පාසැල් දරුවන් විඳවන ප්‍රශ්ණ.-ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා.

0
79

පාසල් දරුවන් අත්විඳින බරපතල ප්‍රශ්ණ ගැන පහත සටහන ලියන්නට මා පොලඹවන ලැඹුවේ පසු ගිය දින කීපයක් තුල මම මුණගැහුණ සිදුවීම් කීපයකි. මෙම තේමාව ගැන මම සටහනක් තබන පළමු අවස්ථාවයි මේ. මෙම සටහනේ කියවෙන කරුණු පිලිබදව අපි වහාම සංවේදී නොවුනොත් අනාගත ලංකාව නිසැකවම පා තබනුයේ අඳුරු යුගයකටය.

ශ්‍රී ලංකාව තුල පාසල් දරුවන් අත් විඳින බරපතල ප්‍රශ්ණ රාශියකි. ඒවා පිලිබදව වැඩිහිටි සමාජය විසින් ප්‍රමාණවත් ලෙස සහ ගුණාත්මක ලෙස සාකච්ඡාවට නොගැනීම සහ සංවේදී නොවීම, ඔවුන් මත පැවරෙන එක් වගකීමක් පැහැර හැරීමක් යයි සැලකිය හැකිය. මා හිතන ආකාරයට විදුහල් පතිවරු, ගුරුවරු, පුජක පැවිදි පක්ෂය, මනෝ විද්‍යාඥයින් මෙම කාර්ය ඉටු කලයුතු යයි මට සිතේ. ප්‍රශ්ණය ඉතා බරපතල බව විවිධ ජන මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත්තේ බොහෝ කලක සිටය. අවසානයේදී සියලු ආණ්ඩුව තමන්ගේ වගකීම පහර හැර තිබේ.

දරුවන් මුහුණපාන ප්‍රශ්ණ කීපයක්

පාසල් දරුවන් මුහුණපාන ප්‍රශ්ණ විවිධය. මට මුණ ගැසී ඇති ප්‍රශ්න කීපයක් මෙහි සදහන් කල හැකිය. එකක් නම් දරුවන්ගේ මානසික ආතතිය ඉහල මට්ටමක පැවතීමයි. විභාග වලට තිබෙන බිය, ඉගෙනීමට දෙමාපියන් ඇතිකරන තෙරපීම, අමතර ටියුෂන් පංති නිසා දරුවන්ට ඇතිවන අධික මහන්සිය සහ අවිවේකය, පවුල තුල තිබෙන ආර්ථික තත්වයන් සහ අනාගතය පිලිබදව පවතින අවිනිශ්චිත බව මීට හේතු විය හැක. මේ නිසා දරුවන් අධික දුක් වේදනාවන්ගෙන් බොහෝ විට නිහඩව පීඩා විදිති. මේ නිසාම දරුවන් දිවි හානි කරගන්නා අවසථාද අපි අසා ඇත්තෙමු.

තවත් ප්‍රශ්නයක් නම්, පාසල් දරුවන් අතර විශාල සංක්‍යායාවක් මත්පැන් වලට සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වර්ධනය වෙමින් තිබීමයි. මේ නිසා දරුවන් පාසැල් අධ්‍යාපනය අත හැර යන අතර ඔවුන්ගේ සෞක්‍ය ප්‍රශ්ණ වැඩිවී ඇත.

විභාග අවසානයේදී, පාසල් තරග පැවැත්වෙන විටදී ප්‍රචන්ඩ ක්‍රියාවන්වල යෙදෙන පාසල් දරුවන් ගැන කෙරෙන වාර්තා අපි අසා කියවා ඇත්තෙමු. එමෙන්ම විනය බාරව සිටින ගුරුවරුන්ට පවා එරෙහිව ප්‍රචණ්ඩකාරී ලෙස ප්‍රතිචාර දක්වන අවස්ථා අසන්නට ලැබීම ඉතාමත් කනගාටු දායකය.

ගැහැණු පාසල් දරුවන් අතර ගැබ් ගැනීම් අද නිතර වාර්තා වේ. ඒ නිසාම ඔවුන් සුදානමක් නොමැතිව, අඩු වයසින් සහ බලෙන් මෙන් විවාහයට ඇතුල්වීමට සිදුවේ. නමුත්, එම විවාහ වැඩි කලක් පවතින්නේද නැත. අවසානයෙදී ඔවුන්ගේ ජීවිත අනාථ වේ. තවද පාසල් දරුවන් අතර සමාජ රෝගද වැඩි වෙමින් පවතී. බොහෝවිට මෙට හේතුව හුදු හැගීම් මත ඇතිවන “ප්‍රේම සම්බන්ධතා” විය හැක.

ඒ නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩා කප්පල් කර ගන්න අවස්ථා එමටය. තවද එවැනි තත්වයන් නිසා පාසල ඇතුලදී මෙන්ම මග තොටේදී දරුවන් අතර නිතර රන්ඩු දබර පවා ඇති කර ගනිති.

