දෙමළ තරුණ තරුණියො අවි ආයුධ වෙනුවට සංගීත භාණ්ඩ අතට ගන්න එක නරක ද?’

0
187

පොංගු තමිල් උළෙලට අවස්ථා කීපයක දී සහභාගී වී ඇත්තෙමි.

රාජ්‍ය නිලධාරියෙකු ලෙස, මා ඊට සහභාගී වීම ගැන කොළඹ ඉංගිරිසි පත්තරයක නෝක්කාඩු ස්වරයෙන් විවේචනාත්මක අදහසක් ද පළ කර තිබිණි.

2002 වසරේ යාපනයේ හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ එය පැවැත්වූ අවස්ථාවේ ද මම ඊට සහභාගී වීමි. ඒ වෙලාවේ එහි ඉදිරිපත් කළ සංස්කෘතික අංග සඳහා වැඩි දායකත්වයක් සැපයූයේ තියටර් ඇක්ෂන් ගෲප් සංවිධානය යි. එය මෙහෙයවූයේ මගේ මිත්‍රයකු වූ යාපනය සරසවියේ මහාචාර්ය සිදම්බරනාදන් ය. පසු කලෙක යාපනයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ පද්මිණී සිදම්බරනාදන්ගේ සැමියා යි.

වරෙක මමත්, ජයතිලක බණ්ඩාරත් ඔවුන් ගේ ගෙදර මැද මිදුලේ බිම හිඳගෙන පද්මිණීත්, සිදම්ගේ ගෝල බලයිනුත් සමග රෑ මැදියම තෙක් සිංදු කී අවස්ථා තාමත් මතකය රසවත් කරයි.

2002 පොංගු තමිල් පැවැත්වෙන අවස්ථාවේ උතුරේ ආඥාපති ලෙස සේවය කළේ සරත් ෆොන්සේකා ය. එවක ඔහු මේජර් ජෙනරාල්වරයෙකි. මගේ වැඩිහිටි මිත්‍රයෙකි.

මම යාපනයට එන වග ආරංචි වූ ඔහු කීවේ එක් රාත්‍රියක් හෝ ගත කිරීමට පලාලි කඳවුරට පැමිණෙන ලෙස ය.

එදා රාත්‍රියේ නිස්කලංකේ මධු විතකින් උණුසුම් වෙන අතරේ සරත් අයියා මට ප්‍රශ්නයක් යොමු කළේ ය.

‘ඔයා රජයේ නිලධාරියෙක් හැටියට පොංගු තමිල් වගේ උත්සවයකට සහභාගී වෙන එක හොඳද?’

මම සරත් අයියාගෙන් පෙරළා ප්‍රශ්නයක් ඇසීමි.

‘දෙමළ තරුණ තරුණියො අවි ආයුධ වෙනුවට සංගීත භාණ්ඩ අතට ගන්න එක නරක ද?’

පොංගු තමිල් උත්සවයන්ට මා සහභාගී වීම ගැන කොළඹ සහ යාපනයේ පත්තර මගෙන් විමසූ විට මා අවධාරණය කළේ ද ඒ කරුණ ම ය.

‘දෙමළ තරුණ තරුණියන් අවි ආයුධ වෙනුවට සංගීත භාණ්ඩ අතට ගන්න කොට මම මගෙ අත් දෙක ම උස්සලා සහය දක්වනවා.’

මේ සමග ඇති පින්තූරය ද ඔය ආ ගිය ගමනක දී තමිල් චෙල්වන් හමු වූ වෙලාවක ගත් එකකි.

‘තරුණ තරුණියො අවි ආයුධ වෙනුවට පෑන, පින්සල, සංගීත භාණ්ඩ අතට ගන්නවට මම පක්‍ෂ යි. මම ඒ වෙනුවෙන් ඕනෑ තැනක, ඕනෑ වෙලාවක පෙනී ඉන්නවා.’
මම චෙල්වන් අන්නාටත් අවස්ථා කීපයක දී කියා ඇත්තෙමි.

දීපචෙල්වන් සම්බන්ධයෙන් ද මා දරන්නේ ඒ මතය ම ය.

ඔහු අවි ආයුධ අතට නොගෙන පෑන අතට ගැනීම වෙනුවෙන් පෙනී සිටිමි.

සමන් අතාවුදහෙට්ටි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here