසල තුළ තම ක්‍රීඩා ගුරුවරයා ලෙස සිරිල් පෙරේරා මහතා මුණ ගැනීමත් සමඟයි. ඒ අනුව මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයේ දී තම ජීවිත ගමන් මග නව දිශානතියකට යොමු කල ඔහු, එතැන් පටන් හරිස්චන්ද්‍ර පාසල තුළ දිදුලන ක්‍රීඩා තරුවක් බවට පත්විය. ඒ අනුව ඔහුට වයස අවුරුදු 13 ඉක්මවා මාස කීහිපයක් ගතවී තිබූ අතර හරිස්චන්ද්‍ර ජාතික පාසලට ඔහු පැමිණි 1973 වසරේදීම පැවති විද්‍යාලීය නිවාසන්තර ක්‍රීඩා තරගාවලියේදී 15 න් පහළ මීටර් 200 කෙටි දුර ධාවන ඉසව්වෙන් තෙවන ස්ථානයත්, දුර පැනීම ඉසව්වෙන් තෙවන ස්ථානයත්, එලෙසම මීටර් 100×4 සහය දිවීම (රිලේ) ඉසව්වෙන් ප්‍රථම ස්ථානයත් ජයග්‍රහනය කිරීමට හැකිව තිබුණි. එයින් ඇරඹුණු ඔහුගේ ක්‍රීඩා දිවිය, පාසල් ක්‍රීඩාවට අමතරව වෙනත් දිශානතියකට රැගෙන යන්නට ද ඔහුට හැකි වී තිබේ. ඒ ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් මෙන්ම යෞවන සමාජ මට්ටමින්ද ඔහුගේ ක්‍රීඩා දිවිය ඔප්නංවා ගැනීමට ඒ අනුව ඔහුට හැකි වි තිබිණි. එලෙස 1977 වසරේ මීගමුව, අඟුරුකරමුල්ල ප්‍රදේශයේ පැවති ප්‍රජා මණ්ඩල හා ග්‍රාම සංවර්ධන බක් මහ උළෙලේදී 15 න් පහළ වයස් කාණ්ඩය යටතේ ගම හරහා දිවීමේ මැරතන් ඉසව්ව තුලින් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ද ඔහුට හැකිව තිබණි.
බොහෝ විට කෙටිදුර ධාවන ඉසව්වන් සහ වෙනත් ජවන හා පිටිය ඉසව්වලට සහභාගි වෙන මළල ක්‍රීඩකයන් මැරතන් ඉසව්වන් වැනි දිගු දුර ධාවන තරග වලට සහභාගී නොවේ . එලෙසම මැරතන් වැනි දිගු දුර ධාවන ඉසව්වන් වල නිරත වන ක්‍රීඩකයින් කෙටි දුර ධාවන ඉසව් සහ දුර පැනීම, උස පැනීම වැනි ක්‍රීඩා ඉසව් නියෝජනය නොකරන නමුත් මහේන්ද්‍ර සිල්වා කෙටි දුර මෙන්ම මැරතන් වැනි දිගු දුර ධාවන ඉසව්ද, එලෙසම දුර පැනීම, උස පැනීම මෙන්ම පාපන්දු සහ වොලිබෝල් වැනි කණ්ඩායම් ක්‍රීඩාවන් සඳහාද දක්ෂතා ප්‍රගුණ කළ පලපුරුදු ක්‍රීඩකයෙකු වන නිසාවෙන්ම ඔහු සුවිශේෂි ප්‍රවීන ක්‍රීඩකයෙකු බවට අද වන විට පත්ව තිබෙි..
