මේ ආණ්ඩුවත් වැඩකරන්නේ අන්තවාදින්ට ය⁣⁣ටවෙලාද?

0
45

රේගුව විසින් රඳවාගනු ලැබූ දීපගේ කෘති සම්බන්ධයෙන් තවමත් උත්තරයක් නැත.

දැනගන්නට ඇති පරිදි රඳවාගැනීම සම්බන්ධයෙන් රේගුව විසින් කරන ලද දැනුම්දීම අනුව එසේ රඳවාගැනීමට බලපා ඇති හේතුව වනුයේ එකී කෘති රජයට හා එක්සත්භාවයට හානිදායක වනු ඇතිය යන සැකයයි.
ඒ අනුව ඔවුහු එය නිදහස් කිරීම පිණිස ආරක්ෂක සහ සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ අනුමැතියට යොමු කර ඇත.

මේ සම්බන්ධයෙන් හුවමාරුවන අදහස් අතර විවිධ දෑ පැවසෙයි. අයෙක් එය සන්නිවේදන ගැටළුවක් සේ මතු කරයි. තවෙකෙක් එය සන්නිවේදන ගැටළුවක් ජාතික ප්‍රශ්ණයක් සේ හුවා දක්වන්නට දරන අයුතු තැතක් සේ හුවා දක්වයි.

විදේශයක සිට එන ඕනෑම ප්‍රකාශනයක අන්තර්ගතය පරීක්ෂාකිරීම රේගුවේ කාර්ය බවද අයෙක් අපට මතක් කරති.

මහත්වරුනි, නෝනාවරුනි ඒ සියළු සිහිකැඳවීම් වලට තුති.

ලංකාවට පොත් මුද්‍රණය කර ගෙනෙනුයේ ඉන්දියාවේ සිට පමණක් නොවේ. මා දන්නා පරිදි චීනයේ පවා මුද්‍රණය කර මෙහි පොත් ගෙනෙනු ලබයි. ඊට එක් හේතුවක් වනුයේ ලංකාව තුළ මුද්‍රණ කර්මාන්තයේ ඇති අධික මිල ය. දෙමල පොත් ඉන්දියාවේ මුද්‍රණය කිරීමට ඔවුන්ට බලපානා තවත් විවිධ හේතු තිබේ.

ප්‍රශ්ණය වන්නේ සිංහල කෘතිද මෙසේ වෙනත් රටක මුද්‍රණය කර ගෙනා අවස්ථා තිබියදී ඒවාට එවන් බාධා එල්ල වූ බවට වාර්තා නොමැති වීමයි.

එසේ නම් දෙමල බසින් මුද්‍රණය කරන ලද කෘතියකට මෙසේ වීම?

දෙමල භාෂාව යනු විදෙස් බසක් නොව ලංකාවේ රාජ්‍ය භාෂාවක් බව අප දතයුතුය. මේ බසට නොසැලකිල්ල දැක්වීම මගින් අප කරගත් වින්නැහිය අප සියල්ලම සිහිපත් කරගත යුතුය.

අප ඉන්නේ එවන් දෑ යළි සිදු නොවන බවට කැට තියා සහතික දුන් ආණ්ඩුවක් යටතේ බවත් අප ඒ සමගම සිහිකැඳවාගත යුතුය.

දෙමල බසින් ම්‍රද්‍රිත කෘතියක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ගැනීමට රටේ ප්‍රධාන අමාත්‍යාංශ දෙකකට දවස් ගණනාවක් ගත් වන්නේ නම් සහ ඊට දෙමල බස දන්නා අයගේ හිඟය බලපාන්නේ නම් අප එහිද බරපතල ගැටළුවක් ඇති බව දත යුතුය.

අනෙක් අතින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යනු අපේ මූලිකම අයිතියකි. සාහිත්‍ය කලා කලාපයන්හී මේ අදහස් පල කිරීමේ අයිතිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අපි ඉතිහාසය පුරා අරගල කළෙමු. ඒ නිර්මාණකරුවන්ගේ අයිතියයි. එය දීපගේ පමණක් ප්‍රශ්ණයක් නොව බරපතල ගැටළුවක් බවට දැන් පත් කර ඇත්තේද ලේඛකයන් නොව ආණ්ඩුවමය.

