“” එන්ඩස්කොපි ඉස්ටේකියන් ටියුබ් ස(ර්)ජරි” ( Endoscopic eustachian tube surgery) හෙවත් සියුම් වු කුඩා ප්‍රමාණයේ කැමරාවක් මගින් කනේ හී යුස්ටේඛීය නාලයේ අවහිරතා ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් “” ශ්‍රී ලංකාවේදී ප්‍රථම වතාවට මීගමුව දිස්ත්‍රික් මහා රෝහලේදී අද (21/10/2025) පෙරවරුවේදී සිදු කරන ලදී. මෙරට ප්‍රථම වතාවට මීගමුව මහා රෝහලේදී මෙම සුවිශේෂී ශල්‍යකර්මය සිදු කරන ලද්දේ මීගමුව දිස්ත්‍රික් මහා රෝහලේ සේවයේ නියුතු කන් ,නාස් ,උගුර, සහ ගෙල සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ” විද්‍යා නිදි රිශ්නි සකාෆ් ” මහතා විසිනි.
යමක් ශ්‍රවණය කිරීමට මිනිස් සිරුරක ඇති වැදගත්ම සහ එකම ඉන්ද්‍රිය වන්නේ කන හෙවත් සවන යි. එහෙත් සමහර විටක කනේ හී ඇතිවන අවහිරතා නිසා හඬ සහ ශබ්ද ඇසීමේ අවහිරතා හෙවත් ශ්‍රවන අවහිරතා මතුවීමට ඉඩ තිබේ. කනේ හී ඇති වන එවැනි අවහිරතා තත්ත්වයන් බොහෝ විට අප හඳුන්වන්නේ “කන අගුල් වැටෙනවා ” යනුවෙනි. එවැනි අවස්ථාවක් ස්ථිර ලෙසම පැවතියහොත් අවට පරිසරයේ හඬ ශබ්ද මෙන්න අප කතාබහ කරන දේ පවා ඇසීමට නොහැකි තත්වයකට පත් වෙි ” කන් ඇහෙන්නේ නැතුව යනවා” යනුවෙන් අප පවසන්නේ එවැනි තත්ත්වයකි . කනේ හී එවැනි තත්ත්වයක් ඇති ඇතිවීමට කරුණු කීපයක් බලපෑ හැකිය. එනම් මැද කනේ සෙම පිරී තිබීම හෝ මැද කනේ පීඩනයේ (ප්‍රෙෂර්) ඇතිවන වෙනස් වීම් නොඑසේ නම් මැද කනේ ආසාදනයක් නිසා හෝ විෂ බීජයක් නිසා සැරව ඇතිවීම, එමෙන්ම කනේ කර්ණ පටහ පටලය හෙවත් කන් බෙරයේ ඇතිවන විශේෂිත තත්ත්වයන් ආදී හේතූන් නිසාවෙන් කන් ඇසීම නිසි ලෙස සිදු නොවන්නට ඉඩ තිබේ. එවැනි තත්ත්වයක් ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම බලපානු ලබන්නේ කනේ හී ඇති යුෂ්ටේඛීය නාලයේ අවහිරතාවයන්ය. එවැනි අවස්ථාවක මෙරට රෝහල් වලදී මෙතෙක් සිදු කළේ එම රෝගියාගේ කනේ හී කර්න පටහ පටලය හෙවත් කන් බෙරයේ ඉතා සියුම් සිදුරක් ඇතිකර මැද කනේ ඇති සෙම හෝ වෙනත් විෂ බීජයක් වේ නම් ඒවා පිටතට ගැනීමයි. නොවේ සේ නම් කන් බෙරයට සියුම් ප්ලාස්ටික් බටයක් දමා මැද කනේ ඇති සෙම හෝ විෂ බීජ පිටතට ගැනීමයි . මේ කුමන ක්‍රමයක් සිදු වුවත් ඇත්තෙන්ම අවසානයේ සිදුවන්නේ රෝගියාගේ ස්වභාවික කර්ණ පටහ පටලය සිදුරු කිරීමකි නැතහොත් පලුදු කිරිමකි. මෙවැනි තත්ත්වයකදී එවැනි ශල්‍යකර්මයකට ලක්වන රෝගියෙකු යම් ආකාරයක අවධානම් සහිත තත්ත්වයකට වුවද ලක්වීමට බෙහෙවින්ම ඉඩ තිබේ.