පාසල් ක්‍රීඩකයෙකු ලෙස පාඨශාලීය මට්ටමේ සිට කලාපීය, දිස්ත්‍රික් ,පළාත් සහ සමස්ත ලංකා මට්ටමේ ජාතික පාසල් ක්‍රීඩා තරගාවලින් වලට සෑම වසරකම සහභාගි වෙමින් මීටර 100, 200, 400 උස පැනීම, දුර පැනීම සහ සියලු කෙටි දුර සහාය (රිලේ) දිවීමේ තරඟ වලට මෙන්ම මැරතන් වැනි දිගු දුර ධාවන ඉසව්වන් සඳහා ද සහභාගීව ඔහු විවිධ ජයග්‍රහණ රැසක්ම සිය පාසල් කාලය තුළ ජයග්‍රහණය කරමින් හරිස්චන්ද්‍ර විදුහලයට මෙන්ම මීගමුව පුරවරයට ද මහත් වූ කීර්තියක් අත්කර දී තිබේ. ඔහු සිය ක්‍රීඩා ජීවිතයේදී සමස්ත ලංකා මට්ටමේ තරගාවලියකට මුලින්ම සහභාගි වූයේ, තමන් අධ්‍යාපනය ලැබූ හරිස්චන්ද්‍ර විද්‍යාලය නියෝජනය කරමින් වයස අවුරුදු 15 න් පහල පාසල් මළල ක්‍රීඩා තරගාවලියකට වන අතර එහිදී ඔහු ප්‍රථම වතාවට සමස්ත ලංකා මට්ටමින් මීටර් 100×4 සහාය දිවීමේ තරඟයට සහභාගි වී, එම තරගයෙන් දෙවන ස්ථානය දිනාගත් සිව් දෙනෙකුගෙන් සමන්විත ,සහාය දිවීමේ කණ්ඩායමේ ප්‍රබලම සාමාජිකයා බවට පත් පත්විය. ඒ ඔහුගේ ක්‍රීඩා දිවියේ ප්‍රථම සමස්ත ලංකා ජයග්‍රහණයයි.
එතැන් පටන් පාසල් මට්ටමේ ක්‍රීඩා තරඟ වලින් මෙන්ම ග්‍රාම සංවර්ධන කොට්ඨාශ මට්ටමෙන්ද, යෞවන සමාජ මට්ටමෙන්ද, දිස්ත්‍රික් හා පළාත් මට්ටමේ තරඟ වලින් මෙන්ම ජාතික වශයෙන් පවත්වන විවෘත මළල ක්‍රීඩා තරගාවලී වලින්ද ඔහු ජයග්‍රහණ පිට ජයග්‍රහණ ලබමින් තම දක්ෂතාවය, හැකියාව, සහ සුවිශේෂී වූ තම ක්‍රීඩා කෞශල්‍යය ඉතා මැනවින් විදහා දක්වන පරිණත මළල ක්‍රීඩකයකු බවට පත්විය.
පාසල් අධ්‍යාපනය තුළ වාණිජ විෂය ධාරාව යටතේ උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබූ ඔහු , පසුව ජාතික ආධුනිකත්ව මණ්ඩලයට පිවිස එහි පාඨමාලාවන් හදාරමින්, ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ පුහුණු තාක්ෂණික නිලධාරී රැකියාවක් සඳහාද යොමු විය. විශ්‍රාම යනතුරුම එම රැකියා ස්ථානයේම රැකියා කළ ඔහු විශ්‍රාම ලැබුවේ, “ජ්‍යෙෂ්ඨ සහකාර ඉංජිනේරු” තත්වය දක්වාම උසස් වීම් ලැබීමෙන් අනතුරුවය. තම රැකියා ස්ථානය තුළදී ද ඔහු සිය ක්‍රීඩා කෞශල්‍යය ඉතා මැනවින් විදහා දක්වමින් තම සේවා ස්ථානය නියෝජනය කරමින් අන්තර් වෙළඳ සේවා මළල ක්‍රීඩා තරගාවලී සඳහා සහභාගි වන්නට ද අවස්ථාව උදාකර ගත්තේය. ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුව පසුව ” ශ්‍රී ලංකා ටෙලිකොම් ” බවට පත්වූ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම වෙනුවෙන් වාර්ෂික වෙළඳ සේවා ක්‍රීඩා තරගාවලී වලදී ඔහු සිය දක්ෂතාවය සහ නිපුණත්වය මැනවින් ප්‍රදර්ශනය කරමින් තම සේවස්ථානයට 2013, 2014 සහ 2015 යන වර්ෂ වලදී සමස්ත ලංකා වෙළඳ සේවා වාර්ෂික ක්‍රීඩා තරගාවලී වලදී අනුශූරතාව ජයග්‍රහණය කර දෙන්නට විශේෂ දායකත්වයක් සැපයූ දක්ෂ ක්‍රීඩකයකු බවට පත් විය. එලෙසම ඔහුගේ අප්‍රතිහත ධෛර්යය හේතුවෙන් සහ ඔහුගේ ජවසම්පන්න ක්‍රීඩා විලාශයත් පාදක කරගනිමින් 2016,2017 සහ 2018 යන වර්ෂ වලදී මෙරට පැවැත්වූ වෙළඳ සේවා ක්‍රීඩා තරගාවලී වලදී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට සමස්ත ලංකා වෙළඳ සේවා වාර්ෂික ශූරතාවය ජයග්‍රහණය කිරීමට හැකි විය. ඒ සඳහා ඔහු තරග කළ ක්‍රීඩා ඉසව් තුළින් ලද ජයග්‍රහණයන් ද පූර්ණ ලෙස දායක වී තිබිණි. මීටර් 100 , මීටර් 200, මීටර් 400 සහ සහය දිවිමේ ධාවන ඉසව් වලින් ඔහු ලද ජයග්‍රහණයන් , ශ්‍රී ලංකා ටෙලිකොම් අයතනයට වාර්ෂික ශූරයන් බවට පත්වීමට බලපෑ ප්‍රධානතම සාධකයක් බවට පත්වී තිබණි. , ඒ නිසාම මීගමුවේ ” මහේන්ද්‍ර සිල්වා ” යන නාමය මෙරට වෙළඳ සේවා ක්‍රීඩා තරගාවලී තුළ ප්‍රකට නාමයක් බවටද පත් පත් විය. එලෙසම කොට්ඨාශ මට්ටමින් පැවති පාපන්දු සහ වොලිබෝල් තරගාවලී වලදී ද
” මහේන්ද්‍ර සිල්වා” යන නාමය නිතර ඇසෙන ජයග්‍රාහී නාමයටක් බවට පත්විය.


ඉන් පසුව වයස අවුරුදු 60 ඉක්මවූ කළ ඔහු සිය රැකියාවෙන් විශ්‍රාම ලැබූ අතර ඔහුගේ සේවා ස්ථානය වන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට ඔහු ලැබ දුන් සුවිශේෂී ජයග්‍රහණයන් වෙනුවෙන් එම ආයතනය විසින් ඔහුට විශේෂ උපහාර වැඩසටහනක්ද පවත්වනු ලැබීය. වාර්ෂික වෙළඳ සේවා ක්‍රීඩා තරග වලදී ඔහු විසින් ශ්‍රී ලංකා ටෙලිකම් ආයතනයට අත් කර දුන් ජයග්‍රහණයන් වෙනුවෙන් සැපයූ දායකත්වයට ,ඔහුව විශේෂ ඇගැයීමකටද ලක් කෙරිනි.
වයස අවුරුදු 60 වූ පසු බොහෝ වැඩිහිටියන් සිය නිවසේ විවේක සුවයෙන්, තම විශ්‍රාම දිවිය ගත කරද්දි මහේන්ද්‍ර සිල්වා නැමති මේ සුවිශේෂී මළල ක්‍රීඩකයා සමස්ත ලංකා ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා තරගාවලීන් සඳහා තරඟ කිරීමට අඛණ්ඩව සිය පුහුණුවීම් කටයුතු සිදු කළේය. ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකම් ආයතනයේ ඔහු නියැලුණු රැකියාවෙන් විශ්‍රාම ගොස් මේ වන විට වසර 06 ක් පමණ ගෙවී ගොස් අවසන්ය. මේ වසර 06 තුළම ඔහු සමස්ත ලංකා ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා තරගාවලී නියෝජනය කරමින් සෑම වසරකදීම ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් සඳහා සහභාගි වෙමින් තවත් සුවිශේෂී ජයග්‍රහණ රැසක් හිමිකර ගන්නට ද සමත් වී තිබේ. එම තරගාවලීන් වලද ඔහු වැඩිපුරම සහභාගි වූයේ මීටර 100 , මීටර් 200 සහ මීටර් 400 වැනි ධාවන ඉසව් මෙන්ම උස පැනීම සහ දුර පෙනීම වැනි ක්‍රීඩා ඉසව්වන් සඳහාය. ඒ අනුව සහභාගී වන සෑම ඉසව්වක් සඳහාම ප්‍රථම, දෙවන, සහ තෙවන ජයග්‍රහණ ලබා ගැනීමට ද ඔහුට හැකි විය. ඒ අනුව ඔහු සමස්ත ලංකා ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා තරඟාවලී වල ඉදිරිපත් වන සෑම ඉසව්වකටම රන් , රිදී හෝ ලෝකඩ පදක්කම් සහ සහතික පත් ඇතුළු කුසලානද දිනා ගැනීමටද ඔහුට හැකි වී තිබේ. මේ වසරේ එනම් 2025 මාර්තු මාසයේදී පවත්වන ලද සමස්ත ලංකා ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා තරගාවලියේදී ඔහු, මීටර් 400 ප්‍රථම ස්ථානය, ලබා ගනිමින් එම ඉසව්වේ රන් පදක්කම ද, මීටර් 200 ඉසව්වෙන් දෙවන ස්ථානය ලබා ගනිමින් රිදී පදක්කමද එලෙසම දුර පැනීම ඉසව්වෙන් තෙවන ස්ථානය ලබා ගනිමින් ලෝකඩ පදක්කම ද ජයග්‍රහණය කළ අතර එම තරගාවලියේදී ඔහුට ඇති වූ අසනීප තත්ත්වයක් මත මීටර් 100 කෙටි දුර ධාවන ඉසව්ව සඳහා ඔහුට ඉදිරිපත් වීමට නොහැකි විය. ඔහු පවසන්නේ , එම ධාවන ඉසව්වටද ඔහුට සහභාගි වන්නට අවස්ථාව හිමි වුයේ නම් තරඟයේ මුල් ස්ථාන තුනෙන් එකක් ජයග්‍රහණය කිරීමට ඔහුට හැකියාව තිබූ බවයි. කෙසේ වුවද අසනීප තත්ත්වයෙන් පසුවත් ඔහු 2025 සමස්ත ලංකා ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා තරගාවලියේදී කැපී පෙනෙන ලෙස දස්කම් පෑ ක්‍රීඩකයෙකු බවට පත් විය. එලෙසම ජන සතු සේවා, රාජ්‍ය සේවා සහ වෙළඳ සේවා වාර්ෂික මළල ක්‍රීඩා තරගාවලීන් නියෝජනය කරමින් ජයග්‍රහණ රැසක් ඔහු විසින් මේ වන විට හිමිකරගෙන තිබේ . වෙළඳ සේවා ක්‍රීඩා තරගාවලී වලදී නම් ඔහුට රැකියා කළ ආයතනය මගින්ම පලපුරුදු පුහුණුකරුවන් ලබා දුන්නත් ,ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා තරගාවලිවලදී ඔහු ට කිසිදු පුහුණුකරුවෙකු හෝ නොමැතිව ක්‍රීඩා කිරීම මේ ප්‍රවීණ මළල ක්‍රීඩකයා සතු තවත් විශේෂිත දක්ෂතාවයක් ලෙසද සඳහන් කළ හැකිය.