පාසල් අධ්‍යාපනය තුල දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් නිසිලෙස සිදු නොවේ. ඒ සදහා අවශ්ය පුහුණු ගුරුවරු පාසල තුල නොමැත. දෙමාපියන් මෙම මාතෘකාව මග හරිති. එමෙන්ම යහපත් අයහපත් සම්බන්ධතා, පරිණතවීම, පෞර්ෂ වර්ධනය ගැන ඉගෙනීමට අවස්ථාවක් දරුවන්ට නැත. ඒ නිසා ජීවිත වර්ධනය සදහා අවශ්‍ය පූර්ණ ඉගෙනුම ඔවුන්ට අහිමිව තිබේ.
නමුත් ස්වභාවිකව දරුවන් තුල තිබෙන කුතුහලය නිසා දරුවන් බොහෝ විට ලබා ගන්නේ අන්තර් ජාලයෙන් හෝ වැරදි පුද්ගලයන්ගෙන් ඇසබි තොරතුරුය. ඒ නිසා දරුවන්ට සිදුවන හානිය අතිශයින් භයානකය. දරුවන්ගේ මනස අවුල් වේ. සමහර දරුවන්ව ලිංගික සුරාකෑමට ලක් වේ.

තවත් අණතුරක් නම් දරුවන් අද දුර්වල සමාජ මාධ්‍ය භාවිතයට හුරුවෙමින් යති. අන්තර් ජාලය භාවිතය ගැන ඔවුන්ට කිසිම මග පෙන්වීමක් නැත. එම නිසා විකුර්ති තොරතුරු ඔවුන් අතට පත් වෙමින් පවතී. ඉහත හේතුන් මත දරුවන් පාසල හැර යාමේ සංක්‍යාව වැඩිවීමක් දකින්නට තිබේ. ඔවුන්ට රැකියාවන් නැත. දරිද්‍රතාවය වැඩිවේ. අනාගතය අවිනිශ්චිතය. එවැන්නන් මතට ඇබ්බැහිවේ.

බොහෝ විට දරුවන් සමාජ ජීවිතයට හුරුවක් නොලබයි. ආවේගයන් හසුරුවා ගැනීමට තිබෙන හැකියාව පවතින්නේ ඉතාමත් පහල මට්ටමකය. ළමුන් හුරුවන්නේ අධ්‍යාපානයේ තිබෙන තරග කාරිත්වයට මුහුණ දීමටය. මෙහි බලපෑම දරුවන් ආත්මාර්ථකාමී ජීවිතයකට පුරුදු වීමයි. සමාජ වගකීම හදුනන්නේ නැත.

යහපත් මානව සම්බන්ධතා පවත්වා ගැනීමේ අවශ්‍යතාවය සහ එහිදී තිබිය යුතු සීමාවන්, ආවේගයන් සහ හැගීම් හැසිරවීම පිළිබදවත් අවබෝධයක් දරුවන්ට ලැබෙන්නෙ නැත.

ගුරු වෘත්තිය අප රට තුල ඉතාමත් ගෞරවයෙන් සලකනු ලබන වෘත්තියකි. නමුත් ගුරු විනය අද පහල වැටෙමින් පවතින බවත් වාර්තා වෙමින් තිබේ. ගුරුවරු තම වෘත්තීය වගකීම් ඉටුනොකරන අවස්ථා අපි දැක ඇත්තෙමු. ඒ බව දරුවන් ද දනිති. ඊටත් වඩා ගුරුවරු විසින්ම පාසල් දරුවන් වරදට පොලඹවන අවස්ථා ද, ගුරුවරු සිසු සිසුවියන් සමග අනියම් සම්බන්ධතා පවත්වාගෙන යන අවස්ථා සහ පාසල් දරුවන්ව ලිංගික අතවරයන්ට ලක් කල අවස්ථා පිලිබදව සමාජ මාධ්‍යවල වාර්ථා වී තිබේ.

සමාජ වගකීම.

සියලු පාසල් දරුවන් මෙවැනි අනතුරු දායක තත්වයකට පත්ව නැත. තමන්ගේ අධ්යාපණ කටයුතු කරගෙන යති. සියලුම ගුරුවරුන්ට චෝදනා කල නොහැක. තමන්ගේ වෘත්තියට විශ්වාසවන්තව සේවය අකුරට ඉටුකරන ගුරු භවතුන් අපි දනිමු.
නමුත් යම් ගැහැණු පිරිමි සිසුන් කොටසක් විශාල අනතුරකට දැනටම පත්ව තිබේ. ඒ නිසා, මුළු අනාගත ලංකාව අනතුරුදායක තත්වයක දොරකඩට ලංවී තිබේ. ඒ ගැන වැඩිහිටි සමාජයට නිහඩව සිටිය නොහැක. පළමු පියවර වශයෙන් මේ ගැන සංවාදයක් ජාතික තලය තුල ආරම්භ විය යුතුය. ආණ්ඩුවට පැවරෙන වගකීමට වගකිව යුත්තන් ද අවධි කල යුතුවේ.

සරත් ඉද්දමල්ගොඩ පියතුමා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here