එහෙත් මෙරට රෝහලකදී ප්‍රථම වතාවට අද දින මීගමුව දිස්ත්‍රික් මහා රෝහලේදී සිදුකළ මෙම සුවිශේෂී ශල්‍යකර්මය තුළින් එම යුෂ්ටේඛීය නාලය තුල පවතින සියලු අවහිරතාවන් ( Blocks ) ඉවත් කරනුයේ කනේ හී ඇති කර්ණ පටහ පටලය සිදුරු කිරීමක් හෝ පලුදු කිරීමක් සිදු නොකර වීම මෙහි ඇති විශේෂත්වයයි. එනම් කනේ හී යුස්ටේඛීය නාලය, නාසය පිටුපස කොටසකින් මැද කනට සම්බන්ධ වන නිසා නාසය ඇතුළතින් ඉතාම කුඩා කැමරාවක් යවා ,එම යුෂ්ටේඛීය නාලයේ ඇති අවහිරතා ඉතාම සියුම් ලෙස එමගින් ඉවත් කිරීම මෙම විශේෂිත ශල්‍යකර්මය මගින් සිදු කෙරේ. මෙවැනි ශල්‍යකර්මයක් මින් පෙර ශ්‍රී ලංකාවේ සිදු නොවූ අතර ලෝකයේ වෙනත් රටවල මෙවැනි ශල්‍යකර්ම සිදු කරන බවද වැඩිදුරටත් වාර්තා වුණි.
එවැනි තත්ත්වයක් ඇති රෝගියෙකුට මෙවැනි ශල්‍යකර්මයක් සිදුකිරීමෙන් කිසිදු වෙනත් පසු රෝගාබාධ වලට (after effects ) හෝ මෙයට සමගාමීව ඇති වන වෙනත් රෝගාබාධ වලට ( side effects ) ලක් වීමට හෝ සිදු නොවේ. එලෙසම මින් පෙර මෙවැනි රෝගී අවස්ථාවකදී සිදු කල ශල්‍යකර්ම ශල්‍යාගාරයක පමණක් සිහිනැති කර සිදු කල යුතු වන අතර ඒ සඳහා විශාල මුදලක්ද වැය වුණි. එහෙත් අද දින මීගමුව මහා රෝහලේදී සිදු කළ මෙම විශේෂිත ශල්‍යකර්මය බාහිර රෝගී ප්‍රතිකාර සේවා අංශයක (OPD), වෛද්‍ය සායනයක (clinic ), හදිසි ප්‍රතිකාර ඒකකයක ( ETU ) වැනි ස්ථානයක සිහි නැති නොකර, එම ප්‍රදේශය පමණක් හිරිවට්ටවා සිදු කළ හැකිවීම සඳහන් කළ යුතු විශේෂිතම කාරණාවකි. එලෙසම මෙය සිදු කිරීමේදී වැය වන්නේ ඉතා අවම වියදමකි. ඒ නිසා ජීවිත අවධානමක් නොමැතිව, අඩුම පිරිවැයක් යටතේ මෙම නව ක්‍රමය තුළින් කනේ හී යුස්ටේඛීය නාලයේ පවතින අවහිරතා ඉතාම සාර්ථකව ඉවත් කර ගත හැකිය.
ඒ අනුව අද දිනයේ මීගමුව දිස්ත්‍රික් මහා රෝහලේ දී ප්‍රථමයෙන්ම මෙම ශල්‍යකර්මය වයස අවුරුදු 47ක් වන කාන්තාවකට සිදු කළ අතර ඉන් පසුව වයස අවුරුදු 11ක් වන කුඩා පිරිමි දරුවෙකුටද අනතුරුව වයස අවුරුදු 68 ක් වන තවත් කාන්තාවකටද මෙම ශල්‍යකර්මය සිදු කරන ලදී.
