- මීගමුව මහ නගර සභාවේ මාර්තු මාසයට අදාළ මහ සභා රැස්වීම පසුගිය 10 වැනි දින;(10/03/2026) පෙරවරුවේදී, නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
එහිදී කර්මාන්ත කාරක සභාවේ සභාපති,, සංගීත් පෙරේරා ( ජනබලවේග) නාගරික මන්ත්‍රීවරයා විසින් සභාවට යෝජනාවක් ඉදිරිපත් කළේය.
එම යෝජනාව වන්නේ ,මීගමුව මහා නගර සභාවේ පාලනය යටතේ පවතින මීගමුව සරච්චන්ද්‍ර ගුණරත්න ( කඩොල් කැලේ ) ක්‍රීඩාංගනය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය හා එක්ව ලෝක පාපන්දු සම්මේලනය ඉදිකිරීමට යෝජිත ජාත්‍යන්තර මට්ටමේ කුඩා ගෘහස්ථ පාපන්දු ක්‍රීඩාංගනයක් (Mini Football Pitch) ඉදිකිරීම සඳහා පර්චස් 80-90 ක් කොටසක් වෙන්කර දීය යුතු බවට යෝජනා කරන බවය.
එමෙන්ම එම යෝජනාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ එලෙස එය වෙන්කරදීමෙන් අනතුරුව පාසල් ළමුන් සඳහා සහ අඩු පහසුකම් ඇති ක්‍රීඩකයන්ට නොමිලේ ලබා දීමටත් යෝජනා වී ඇති හෙයින් මෙම ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීමට මීගමුව මහා නගර සභාවට හැකියාව පවතින බැවින්ද ඒ අනුව මෙම ඉඩම ,ක්‍රීඩා භූමියක් ලෙස සංවර්ධනය කර ,මහා නගර සභාව යටතේ කළමනාකරණය හා පාලනය යටතේ පවත්වා ගෙන යාමට එවකට මහ කොළඹ ආර්ථික කොමිසම් සභාව භුක්තිය ලබාදීමට එකඟතාව පලකර ඇති බැවින් ,එම එකඟතාවය පදනම් කරගෙන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප්‍රදානය පිළිගැනීමටත්, ඉදිරියේදී ඉඩමේ අයිතිය මීගමුව මහා නගර සභාවට විධිමත් අයුරින් ලබා ගැනීමෙන් පසු එකී කුඩා ගෘහස්ථ පාපන්දු ක්‍රීඩාංගනය ඉදිකිරීම සඳහා විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීමටත් විධිමත් ලෙස අදාළ ආයතන සමඟ ගිවිසුම් ගත වීමටද කටයුතු කළ යුතු යැයි එහි වැඩිදුරටත් සඳහන් වේ.
මෙම යෝජනාව ඉදිරිපත් කරමින් සංගීත් පෙරේරා නාගරික මන්තිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මීගමුවට ලැබීමට නියමිත මෙම ප්‍රදානය තුළින් ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයටද මෙයින් වාසි සහගත තත්ත්වයක් උදාවන බවයි. එලෙසම මීගමුව ක්‍රීඩා ක්ෂේත්‍රය නඟා සිටුවීමට මේ නිසා මහත් රුකුලක් සැලසෙන බවද ඔහු පැවසීය. එලෙසම ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ මේ සඳහා කිසිම මුදලක් මීගමුව මහා නගර සභාවට වැය නොවන අතර මෙහි ඉදිකිරීමේ කටයුතු සියල්ලක්ම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ඇරයුමින් ලෝක පාපන්දු සම්මේලනය විසින් සිදු කරන බවයි .
එනිසා මෙම යෝජනාව සභාවේ පක්ෂ විපක්ෂ සියළුම මන්ත්‍රීවරුන් එක්ව ඒකමතිකව සම්මත කරගෙන මීගමුවට ලැබුණු මෙම අනගි අවස්ථාව පැහැර නො හරින ලෙසද ඔහු සභාවේ සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක්ද කළේය.
