ඇල ලඟ නියාස් නානාගේ ටී ෂොප් එකට වරක් ගොඩ වැදී බලන්න,

0
429

 

රස ම රස ටී එකක් එහෙම නැත්නම් කිරි තේ එකක් බොන්න ගොඩක් දෙනෙක් කැමතියි. හැබැයි ඉතින් සමහර වෙලාවට ලොකු ලොකු හෝටල් වලට ගියාට අපේ හිතට හරියන විදිහට රස ටී එකක් බොන්න ලැබෙන අවස්ථා හරිම අඩුයි. ඉතින් මීගමුව නගරයේත් ගොඩක් ලොකු ලොකු හෝටල් තිබුනට, හිතට හරියන රසම රස ටී එකක් බොන්න අවශ්‍ය වුණොත් මීගමුවේ ගොඩක් අය යන්න තැනක් තමයි, මීගමුව නගරයේ පරණ හලාවත පාරේ ඇල ලග  තියෙන නියාස් නානාගේ ටීෂොප් එකට.

පරණ හලාවත පාර කියලා කියන්නේ ජුවෙල් ලංකා ජුවලරි එක ඉදිරියෙන් හැමිල්ටන් ඇල අයිනේ පාරෙන් පොඩි දුරක් ගියහම හමුවන පුංචි තහඩු කඩේ..

ඒ කියන්නේ කුඩාවට තහඩු වලින් ආවරණය කරලා තියෙන මේ නියාස් නානගේ ටී ෂොප් එක නගරයේ බොහෝ දෙනෙක් අතරත් නගරයට එන යන ගොඩක් දෙනෙක් අතරත් හරිම ප්‍රසිද්ධයි.

IMG 20260121 WA0016 IMG 20260121 WA0018 IMG 20260121 WA0017 IMG 20260121 WA0015 IMG 20260121 WA0014
ඒ කියන්නේ බොහෝ අය එයාලා කැමති විදිහට ටී එකක් බොන්න හිතුනම නියාස් නානගේ ටී ෂොප් එකට තමයි එන්නේ. ගොඩක් එතනට එන අය කැමති නියාස් නානා අතින් හදලා දෙන ටින් කිරි ටී බොන්න තමයි. ටින් කිරි කියලා කියන්නේම ඉතින් රස කළ උකු කිරි නිසා ඒකෙන් හදන ටී වලට වැඩිය සීනි දාන්න අවශ්‍යත් නැහැ. තේ කහට හරි ගානට එහෙම දාලා නියාස් නාන හදලා දෙන ස්ට්‍රොන් ටී එකට නම් ගොඩක් දෙනෙක් කැමති යි. මේ ටී ෂොප් එකට එන බොහෝ දෙනෙක් ඉල්ලන්නෙම ස්ට්‍රෝන් ටී තමයි.

ඒ වගේම කැමති අයට මෙතන ප්ලේන් ටී වුනත් බොන්න පුළුවන්. සීනි අඩු වැඩි කරලා දාලා, ටින් කිරි නැත්නම් පිටිකිරි හරි දාලා අපිට කැමති විදිහට නියාස් නානගේ ටීෂොප් එකෙන් කිරි තේ වල රස බලන්න පුළුවන්. ඒ වගේම මයිලෝ එහෙම දාලා හදන ටී එකටත් ගොඩක් අය කැමතියි. ඒ වගේම නියාස් නානගේ ටී ෂොප් එකෙන් එන්සල් දාලා හදන විශේෂිත ටී එකක් තියෙනවා.