අප අදවන විට ඉන්නේ අදහස් ප්‍රකාශනය පිලිබඳව අතිශය ප්‍රගතිශීලී අදහස් වේදිකා මත පල කළ දේශපාලන ව්‍යාපාරයක් බලය හොබවන සමයකය.

එවන් ආණ්ඩුවක් මෙවන් අවස්ථාවක නිහඩව සිටින්නේ යයි සමාජයට හැඟෙන්නේ නම් එහි වරද ඇත්තේ ආණ්ඩුවේ මිස ජනතාවගේ නොවේ.

ආණ්ඩුව මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතුය. සංස්කෘතික අමාත්‍යාංශය අදහස් ප්‍රකාශනය සම්බන්ධයෙන් තම ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කළ යුතුය. ඒ පැහැදිලි කිරීම මත දීපගේ ගැටළුවද විසඳාලිය යුතුය.

යළිදු කියමි, දෙමල යනු රටේ රාජ්‍ය භාෂාවකි. දීපගේ ප්‍රශ්ණයට හේතුව සන්නිවේදන ගැටළුවක් යයි අප පිලිගන්නේ නම් ඒ සමගම අපට පිලිගන්නට සිදුවන සත්‍යය වන්නේ තවමත් දෙමල බස සිංහල බස හා සමාන තත්වයකින් ලංකාවේ සන්නිවේදනයේ නොපවතින බවයි. එය සත්‍යයකි. දෙමළ භාෂාව දන්නා අය රාජ්‍ය සේවයෙහි සිටින්නේ අල්පයකි. මේ ගැටළුවට ඇති අතුරු විසඳුමක් වන දෙමල භාෂා පරිවර්තකයන් රාජ්‍ය සේවය තුළ ඇත්තේද ඉතා අඩුවෙන් බව ද ඒ හා සමාන සත්‍යයකි. ඒ තත්වයනට පසුගිය පාලයන් සියල්ලම වගකිව යුතු බවද සත්‍යයකි.

එහෙත් ඒ කිසිවකින් මේ ආණ්ඩුවට ගැලවිය නොහැකිය. ඒ ඔවුන් ආවේ මීට විසඳුම් දෙන්නට හෙයිනි. ඒ සඳහා කාලයක් ගතවන බව අපි දනිමු. එහෙත් ඒ සඳහා වන නිර්භයභාවය සහ කැපවීම අපට දැනිය යුතුය. අවංකබව අපට ඒත්තු යා යුතුය. මතුව ඇති ගැටළුව වැනි තත්වයක් යටතේ පවා පවතින්නේ මෙවන් කල් මරන ඇල්මැරුණු ස්වභාවයක් නම් එහි වගකීම ඇත්තේද ආණ්ඩුවටමය.
මුග්ධ නිහැඬියාව තරම් පිලිකුල් සහගත තවත් දෙයක් නැත.

මෑතදී බලයට ආ නව නේපාල ආණ්ඩුව පළමුවෙන්ම කළ නිර්භය ප්‍රකාශයක් තිබේ. ඒ මෙතෙක් අසාධාරණයට ලක්වූ දලිත්වරුන්ගෙන් ආණ්ඩුවක් ලෙස නිල සමාව ඉල්වීමක් කරනා බවයි. (දැන් දලිත් සහ දෙමල සසඳන්නට නොයන්න.) ඒ ආණ්ඩුවකට පෙන්විය හැකි නිර්භය කමට උදාහරණයකි.

ජනතාව මේ ආණ්ඩුවට පැහැදිලි බලයක් දුන්නෝය. ඒ වැඩ කරන්නටය. එසේම අන්තවාදීන්ට යට නොවී වැඩ කරන්නටය. දැන් බෝලය ඇත්තේ ආණ්ඩුව පැත්තේය. ආණ්ඩුව එය වටහාගත යුතුය.

(චුලානන්ද සමරනායකගේ ෆේස්බුක් පිටුවෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here