ඔහු මෙරට පවත්වනු ලැබූ මළල ක්‍රීඩා තරගාවලින් වලට පමණක් නොව විදේශයන් හී පැවති මළල ක්‍රීඩා තරගාවලින් කිහිපයකටම සහභාගිව විශේෂ ජයග්‍රහණ ලබා ගනිමින් ශ්‍රී ලංකාවට තවත් විශිෂ්ට ගෞරවයක් ගෙනදුන් ක්‍රීඩකයෙක් ලෙසද හඳුන්වාදිය හැකිය. ඔහු 2015 ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රැකියාව කළ අවධියේ ,ඉන්දියාවේ කරණාඨක ප්‍රාන්තයේ පැවති ආරාධිත වෙළඳ සේවා මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන්නට අවස්ථාව ලැබුණු අතර එහිදී ඉන්දියාවේ අනෙකුත් ප්‍රාන්ත වලින් පැමිණි සිය ගණනක් වන තරගකරුවන් අතරින් මීටර් 100 , 200 , උස පැනීම සහ දුර පැනීම තරඟ ඉසව් වලට සහභාගි වෙමින්, මේ සෑම ඉසව්වකින්ම තෙවන ස්ථාන, හිමිකර ගනිමින්, ලෝකඩ පදක්කම් 04 ක් ජයග්‍රහණය කරමින්, ටෙලිකොම් ආයතනයටත් , ශ්‍රී ලංකාවටත්, මහත් වූ ගෞරවයක්, කීර්තියක් ගෙන ඒමට සමත් විය.. එමෙන්ම 2017 වසරේ තායිලන්තයේ පැවති රටවල් 21 ක පමණ දක්ෂ ක්‍රීඩකයන් රැසක් සහභාගි වූ ප්‍රවීණයන්ගේ ආරාධිත මළල ක්‍රීඩා තරගාවලියටද සහභාගි වෙමින් ඔහු මීටර 100, 200 දුර පැනීම, සහ මීටර 100×4 , 200×4 සහාය දිවීම (රිලේ) තරග වලට සහභාගි වෙමින් මේ සෑම ඉසව්වකින්ම දෙවන ස්ථාන හිමිකර ගනිමින් රිදී පදක්කම් ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවට මහත් වූ කීර්තියක් අත්කර දුන්නේය. ඔහු අවසන් වතාවට විදේශ ක්‍රීඩා තරගයකට සහභාගි වූයේ 2018 වසරේදීය. ඒ බෲනායි හී පැවති රටවල් 16 ක පමන ක්‍රීඩකයින් සහභාගි වූ ප්‍රවීණයන්ගේ ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලියටයි. එහිදී ඔහු මීටර් 100 , 200 , උස පැනීම සහ දුර පැනීම ඉසව්වන් සඳහා ප්‍රථම ස්ථානය ලබා ගනිමින් රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය. එ නිසාම එම ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට සුවිශාල කීර්තියක් සහ ගෞරවයක් රැගෙන ඒමට ඔහුට හැකි විය.
මේ ආකාරයෙන් ගත් කළ ඔහු මෙරට පමණක් නොව විදේශයන්හි ද ප්‍රකට ප්‍රවීණ මළල ක්‍රීඩකයකු බවට මේ වන විටත් පත්ව තිබේ. මේ වසරේදිත් ඔහුට රටවල් කිහිපයක පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ආරාධිත මළල ක්‍රීඩා තරගාවලින් සඳහා සහභාගී වන ලෙස නිල වශයෙන් මෙන්ම පෞද්ගලික මට්ටමෙන් පවා ආරාධනා ලැබී තිබෙන අතර එම තරගාවලීන් සඳහා ඔහුට සහභාගි වීමට ඇති ප්‍රධානතම බාධාව බවට පත්වී ඇත්තේ ඔහුට අනුග්‍රහකත්වය දැක්වීමට පුද්ගලයෙකු හෝ ආයතනයක් නොමැති වීමයි.
මේ වසරේ නොවැම්බර් මස 07, සහ 08 යන දෙදින තුල ඉන්දියාවේ චෙන්නයි හිදී පැවැත්වෙන අග්නිදිග ආසියානු ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වීමට ඔහු සූදානම්ව ඇතත් ඔහුට අනුග්‍රහකත්වය සපයන්නට ඉදිරිපත් වන පුද්ගලයෙකු හෝ ආයතනයක් නොමැතිකමින් එම තරගාවලියට සහභාගි වීම ස්ථිරව පැවසිය නොහැකි බව ද ඔහු සඳහන් කරයි.

