මා දැල් ධීවර කර්මාන්තයට යාන්ත්‍රික උපකරණ තහනම් කිරීමට රජය විසින් ගෙන ඇති තීරණය ඉවත් කරන ලෙසත් ,ඒ පිළිබඳව ,ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දෙන ලෙසත් බල කිරීම සඳහා උද්ඝෝෂණයක් අද දින (05/02/2026) පෙරවරුවේදී මීගමුව දිස්ත්‍රික් ධීවර කාර්යාලය ඉදිරිපිට දී පැවැත්විණි.
වර්තමානයේ මා දැල් ධීවර කර්මාන්තය සඳහා ට්‍රැක්ටර් රථ යොදා ගැනීම ඇතුළු අනෙකුත් තාක්ෂණික මෙවලම් යොදා ගැනීම රජය විසින් තහනම් කරනු ලැබීය.

එම තීරණය සඳහා විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට,සහ එම තහනම ඉවත් කර ගන්නා ලෙස රජයට බලකරමින්, අද දින සියලුම දිස්ත්‍රික් ධීවර කාර්යාල ඉදිරිපිටදී දිස්ත්‍රික් මට්ටමින් උද්ඝෝෂණ මාලාවක් පවත්වනු ලබන අතර එයට සමගාමීව අද දින පෙරවරු 9.00 ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අඛණ්ඩ උපවාසයක්ද ආරම්භ කර ඇත.
මීගමුවේදී පැවැත්වුණු මෙම මාදැල් ධීවර උද්ඝෝෂණය සඳහා 300 ක පමණ පිරිසක් සහභාගි වුහ.
විශේෂයෙන්ම මීගමුව ප්‍රදේශයේ ස්ථාපිත මාදැල් ධීවර සමිති සමාගම්වල නියෝජිතයින් සහ වෘත්තියෙන් මාදැල් ධීවර කර්මාන්තයේ නිරතවන්නන් වැඩි පිරිසක් මෙම උද්ඝෝෂණය සඳහා සහභාගි වී සිටිනු දක්නට ලැබිණි.
ඡායාරූප .- රේමන් අපොන්සු