මෙම යෝජනාව ඉතා හොඳ යෝජනාවක් සහ කාලෝචිත යෝජනාවක් බවට ආණ්ඩු පක්ෂයේ බොහෝ නාගරික මන්ත්‍රීවරුන් අදහස් දැක්වූහ.
එලෙසම ස්වාධීන මන්ත්‍රීවරුන් දෙදෙනෙකුද එම යෝජනාවට පක්ෂව අදහස් දැක්වූහ.
එහෙත් මෙම යෝජනාව සම්බන්ධව අදහස් පල කළ මීගමුව මහා නගර සභාවේ ප්‍රධාන විපක්ෂ කණ්ඩායම වන සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම ප්‍රකාශ කළේ මෙම යෝජනාව ඉතා හොඳ සහ කාලෝචිත යෝජනාවක් වුවත් මෙයින් මතුවන නෛතික තත්ත්වය හමුවේ මෙම යෝජනාවට විපක්ෂව කටයුතු කිරීමට සිදුවන බවයි.
මෙහිදී විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේග පක්ෂයේ කණ්ඩායම් නායිකා දිළිනි ජයගොඩි නාගරික මන්ත්‍රීවරිය ප්‍රකාශ කළේ කඩොල් කැලේ ක්‍රීඩාංගනය මීගමුව මහා නගර සභාව භුක්ති වින්දත් එහි අයිතිය මීගමුව මහා නගර සභාවට නොමැති බවයි.
එලෙස මීගමුව නිත්‍යානුකූලව අයිතියක් නොමැති භූමියක් පාපන්දු සම්මේලනයට පවරාදීමට මීගමුව මහා නගර සභාවට බලයක් නොමැති බවත් ,එසේ පවරා දුනහොත් එය නීති විරෝධී කටයුත්තක් බවද ඇය එහිදී අවධාරණය කළාය. එලෙසම ඇය වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කළේ තොරතුරු දැනගැනීමේ අයිතිය ප්‍රකාරව මීගමුව මහා නගර සභාවෙන් මේ පිළිබඳව ලිඛිතව විමසූ අවස්ථාවේදී, මීගමුව මහා නගර සභාව විසින්ද එම තොරතුරු දැන ගැනීමේ අයිතිය ප්‍රකාරව මෙම කඩොල්කැලේ ක්‍රීඩාංගන භූමියේ නීත්‍යානුකූල අයිතියක් මීගමුව මහා නගර සභාවට නොමැති බවද ලිඛිතව සඳහන් කර බව පැවසීය.
එසේ හෙයින් නීත්‍යානුකූලව අයිතියක් නැති භූමි කොටසක් තවත් පාර්ශවයකට පවරා දෙන්නේ කෙසේදැයි ඇය එහිදී ප්‍රශ්න කලාය. එලෙසම ඇය ප්‍රකාශ කරන්නේ අනාගතයේ මෙය විශාල වරදක් වීමටද ඉඩ ඇති බවයි
මේ පිළිබඳව විපක්ෂයේ ( සජබ ) මොහොමඩ් නුස්රි නාගරික මන්ත්‍රීවරයාද අදහස් පල කළ අතර ඔහුද ප්‍රකාශ කරන්නේ මෙලෙස මෙය පවරාදීම නීත්‍යනුකූල නොවන ක්‍රියාවක් බවයි. තමන් භුක්ති වින්දත් එහි නිත්‍යානුකූල අයිතියක් නොමැති නම් එය තවත් පාර්ශවයකට පවරා දෙන්නේ කෙසේදැයි ඔහුද ප්‍රශ්න කර සිටි. ඔහුද එය හඳුන්වන්නේ නීති විරෝධී කටයුත්තක් බවයි. ඒ නිසා ඔහුද ප්‍රකාශ කලේ යෝජනාව කෙතරම් යහපත් වුවත් එහි ඇති නෛතික ප්‍රශ්නය නිසා එය සම්මත කර ගැනීමට සහාය ලබාදිය නොහැකි බවයි.