ඔහු ඒ පිළිබඳව වැඩිදුරටත් මෙසේ පවසයි “” දැන් මම සහභාගි වෙන මේ ආරාධිත තරගාවලි සඳහා බොහෝ වෙලාවට යන්න වෙන්නේ අපේම පෞද්ගලික මුදල් වැය කරගෙන. අපි මේ විදිහට ක්‍රීඩා තරග වලට සහභාගි ලා රටට ජයග්‍රහණ ගෙනාවට අපිට කොහෙන්වත් මුදල් ලැබෙන්නේ නෑ. ඉතින් අපේ අතේ තියෙන පෞද්ගලික මුදල් මේ සඳහා වියදම් කරගෙන තමයි මේ තරගාවලි වලට අපට සහභාගී වෙන්න සිද්ධ වෙන්නේ. මා ළඟ එහෙම වියදම් කරන්න තරම් මුදලක් ඇත්තෙත් නෑ. ඉතින් කවුරුහරි පුද්ගලයෙක් හෝ, එහෙම නැත්නම් ආයතනයකින් හරි අනුග්‍රහකත්වයක් ලැබෙනවා නම්, අඩුම තරමින් ගුවන් ටිකට් පත්වලට වත් ,මම කැමති මේ ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා තරගාවලි වලට සහභාගි වෙලා, මේ රටට යම් ගෞරවයක් කීර්තියක් අත්කර දෙන්න. මම පෞද්ගලිකවත් මේ වෙද්දි මීගමුව භාරව ඉන්න, ක්‍රීඩා නියෝජ්‍ය සුගත් තිලකරත්න ඇමතිතුමාටත් මේ ගැන කියලා තියෙනවා. කියන්න තියෙන්නේ එකම එක දෙයයි, ආණ්ඩුවෙන් අපි වගේ ක්‍රීඩකයන්ට ලබා දෙන අනුග්‍රහය නම් බොහෝම මදියි. විශේෂයෙන් අපි වගේ ප්‍රවීණයන්ට ලැබෙන අනුග්‍රහය නම් ගොඩක්ම අඩුයි. ඉතින් කවුරු හරි පුද්ගලයෙක් හරි, ආයතනයක් හරි අපිට උදව් කරන්න කැමති නම් මට තවත් ජයග්‍රහණ ගණනාවක් මේ රටට ගේන්න පුළුවන්.ඒ සඳහා මට ශක්තිය,ධෛර්යය සහ හැකියාව තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒවගේම මම කැමතියි මගේ දැනුම, ආධුනික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දෙන්නත්. මගෙන් උදව් ඉල්ලන ඕනෑම කෙනෙකුට, ඕනෑම වෙලාවක මම, මගේ දැනුමින් , පලපුරුද්දෙන් සහ පුහුණුවීම් වලින් නවකයන්ට උදව් කරන්න කැමැත්තෙන් ඉන්නවා. මේවා මුදල් බලාගෙන කරන දේවල් නෙවෙයි. අලුත් පරම්පරාවට මගේ දැනුම පලපුරුද්ද ලබා දෙන්න මම බොහොම කැමැත්තෙන් ඉන්නේ ”
ඔහු සෑම විටම පවසන්නේ පුද්ගලයෙකුගේ වයස ඉලක්කමක් පමණක් බවයි. අධිෂ්ඨානය, කැපවීම සහ ආත්ම විශ්වාසය පවතී නම් ඕනෑම අයෙකුට කළ නොහැක්කක් නොමැති බව ද ඔහු පවසයි. ඔහුගේ නිවසේ ඇති රන් රිදී ලෝකඩ පදක්කම් තොගයත් කුසලාන රාශියත් සහ, ඔහුට හිමි වී ඇති කුසලතා සහතික ප්‍රමාණයක්, ඔහුගේ ඒ කියමන පරම සත්‍යයක් බවට තවත් තහවුරු කරයි.
මෙවැනි දක්ෂ ප්‍රවීණ ජවසම්පන්න ක්‍රීඩකයන් රැකගැනීම සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම ක්‍රීඩාවට වගකිව යුතු බලධරයන්ගේ සහ නිලධරයන්ගේ යුතුකමක්ද වන බව පසක් කර සිටිමු.
එහෙයින් ” මහේන්ද්‍ර සිල්වා” නැමැති මේ ජව සම්පන්න ප්‍රවීණ මළල ක්‍රීඩකයාට තවත් චිරාත් කාලයක් නිරෝගී සම්පන්නව, ධෛර්ය සම්පන්නව ජවන හා පිටිය මෙන්ම ධාවන ඉසව් වලින් ශ්‍රී ලංකාව අප මාතෘ භූමිය රනින් සරසන්නට හැකි වේවා යැයි සුභ ප්‍රාර්ථනා කරමු.












