මිගමුව රෝහලේදි පුරස්තිග්‍රන්ථියේ ශල්‍යකර්මයක් සිදු කිරීමෙන් අනතුරුව, නැවත රෝගී තත්ත්වයට පත් වී, දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කළ පුද්ගලයෙකු ඉතාමත් අවාසනාවන්ත ලෙස මරණයට පත් විමේ සිදුවීමක් පසුගිය සතියේදී මිගමුව දිස්ත්‍රික් මහා රෝහලෙන් වාර්තා විය.
මෙම අවාසනාවන්ත මරණයට හේතුව වෛද්‍යවරයෙකුගෙන් සිදුවු වැරදීමක් සහ නොසැලකිල්ලක්ද යන ගැටලුව පිළිබඳව මීගමුව රෝහලේ සේවයේ නියුතු කාර්ය මණ්ඩල අතරම පසුගිය දිනවල දැඩි කතාබහක් ඇතිවී තිබිණි.
මේ පිළිබඳව සොයා බැලීමේදී වාර්තා වූයේ මෙලෙස ඉතා අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ බඩල්ගම, කටුකෙන්ද ප්‍රදේශයේ අංක 63 ස්ථානයේ විසූ පී.ඩී. රංජිත් තිලකසිරි හෙවත් ” රත්නේ මුදලාලි ” ලෙසින් හඳුනවන 74 හැවිරිදි දෙදරු පියෙකු බවයි.
1951 වසරේ සැප්තැම්බර් මස 22 වැනි දින ( 1951/09/22 ) උපන් ඔහු තමාගේම වෙළඳ සැලක් පවත්වාගෙන යමින් සිටි ව්‍යාපාරිකයකි. ඔහුගේ ඥාතීන් පවසන පරිදි ඔහුට මුත්‍රා කිරීමේ අපහසුතාවයක් සහිත වූ රෝගී තත්ත්වයක් ඇති වී තිබූ අතර මීගමු රෝහලේ බාහිර රෝගී අංශයෙන් කළ යොමු කිරීමක් මත මෙම රෝගී තත්ත්වය සඳහා පුරස්ථි ග්‍රන්ථියේ ශල්‍යකර්මයක් සිදු කළ යුතු බව රෝහලේ අදාළ වෛද්‍යවරුන් විසින් පවසා තිබිණි. තවද ඒ සඳහා අගෝස්තු මාස 21 වැනි දින රෝහල් ගතවන ලෙස ද ඔහුට දන්වා තිබිණි. එලෙස රෝහල් ගත වූ පසුදින එනම් අගෝස්තු මස 22 දින, එකී ශල්‍යකර්මය ඔහුට සිදුකර තිබිණි.ඥාතීන් පවසන පරිදි මුත්‍රාශය සහ පුරස්ථිග්‍රන්ථි ආශ්‍රිතව මෙවැනි ශල්‍යකර්ම සිදුකිරීම සඳහාම වෙනත් රෝහලක සිට සතියේ බ්‍රහස්පතින්දා දිනවල මීගමු රෝහලට පැමිණෙන විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු විසින්, ඔහුට මෙම ශල්‍යකර්මය සිදු කර තිබිණි. එදින එම ශල්‍ය කර්මය සිදුකිරීමෙන් පසුව රෝහලේ තවත් දින 04 ක් නේවාසිකව සිට ප්‍රතිකාර ලැබීමෙන් පසු එනම් අගෝස්තු 26 වැනි දින ඔහුව රෝහලින් ටිකට් කපා නිවසට යවා තිබේ.