ඒකට කියන්නේ “සාරා ටී” කියලා . අපි හැමදාම බොන කිරි තේ එකක් වෙනස්ම විදිහකට රස බලන්න කැමති අයට තමයි , විශේෂයෙන්ම මේ සාරා ටී එක නියාස් නානා හඳුන්වා දීලා තියෙන්නේ. තේ විතරක්ම නෙවෙයි නියාස් නානාගේ ටී ෂොප් එකෙන් කැමතිනම් ප්ලේන් කෝපි සහ කිරි කෝපි වල රස බලන්නත් පුළුවන්. තව නෙස්ටමෝල්ට් , විවා වුනත් අපිට ඕන විදිහට සහ රසට නියාස් නානාට කියලා හදා ගන්නත් පුළුවන්.
මේ ටී ෂොප් එක කරන නියාස් නානා එක් පුතෙකුගේ සහ දියණියන් තිදෙනෙකුගේ පියෙක්. ඔහු ඉන්නේ පෝරුතොට ප්‍රදේශයේ. හැබැයි ඔහු මේ පරණ හලාවත පාරට ඇවිල්ලා මේ දැන් තියෙන ටී ෂොප් එක කරන්න පටන් අරගෙන අවුරුදු හතක් වෙනවලු.

හැබැයි නියාස් නානා මෙතෙන්ට එන්න කලින් මේ තැනට ආසන්නව තියෙන සෙන්ට් පීටර්ස් එක ගාව මේ විදිහම ටී ෂොප් එකක් කෙරුවලු. එහෙම බැලුවොත් ඔහු මේ ටී ෂොප් වැඩේ කරන්න පටන් අරගෙන අවුරුදු විසි දෙකක් විතර වාගේ කාලයක් වෙනවලු. ඊට කලින් ඔහු කරලා තියෙන්නේ මේෂන් වැඩ වලට අත් උදව් දෙන එක. ඒ අත් උදව් රස්සාවට යන්ඩ කලින් ඔහු කොච්චිකඩේ ප්‍රදේශයේ තිබුණු නජීමි ටී බාර් එකේ තමයි වැඩ කරලා තියෙන්නේ. එතනදී තමයි ඔහු මේ ටී හදන වැඩේට හොඳට දැනගෙන ඒ ගැන හොඳට පුරුදුවෙලා තියෙන්නේ.

ඉතින් රසට වගේම මෙතනට එන අයගේ රුචිකත්වය අනුව ටී හදන එක නියාස් නනාට නම් සුළු දෙයක්. ඔහු ඒ තරමටම මේ ටී හදන වැඩේට එක්ස්පර්ට් කෙනෙක්.

නියාස් නානගේ ටී ෂොප් එකේ ටී, ප්ලේන්ටි, කෝපි වලට අමතරව උදේ කෑමට රොටි වර්ග, වඩේ , සැන්විච් වගේ දේවල් වගේම දවල්ට හැන්දෑවට ෂෝට් ඊටිස් වර්ග ඒ කියන්නේ රෝල්ස් කට්ලට් පැටිස් වගේ දේවල් සහ කේක්, පෑන්කේක්, අඩ වගේ ස්වීට් කෑම ජාතිත් තියෙනවා. ඉතින් ටී එකක්, ප්ලේන්ටියක්, කෝපි එකක් රස බොන්න එන කෙනෙකුට මේ කෑම ජාති වල රස බලන්නත් පුළුවන්.

සතියේ ඉරිදා දවසෙත්, සිකුරාදා උදේ වරුවෙත් හැර අනිත් ඕන දවසක නියාස් නානාගේ ඇල ළඟ ටී ෂොප් එක උදේ හත හමාරේ පමන ඉඳලා රෑ හත අට වෙනකන් ඇරලා තියෙනවා.

2Q==

අනිත් එක තමයි නියාස් නානාගේ මේ ටී ෂොප් එකට උදේ වරුවේ මාළු බිස්නස් කරන අය සෑහෙන ප්‍රමාණයක් එනවා. ඒ වගේම නගරයේ විවිධ රැකියා කරන අය ඒ කියන්නේ කම්කරු රැකියාවේ සිට ලොකු ලොකු කොම්පැනිවල සහ රජයේ ආයතන වල ඉහළ මට්ටමේ ඒ කියන්නේ විධායක ශ්‍රේණියේ රැකියාව කරන අය පවා එනවලු නියාස් නානාගේ අතින් හදන රසවත් ටී එකක රස බලන්න. ඒ වගේමයි මුස්ලිම් දෙමළ සිංහල මේ වගේ හැම ජාතියකටම අයිති හැම ආගමකටම අයිති අය නියාස් නානාගේ මේ ටී ෂොප් එකට නිතරම එනවලු.

