මීගමුව, කට්ටුව ප්‍රදේශයේ සිට ඒත්තුකාල ප්‍රදේශයට ඉතා ඉක්මනින් පාගමනින් පැමිණීමට දැනට වසර 50 කටත් පමණ පෙර කාලයක සිට හැමිල්ටන් ඇළ හරහා ඉදිකර ඇති මගී පාලම, දැනට දින කිහිපයකට පෙර කඩා වැටී තිබේ. ඒත්තුකාල ප්‍රදේශයට යාවන , පාලම් කොටසේ ඇති කොන්ක්‍රීට් පඩි සහිත කොටස මෙලෙස කඩා වැටීමකට ලක් වී තිබේ.
එම ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මීගමුව මහා නගර සභාව විසින් මෙම පාලමට අලුතින් යකඩ අත් වැටවල් සවිකිරීමට යාමේදී කිසිදු සොයා බැලීමකින් තොරව සහ කිසිදු සැලසුමක් නොමැතිව, එලෙසම නිසි පරීක්ෂාවකින් තොරව හිතුමතේට මෙම පාලමේ ඉපැරණි කොන්ක්‍රීට් කනු ඩ්‍රීල් යන්ත්‍ර යොදා සිදුරු කර යකඩ අත් වැටවල් සවිකිරීමට යාමේදී පාලමේ කොන්ක්‍රීට් කණු වලට හානි සිදු වී එම කොන්ක්‍රීට් කණු කැඩී ගොස් ඇති බවයි.
එම අධිබලැති ඩ්‍රීල් යන්ත්‍ර වලින් සිදුවන කම්පනය , පාලම ඉදිකර ඇති පැරණි කොන්ක්‍රීට් තට්ටු මෙලෙස කැඩී යාමට ප්‍රධානතම හේතුව වී ඇති බව එම ප්‍රදේශවාසීන් වැඩි දෙනෙකුගේ අදහසයි. මෙවැනි කාර්යයක් කිරීමේදී ඒ පිළිබඳව නිසි සොයා බැලීමක් සිදුකර, මෙම පාලමේ වසර 50කටත් වැඩි කාලයක් ඉපැරණි කොන්ක්‍රීට් වල ඇති තත්ත්වය හරිහැටි පරීක්ෂා කර බලා මෙය සිදුකළ යුතු වුවත්, ඒ පිළිබඳව කිසිදු සැලසිල්ලකට නොගෙන මීගමුව මහා නගර සභාව විසින් සංදර්ශනයක් සිදුකිරීමට යාම නිසා එම ප්‍රදේශයේ ජනතාවට ඉමහත් ප්‍රයෝජනවත් මෙම මගී පාලම කැඩී ගොස් ඇති බව එම ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසයි.
ප්‍රදේශවාසීන් විසින් අඩි පාලම, ගල් පාලම යන අනුවර්ත නාම වලින් හඳුන්වන හැමිල්ටන් ඇළ හරහා ඉදිකර ඇති මෙම ඉපැරණි පාලම නිසා කට්ටුව දුම්රිය ස්ථානයේ සිට ඒත්තුකාල හෝටල් කලාපයට ඉතා ඉක්මනින්ම පා ගමනින් ළඟාවිය හැකි ය.
මෙය සංචාරක කලාපයේ හෝටල්වල සේවය කරන දුම්රියෙන් ගමන් කරන සේවක සේවිකාවන්ටත් එලෙසම කොළඹ හලාවත ප්‍රධාන බස් මාර්ගයේ සිට හෝටල් කලාපයට සේවයට පැමිණෙන අයටද ඉක්මනින් පා ගමනින් ම තම සේවා ස්ථාන ළඟා වීමට මෙම පාලම නිසා අවස්ථාව සැලසේ .
එලෙසම ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම පැරැණි පාලමට අලුතින් යකඩ අත් වැටවල් සාදා එය උත්සවාකාරයෙන් විවෘත කරන්නට මීගමුව මහා නගර සභාවේ බලධරයන් සූදානම්ව සිට ඇති අවස්ථාවේදීම මෙය කඩා වැටීම දෛවෝපගත සිද්ධියක් බවයි.
කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ ඒත්තුකාල ප්‍රදේශයේ ජනතාවටත්, කට්ටුව ප්‍රදේශයේ ජනතාවටත්, හෝටල් කලාපයට පැමිණෙන හෝටල් සේවක සේවිකාවන්ට මෙන්ම විදේශ සංචාරකයන්ටත් ඉතාම ප්‍රයෝජනවත් වූ මෙම මගී පාලම නිසි ලෙස ඉක්මනින් ඉදිකරදීමට මීගමුව මහා නගර සභාව ඉක්මනින්ම පියවර ගත යුතු බවයි.