එලෙස රෝහලින් නික්ම නිවසට පැමිණි පසු දින එනම් අගෝස්තු 27 වැනි දින ඔහුට නැවත වරක් මුත්‍රා කිරීමට යමි අපහසුතාවයක් සේම මුත්‍රා පිටවීමේදී මුත්‍රා සමග දැඩි ලෙස රුධිරය පිටවීමක් ද සිදුවී තිබේ. තවද එදින ඔහු තුළ ඇතිවන ශාරීරික වේදනාවන් ද ක්‍රමයෙන් වැඩි වන්නට වු අතර පසුව ඔහුගේ දරුවන් ඇතුළු ඥාතීන්, එදින එනම් අගෝස්තු 27 වැනිදා රාත්‍රීයේම නැවත ඔහුව මීගමු රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී ඔහු පරීක්ෂා කර බැලූ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහුට නැවත වරක් ශල්‍යකර්මයක් සිදු කළ යුතු බවයි. අනතුරුව පසු දින එනම් අගෝස්තු 28 වන දා නැවතත් ඔහුව ශල්‍යකර්මයකට ලක් කර ඇත. එහිදී රෝහල් වෛද්‍යවරුන් ඔහුගේ ඥාතීන්ට පවසා තිබුණේ පුරස්ථි ග්‍රන්ථියට ඉතාම ආසන්නයේ පිහිටි මුත්‍රාශ්‍යයේ “බ්ලොක්” එකක් හෙවත් අවහිරතාවයක් මෙන්ම ඒ ආශ්‍රිත මුත්‍රා කාන්දුවක් ඇතිවී ඇති බවයි. එම නිසා එම අවහිරතාවය නැවත සකස් කිරීමටත්, මුත්‍රාශය ආශ්‍රිතව ඇති , කාන්දු වූ මුත්‍රා ප්‍රමාණයක් ඉවත් කිරීමටත් ඇති නිසා නැවත ශල්‍යකර්මයක් සිදුකළ යුතුව ඇති බව වෛද්‍යවරුන් විසින් පවසා තිබිණ. ඒ අනුව ශල්‍යකර්මය නිමවීමෙන් පසු මෙම රෝගියාව රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබිණි. එහිදී වෛද්‍යවරුන් මෙම රෝගියාගේ දරුවන් ඇතුළු ඥාතීන්ට පවසා තිබුනේ ඔහුගේ අගෝස්තු 28 වන දින මුත්‍රාශය ආශ්‍රිතව ශල්‍යකර්මය සිදු කරන මොහොතේ රෝගියාව පූර්ණ වශයෙන් නිර්දිවින්දනයකට ලක් කර නොතිබුණු අතර ශරීරයේ පහළ කොටස පමණක් හිරිවැට්ටවීමක් සිදුකර එම ශල්‍යකර්මය සිදුකරනු ලැබූ බවයි. එහිදී එම වෛද්‍යවරුන් විශේෂයෙන්ම පවසා තිබුණේ, රෝගියා විසින් ශල්‍යාගාරයේ , ශල්‍යකර්මය සිදුකරමින් සිටි වෛද්‍යවරුන්ට ඔහුගේ උදරයේ අසමානතාවයක් හෙවත් බඩපුරවා දැමීමක් සහ පපුවේ වේදනාවක් ඇති බවට පැවසූ බවයි. ඒ අනුව ක්‍රියාත්මක වූ වෛද්‍යවරුන් ඒ මොහොතේම ඔහුගේ උදරය ආශ්‍රිතවද ශල්‍යකර්මයක් ක්ෂණිකව සිදුකළ බව රෝගියාගේ ඥාතීන් හමුවේ එම වෛද්‍යවරුන් පවසා තිබිණි. එහිදී එම වෛද්‍යවරුන් ඔහුගේ ඥාතීන් හමුවේ පවසා සිටි අනිත් විශේෂිතම කරුණ වූයේ ඔහුගේ සිරුරින් රෝහලේදී ලබාදුන් සේලයින් මිලි ලීටර් 500 ක, 600 ක වැනි ප්‍රමාණයක් ඉවත් කර ඇති බවකි.
එලෙසම ඔහුගේ ඥාතීන් පවසන්නේ අගෝස්තු 28 වැනි දින ශල්‍යකර්මයට යොමුවන විට ඔහු ඉතාමත් හොඳ සිහි කල්පනාවෙන් යුක්තව සිටි බවයි. මේ අනුව ඥාතීන් පවසන්නේ එදින ( අගෝස්තු 28දා) එම ශල්‍යකර්ම 02 ක් ( මුත්‍රාශය ආශ්‍රිතව සහ උදරය ආශ්‍රිතව ) සිදුකිරීමෙන් පසු ඔහුව දැඩි සත්කාර ඒකකයට යොමු කරන විට බැලූ බැල්මට ඔහු දැඩිසේ අසාධ්‍ය තත්ත්වයට පත්වී සිටි බවයි. එහිදීද ඔහුගේ දරුවන්ට සහ ඥාතීන් ට එම වෛද්‍යවරුන් පවසා තිබුණේ ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි. ඒ අනුව දැඩි සත්කාර ඒකකයට යොමු කර ප්‍රතිකාර ලබමින් සිටි ඔහු පසුගිය අගෝස්තු 31 වැනිදා රාත්‍රීයේදී ඉතා අවාසනාවන්ත ලෙස මරණයට පත් වී තිබේ.
මෙලෙස ඉතා අවාසනාවන්ත ලෙස මියගිය රංජිත් තිලකසිරි නමැත්තාගේ ඥාතීන් සහ හිතවතුන් පවසන්නේ මෙම ශල්‍යකර්ම සිදු කල වෛද්‍යවරයෙකුගේ යම් වැරැද්දක් මත ඇති වූ අයහපත් තත්ත්වයක් අසාධ්‍ය තත්ත්වයක් බවට පත්වී , ඔහුට මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්වන්නට සිදුවු බවයි.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම මරණය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය සිදුකළ මීගමුව හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත මහතා විසින්, මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂන කටයුතු සඳහා මීගමු රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ. එහිදී වැඩිදුරටත් වාර්තා වූයේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා විසින් මෘත දේහයේ සමහර කොටස් ලබා ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවය. තවද මෘත දේහයේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා ” විවෘත තීන්දුවක්” ලබා දී ඇති බවයි.
