චෙල්වන්ගේ කෘති පිලිබඳ ගැටළුව සහ ජාතික ජනබලවේගය..

0
19

ඉතා පහසුවෙන් විඳිය හැකි, විසඳිය යුතු ගැටළු දැවැන්ත අර්බුධ බවට පත් කරගැනීම සම්බන්ධයෙන් ජාජබ ආණ්ඩුව දක්වන සමත්කම විස්මිත ය.

දැනගන්නට ලැබී ඇති පරිදි රේගුව විසින් රඳවාගනු ලැබ ඇති දීප චෙල්වන්ගේ කෘති පිලිබඳ ගැටළුව තවමත් විසඳී නැත. නිර්මමාණකරුවකුගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සම්බන්ධයෙයන් මෙවන් බාධා පැමිණවීම දියුණු සමාජයක් වෙනුවෙන් දේශපාලන වේදිකාවන්හී දැවැන්ත දේශනා පැවැත්වූ ආණ්ඩුවකට තරම් නොවේ. නිලධාරීන් විසින රඳවාගනු ලැබූවද එවන් විටක ගත යුතු වේගී ක්‍රියාමාර්ග ගැනීමට එකී නිලධාරී යන්ත්‍රයම කටයුතු කිරීමත් එසේ නොවන විටක එහි බරපතලකම වටහා ගනිමින් අදාල දේශපාලන බලධාරීන් මැදිහත්වීමත් අවශ්‍යය. නමුදු පවත්නා තත්වය ව්‍යංගයෙන් පවසන්නේ එවන් කිසිවක් සිදු නොවූ බවද?

අනුර හට දෙමල සමාජයෙන් ලැබෙන ඉහල පිලිගැනීම ආකර්ශණයෙන් උත්කර්ශයට නංවන දකුණට දෙමල සමාජයේ අදහස් ප්‍රකාශනයට මෙලෙස බාධා එල්ලවීම නොපෙනන අයුර ඉතා කනගාටුදායකය.

අදහස් ප්‍රකාශනයට ඇති අයිතිය යනු සංවාද තලයේ විසඳාගත යුත්තකි. මම දීප චෙල්වන්ගේ ඇතැම් කෘතිවල සිංහල පරිවර්තන කියවා ඇත්තෙමි. දීප යනු ප්‍රතිභාසම්පන්න නිර්මාණකරුවෙකි. ඔහුගේ කෘති කියවූ සැලකිය යුතු පිරිසක් සිංහල සමාජයේද සිටිති. අප කළ යුතුව ඇත්තේ දෙමල සමාජයෙන් එන හඩට වඩ වඩා ඉඩ සැලසීම මිස ඒ යටපත් කිරීම නොවේ. වෙසෙසින්ම ජනතා නිදහස සහ අදහස් පල කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටි ආණ්ඩුවක් යටතේ එවන් දෑ සිදු නොවිය යුතුය.

බරපතලම ප්‍රශ්ණය ඇත්තේ සහෝදර නිර්මාණකරුවකුට මෙවන් බාධා එල්ලවීමෙහි නොවේ. එවන් බාධා හමුවෙහි ඊට මැදිහත්විය යුතු බලධාරීන් සහ දේශපාලන අධිකාරිය කල්මැරීමය. බහුතරයක් අනෙක් නිර්මාණකරුවන්ද එය සාමාන්‍ය දෙයක් සේ සලකා නිහඩව සිටීමය.

ජන ඝාතක මිසයිල ගුවනේ සරනා ලෝකයක් අපේ පිලිකුලට ලක්විය යුතුය. අප ඊට එරෙහිවිය යුතුය. ඒ අතරම අදහස් ප්කා‍රශනයට ඉඩ නොදී ඒවා මිසයිලවලටත් වඩා බියකරු යයි සලකා වාරණයට ලක් කරනා පසුබිමක් කරා අප ගමන් කරන්නේ නම් එය පිලිකුල් සහගත වනවා පමණක් නොව බිහිසුනුද වන්නේය.

(චුලානන්ද සමරනායක⁣ගේ ෆේස්බුක් පිටුවෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here