කොච්චිකඩේ, ග්‍රාමයන් කිහිපයකට බලපෑ විදුලිය විසන්ධි වීම , යළි යථා තත්ත්වයට. …..
පැය 42 ක් පමණ කාලයක් ගත වූ පසු මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ ග්‍රාමයන් කිහිපයකට විසන්ධි වී තිබූ විදුලිය අද (11/03/2026) දහවල් 11.30 පමණ වන විට යථා තත්ත්වයට පත් වී තිබේ. කොච්චිකඩේ ප්‍රදේශයේ පල්ලන්සේන, දූවන, පෝරුතොට, පලඟතුරේ සහ කම්මල්තොට ආදී ග්‍රාමයන් කිහිපයකටම පෙරේදා එනම් පසුගිය 09 දා (09/03/2026) සවස 6.00 ට පමණ විදුලිය විසන්ධි වී තිබිණි. එදින පටන් පුරා පැය 42 ක් වැනි දීර්ඝ කාලයක් අඛණ්ඩව මෙම ප්‍රදේශවලට විදුලිය ලබාදීමක් සිදු නොවුනු අතර විදුලිය විසන්ධි වීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා විදුලි බල සේවකයන් කිසිවෙකු හෝ උත්සුක වූයේ නැත.
මේ තත්ත්වය නිසාම මේ ප්‍රදේශවල වෙසෙන 400 කට අධික ජන පිරිසක් ඊයේ සවස (10/03/2026) කොච්චිකඩේ පොලිසිය ඉදිරිපිට සහ ඒ ආසන්නව ඇති කටාන විදුලි බල මණ්ඩල සේවා මධ්‍යස්ථානය ඉදිරිපිට පැමිණ සිය විරෝධත්වය ප්‍රකාශ කළහ.
එලෙසම එහිදී වාර්තාා වූයේ විදුලි සේවාව රජය විසින් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති හෙයින් එම ස්ථානයේ විරෝධතාවයේ යෙදුණු පුද්ගලයින් පිරිසක් විදුලිය විසන්ධි වීම සම්බන්ධව සහ එය අලුත් වැඩියා නොකොට විදුලි සේවාව අඛණ්ඩව ලබාදීමට කටයුතු නොකිරීමට එරෙහිව කොච්චිකඩේ පොලිස් ස්ථානයට පැමිණිල්ලක්ද යොමු කර තිබේ.
වැඩිදුරටත් වාර්තාවන පරිදි එලෙස අඛණ්ඩව මේ පිළිබඳව ලැබෙමින් පැවතුණු මහජන පැමිණිලි සහ ජනතාවගේ විරෝධතාවයන් නිසා, මීගමුව භාර පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ අවධානයට මෙම ගැටළුව යොමු වී තිබෙන අතර කොච්චිකඩේ පොලිසියද ඒ සඳහා මැදිහත්ව ඇති බව දැන ගන්නට ලැබුණි.
ඒ අනුව අද දහවල් 11.30 ට පමණ මීගමුව පොලිස් අධිකාරි කාරයාලයේ විශේෂ මැදිහත් වීමක් මත විදුලි සේවකයන් කීහිප දෙනෙකු පැමිණ කොච්චිකඩේ ප්‍රදේශයේ ග්‍රාම කීහිපයකට පුරා පැය 42 කට අධික කාලයක් විසන්ධි වී තිබූ එම විදුලි සබඳතාවයන් නැවත යථා තත්ත්වයට පත් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වුණි.
මේ පිළිබඳව කළ සොයා බැලීමේදී දැන ගන්නට ලැබුණේ පසුගිය 09 වැනි දිනයෙන් පසු වර්තමාන ජන බලවේග රජය විසින් ලංකාව විදුලි බල මණ්ඩලය ( ලංවිම ) අහෝසි කර එම සියලු කාර්යයන් සිදු කිරීම ආයතන කිහිපයක් යටතේ සිදුකිරීමට රජය විසින් පියවර ගෙනන තිබිණි. ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති බහුතරයක් රජයට ඉල්ලීම් කිහිපයක් සපුරා දෙන ලෙස ඉල්ලීම් කර තිබිණි.
එහෙත් රජය විසින් ඒ කිසිදු ඉල්ලීමකට සංවේදී නොවී අත්තනෝමතිකව සහ හිතුවක්කාරී ලෙස ලංකා බල මණ්ඩලය අහෝසි කර ආයතන කිහිපයක් ස්ථාපිත කර එම සියලු කාර්යයන් හා සේවාවන් අලුතින් ස්ථාපිත කළ එකී ආයතන වලට පැවරීම හේතුවෙන් ඒ සඳහා සිය විරුද්ධත්වය ප්‍රකාශ කිරීම සඳහා විදුලි සේවකයන් සියලු හදිසි කාර්යයන්ගෙන් ඉවත්වීමට එම වෘත්තිය සමිති තීරණය කර තිබණි එම වෘත්තිය සමිතිවල තීරණය අනුව හදිසි විදුලිය බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා විදුලි සේවකයන් ක්‍රියාත්මක නොවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ ග්‍රාමයන් කිහිපයකට මේ තත්ත්වය උදාවී ඇති බව විදුලි සේවකයෙක් වැඩිදුරටත් අප හා පැවසීය.
මෙම තත්ත්වය නිසා පසුගිය දින 02 ක පමණ කාලයක් තුල දැඩි ලෙස අසරණභාවයටත් අසීරු තාවයටත් එලෙසම දැඩි දුෂ්කරතාවයටත් පත්ව තිබුණේ අහිංසක ජනතාව බවයි. එමෙන්ම මේ පිළිබඳව වැඩිදුරටත් වාර්තා වන්නේ රජය සහ එම වර්ජනයේ නිරත විදුලි සේවකයන් අතර ඇති වූ සාකච්ඡාවන්ද මේ වනවිටත් අසාර්ථක තත්ත්වයට පත්ව ඇති බවයි.