මෙම සැත්කම සඳහා භාවිතා නවීන උපකරණය සහ ඊට අදාළ මෙවලම් මෙතෙක් මෙරට පුද්ගලික හෝ රජයේ රෝහලකදී භාවිතා නොකළ අතර එම උපකරණය සහ ඊට අදාල මෙවලම් විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිශ්නි සකාෆ් මහතා විසින් පෞද්ගලිකව මෙරටට ගෙන්වා භාවිතා කර ඇති බව ද වාර්තා වුණි.
මීට මාස 02කට පමණ පෙර මීගමුව මහා රෝහලේ සේවයට පැමිණ ඇති මෙම කන් ,නාස් ,උගුර, සහ ගෙල සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ” විද්‍යා නිදි රිශ්නි සකාෆ් ” මහතා මීගමුවට අමුත්තෙකු නොවන්නේ ඔහු මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේ පදිංචි විශේෂඥ වෛද්‍යවරයෙකු නිසාය. ඔහු හලාවත, කුලියපිටිය, හෝමාගම, වතුපිටිවල යන රෝහල්වලද එලෙසම කොළඹ ජාතික මහා රෝහලේ ද සේවය කර ඇති අතර පුරා දශකයකට අධික කාලයක් ඔහු කන් ,නාස් ,උගුර, සහ ගෙල සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස ද සේවය කර ඇත. තවද එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ස්විස්ටර්ලන්තය සහ ජර්මනිය ඇතුළු රටවල් ගණනාවක අධ්‍යාපනය ලබා විශේෂ පළමුපුරුද්දක් සහ අත්දැකීම් බහුල විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙසද ප්‍රකටය.
එලෙසම ඔහු 2019 වසරේ කුලියාපිටිය රෝහලේදී බෙල්ල ප්‍රදේශයේ කිසිදු කැපුමක් නොමැතිව මුඛය තුලින් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් මෙරටදී පළමු වරට සිදු කර තිබේ. එලෙසම ඔහු 2020 වසරේ, හෝමාගම රෝහලේදී උගුරේ පිළිකා රෝගී තත්ත්වයක් සහිත රෝගියෙකුගේ එම පිළිකා කොටස් අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් යන්ත්‍රයේන් නිකුත් වන අල්ට්‍රා ශබ්ද තරංග උපයෝගී කරගෙන, උගුරු දණ්ඩ බෙල්ලෙන් වෙන් නොකර එම පිලිකා කොටස මුළුමනින්ම ඉවත් කර ඇත.මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සිදු වූ තවත් විශේෂිත ශල්‍යකර්මයක් ලෙසද වාර්තා විය.
තවද ඔහු කොළඹ ජාතික මහා රෝහලේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බෙල්ල ප්‍රදේශයේ ත්‍රිමාන හෙවත් 3-ඩී ශල්‍යකර්මයක්ද සිදු කලේය.
මෙලෙස උගුර කන් නාස් සහ ගෙල සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස සිදු කල අති විශිෂ්ට වූ වෛද්‍ය සේවාව වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඔහුට ” විද්‍යා නිධි ” ගෞරව සම්මානය පුද කරන ලදී. ශ්‍රී ලාංකික ඉතිහාසයේ උගුර කන් නාස් සහ ගෙල සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත එවැනි ගෞරව සම්මානයක් පුදකළ පළමු අවස්ථාවද එය විය.
අද දින මීගමුව මහා රෝහලේදී , ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සිදුකළ කැමරාවක් මගින් කනේ හී යුස්ටේඛීය නාලයේ අවහිරතා ඉවත් කිරීමේ මෙම විශේෂිත ශල්‍යකර්මය සඳහා කන් ,නාස් ,උගුර, සහ ගෙල සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිශ්නි සකාෆ් ” මහතා සහ තවත් සහායක වෛද්‍යවරුන් ඇතුළු 11 දෙනකුගෙන් සමන්විත වෛද්‍ය හා හෙද හෙදි කාර්ය මණ්ඩලයක් සහභාගී වුහ.


