මෙලෙස මියගිය රංජිත් තිලකසිරිගේ වැඩිමහල් පුතු ප්‍රකාශ කරන්නේ, පුරස්ති ග්‍රන්ථි ආශ්‍රිතව තම පියාට සිදුකළ ප්‍රථම ශල්‍ය ශල්‍යකර්මය සිදු කිරීමට රෝහල් ගතවන විට නිරෝගීව මීගමු රෝහල වෙත පයින් ඇවිදගෙන ගිය තම පියා, එම ශල්‍යකර්මය නිම වී නිවසට පැමිණ නැවත අසනීප වී දෙවන ශල්‍යකර්මය සිදු කිරීම සඳහා රැගෙන යන විට ද ඉතා හොඳ සිහි කල්පනාවෙන් සිටි බවයි. එමෙන්ම එම දෙවන ශල්‍යකර්මය සිදුවන මොහොතේදී පවා ඔහුගේ උදරය පුරවා දැමීම සහ පපුවේ වේදනාව පිළිබඳවද වෛද්‍යවරුන්ට පවසා තිබීමද නිසා, ඒ මොහොතේද තම පියා ඉතා හොඳ සිහිකල්පනාවෙන් සිට ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
කෙසේ වුවද මරණයට පත් වූ රංජිත් තිලකසිරි නමැත්තාගේ ඥාතීන් හා හිතවතුන් පවසන්නේ ඔහුගේ මරණයට, ශල්‍යකර්මය සිදු කළ වෛද්‍යවරයෙක් අතින් සිදුවූ යම් වැරදි සහගත ක්‍රියාවක් හේතුවී ඇති බවයි.
තවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම මරණය සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුව විවෘත තීන්දුවක් වන නිසාවෙන් මෙම මරණය සම්බන්ධව පවත්වන විමර්ශනයේ තොරතුරු එළැඹෙන දෙසැම්බර් මාසයේ 18 වැනි (18/12/2025) දින දැනුම් දෙන බවත්, ඒ සඳහා මියගිය පුද්ගලයාගේ ඥාතීන්ට එදින මීගමු රෝහලට පැමිණෙන ලෙස හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත මහතා විසින් ලිඛිතව දන්වා ඇති බවයි.
මෙම මරණය ද බැලූ බැල්මට රෝහලේ සිදු වෙන තවත් එක් මරණයක් ලෙස සහ රෝහලක සිදුවන සාමාන්‍ය සිදුවීමක් ලෙසද අර්ථකථනය කළ හැක. එහෙත් මෙම මරණය තුළින් කම්පනයට හා සංවේගයට පත්වන්නේ මරණයට පත් වු අයගේ ආදරණීය බිරිඳ සහ පුතුන් දෙදෙනා ඇතුළු පවුලේ ඥාතීන් මෙන්ම ඔහුට හිතවත්ව සිටි හිතමිත්‍රාදීන්ය. එලෙසම මියගිය තැනැත්තාගේ අගය වටිනාකකම වැඩිපුරම දැනෙන්නේ ද ඔවුන්ටමය. තවද මිනිස් ජීවිතයක අගය,වටිනාකම කෙසේ නම් තක්සේරු කළ හැකිද?. වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් හෝ වැරදීමකින් එලෙස වටිනා ජීවිතයක් , අහිමිවන්නේ නම් එය කෙතරම් අභාග්‍යසම්පන්න තත්ත්වයක් ද ?.
එහෙයින් මෙලෙස වෛද්‍යවරුන්ගේ වරදින් සහ නොසැකිල්ලෙන් ,හෝ සිදුවන සැක සහිත අවාසනාවන්ත මරණ වලට තිත තබන්නට රෝහල් පරිපාලනය මෙන්ම අමාත්‍යාංශ බලධාරී මට්ටමින් ද ස්වාධීන හා අපක්ෂපාතී විමර්ශනයන් සිදුකළ යුතු බවට යළි යළිත් අවධාරණය කළ යුතුව ඇත.අප එලෙස යළි යළිත් ඒ පිළිබඳව අවධාරණය කර සිටින්නේ මෙවැනි අවසනාවන්ත තත්වයන්ගෙන් මීගමු රෝහලද රෝහලට ප්‍රතිකාර පතා පැමිණෙන අහිංසක මිනිස් ජීවිත ද රැකගත යුතුව ඇති හෙයිනි..