ඒ අනුව එහිදී අදහස් පළ කළ සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරුන් මෙම යෝජනාව සම්බන්ධව මහා සභාවේ බෙදීමක් ( ඡන්ද විමසීමක් ) අවශ්‍ය බව ප්‍රකාශ කළහ
නගරාධිපති රොබට් හින්කෙන්ද මහතා පැවසුවේ මෙය මීගමුවට ලැබුණු අනගි අවස්ථාවක් බවයි. ඔහුද ප්‍රකාශ කරන්නේ මෙම කඩොල් කැලේ ක්‍රීඩාංගණය මහා කොළඹ ආර්ථික කොමිසම මගින් මීගමුව මහා නගර සභාවට ලබා දී ඇති බවත්, එය භුක්ති විදින්නේ මීගමුව මහා නගර සභාව බවත්, එය ක්‍රීඩා කටයුතු මෙන්ම මෙන්ම සැණකෙළි සඳහා සහ වෙනත් කටයුතු වෙනුවෙන් ද වෙනත් පාර්ශවයන්ට බදු දෙන්නේ ද එලෙසම එම බදු මුදල් ලබා ගන්නේද මීගමුව මහා නගර සභාවෙන් බවත්, එලෙසම එහි සියලුම ඉදිකිරීම් සිදු කරන්නේ මීගමුව මහා නගර සභාවෙන් බවත් ඔහු පැවසීය. එලෙසම ඔහු අවධාරණය කළේ මෙම කඩොල් කැලේ ක්‍රීඩාංගනය ඉදිකර ඇති එම ඉඩම ඉතාම නුදුරේදීම මහා කොළඹ ආර්ථික කොමිසම හෙවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් (BOI) නීත්‍යානුකූලව එහි අයිතිය ලබා ගැනීමටද මේ වන විටත් කටයුතු කරගෙන යන බවයි. ඒ සඳහා එම ආයතනය මිලක් නියම කර ඇති බවත්, එම මිල පිළිබඳව සාකච්ඡා මට්ටමක පවතින බවත් නගරාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.
එනිසා මෙම යෝජනාව පක්ෂ විපක්ෂ සියලු නාගරික මන්ත්‍රීවරුන්ගේ සහයෙන් ඒකමතිකව සම්මත කර ගත යුතු බවට නගරාධිපතිවරයා විසින් ද මෙහිදී යෝජනා කළේය.
එහෙත් විපක්ෂ මන්ත්‍රීවරුන් (සජබ) මෙහිදී බෙදීමක් හෙවත් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඉන්පසු මෙම යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්විණි.
එහිදී මෙම යෝජනාවට
පක්ෂව ඡන්ද 35 ක්ද , යෝජනාවට විරුද්ධව හෙවත් විපක්ෂව ඡන්ද 05 ක්ද ලැබුණු අතර ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ නාගරික මන්ත්‍රීවරුන් 05 දෙනෙකු සභා ගර්භයේ නොසිටි අතර තවත් නාගරික මන්ත්‍රීවරුන් 04 දෙනකු එදින මහා සභා රැස්වීමට පැමිණ තිබුණේ නැත.
මේ අනුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා විසින් මෙම යෝජනාව වැඩි ඡන්ද 30 කින් සභා සම්මත වූ බවට නිවේදනය කළේය.
මහා සභා රැස්වීමෙන් අනතුරුව මේ සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන් වන දිළිනි ජයකොඩි සහ මොහොමඩ් නුස්රි යන දෙදෙනා ප්‍රකාශ කළේ මෙම යෝජනාව කෙතරම් යහපත් හා කාලෝචිත යෝජනාවක් වුවත් මෙහි ඇති නෛතික තත්ත්වය නිසා මෙය සම්මත කිරීමට සහාය ලබාදිය නොහැකි බවයි. ඔවුන් දෙදෙනාම අවධාරණය කළේ මීගමු මහ නගර සභාව විසින් පළමුවෙන්ම සිදු කළ යුත්තේ කඩොල්කැලේ භූමියේ අයිතිය නිත්‍යානුකූලව මීගමුව මහා නගර සභාවට පවරා ගැනීමට කටයුතු කල යුතු බවයි.
ඉන්පසුව මෙවැනි යෝජනා පිළිබඳව සලකා බැලිය හැකි බවද ඔවුන්ගේ අදහසයි