බලාගෙන ගියහම වැඩේ ඇත්ත තමයි. උදේ ඉඳලා කොයිවෙලේ බැලුවත් නියාස් නානා හරි බිසී.

ඔහුගේ මෙම කාර්යබහුලත්වය නිසාම ඔහු මේ වෙද්දි ඔහුගේ පුතාගේ බිරිඳගේ පියා ව, ඒ කියන්නේ ෆවුමි ව ඔහුගේ සහයට කැඳවාගෙන තියෙනවා.

ඒ වගේම ඔහුගේ මේ ටී ෂොප් එකට ෂෝට් ඊට්ස් රෝටි සහ ස්වීට් කෑම හදලා ගෙනල්ලා දෙන්නෙත් එයාගෙම පවුලේ අයලු. ඒ කියන්නේ එයාගේ සහෝදරයෝ. සහෝදරියෝ වාගේ එයාලගේ පවුලේ ළඟම අයලු . ඒ එක්කම ගමේ කීහිප දෙනෙකුත් ඔහුගේ මේ ටී ෂොප් එකට කෑම වර්ග හදලා ගේනවලු. ඉතින් ඔහු කියන්නේ ඔහුගේ මේ ටී ෂොප් එක නිසා පවුල් දොළහක් විතර යම් ආදායමකුත් ලබනවලු. ඒ එක්කම ඔහු කියනවා ඔහු ඒ ගැන හුඟක් සතුටු වෙනවලු. මොකද ඔහුගේ මේ ටී ෂොප් එක නිසා තවත් පිරිසක් යම් ආදායමක් ලබන එක ගැන.
අනිත් එක නියාස් නානා කියන කතාවක් තමයි, ඔහු මැරෙනකල්ම මේ ටී ෂොප් එක කරගෙන යනවලු.

සමහර වෙලාවට ඔහුගේ පුතා දැන් රියදුරු රැකියාවක් කරන නිසා එයා මේ වැඩේට නොයන්නත් පුළුවන්ලු. කොහොම උනත් නියාස් නානට පුළුවන් කාලයක් මේ ටී ෂොප් එක කරගෙන යන්න තමයිලු ඔහුගේ බලාපොරොත්තුව.
ඉතින් නියාස් නානව මුණගැහිලා ආපහු එන්න හදද්දි ඔහු මෙන්න මෙහෙම දෙයක් කිව්වා ” මහත්තයෝ අපි ගන්න මුදලට හොඳ දෙයක් දුන්නොත්, අනිත් එක අපි ළඟට එන අය කැමති විදිහට ඒ දේ දුන්නොත්, ඒ අය අපි කොහේ හිටියත් අපිව හොයාගෙන එනවා. අපි ළඟට එන අයව සතුටු කරලා යැව්වොත් අපිට කවදාක්වත් වරදින්නේ නැහැ ,කිසිම දේකදි “.. ඔහු අවසානයේදී එහෙම කිව්වා.

ඉතින් මීගමුවේ ඉන්න ඔබ , ඒ වගේම මීගමුවට නිතර යන එන ඔබ තවමත් මේ නියාස් නානාගේ ටී ෂොප් එකට ගොඩ වැදිලා , ඔබ කැමති විදිහට සහ කැමති රසයට රසම රස කිරි තේ එකක් තවමත් බීලා නැත්නම් අපි ඔබට ආරාධනා කරනවා, නියාස් නානාගේ මේ ටී ෂොප් එකට එක වරක් හෝ ගිහින් බලන්න. මෙතෙක් ඔබ රස බැලූ ටී එකක නොවේසේ නම් කිරි තේ එකක රසයට වඩා වෙනස්ම අපිට කැමතිම ,අපි ආස කරන රසයක් ඇති ටී එකක් රස විඳින්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here