දශක 05 කට වැඩි කාලයක සිට මීගමුව, කටාන සහ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ සිරස පෞද්ගලික රූපවාහිනී සේවාවේ මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළ බී.රංජිත් ෆර්ඩිනැන්ඩස් මහතා අද දින (01/06/2026) උදෑසනදී කටාන, හල්පේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මියගොස් තිබේ.
දින කිහිපයක පටන් රෝගාතුරුව සිටි ඒ මහතා, පසුගිය මාස කිහිපය පුරාවටම සිය මාධ්‍ය කටයුතු වලින් බැහැරව ,සිය රෝගී තත්ත්වයන් නිසාවෙන් විවේක සුවයෙන් පසුවීී තිබේ.
1947 දෙසැම්බර් මස 22 වෙනි දින උපන් රංජිත් මහතා ව්‍යාපාරිකයකු වූ මාටින් ෆර්ඩිනැන්ඩස් මහතාගේ දරුවන් 04 දෙනකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා විය. ඔහු මීගමුව , කටාන කටුනායක , ජා-ඇල වැනි ප්‍රදේශවල සහ සමස්ත ගම්පහ දිස්ත්‍රික්කය තුළ ජනතාව අතර ප්‍රකට වූයේ ” සිරස රංජි” නමිනි. කඳාන “ද මැසනඩ්” විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබූ ඔහු, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට මුලින්ම සම්බන්ධ වී තිබේ. ඉන් පසුව විඩියෝ පටිගත කිරීම් ශිල්පියෙකු හා ග්‍රැපික් නිර්මාණ ශිල්පියකු ලෙස, මංගල උත්සව ඇතුළු විවිධ උත්සව අවස්ථාවන් විඩියෝ ගත කිරීමට යොමු වූ රංජිත් මහතා, එම සේවාව තුළින් ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.
පසුව ජාතික රූපවාහිනියේ සහ ස්වාධීන රූපවාහිනී සේවයේද ඉන්පසුව සිරස පෞද්ගලික රූපවාහිනී සේවයේද කෘතහස්ත මාධ්‍යවේදියෙකු ලෙස ඒ මහතා මාධ්‍ය වෘත්තියේ නිරත විය.
එමෙන්ම රජයේ අමාත්‍යාංශ කීහපයකද මාධ්‍ය අංශවල වාර්තාකරුවෙකු ලෙස කටයුතු කළ ඒ මහතා දශක 03 කට වැඩි කාලයක් ජාතික රූපවාහිනීයේ සහ සිරස පෞද්ගලික රූපවාහිනි සේවාවේ , කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වාර්තාකරු ලෙස සේවය කර තිබේ.
දශක 05 කට වැඩි මාධ්‍ය වෘත්තිය තුල පාලන බලයේ සිටින ආණ්ඩු පක්ෂයට හෝ කිසිදු දේශපාලන පක්ෂයකටවත් , පක්ෂග්‍රාහී නොවී ස්වාධීන මාධ්‍යවේදියෙකු කටයුතු කල මාධ්‍යවේදියෙකු ලෙසද ඔහු ජනතාව අතර ප්‍රකට විය.
මිය යන විට 78 වැනි වියේ පසු වු ඒ රංජිත් ෆර්ඩිනැන්ඩස් මහතාගේ, දේහයේ අවසන් කටයුතු හෙට දින (02/06/2026) සවස 4.00 ට මීගමුව, මඤ්ඤොක්කාහේන පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත. එමෙන්ම මේ වන විට එම දේහය මීගමුව පරණ හලාවත පාරේ විස්කල් හංදියේ , ඩබ්ල්‍යු. එස්. ප්‍රනාන්දු අවමංගල්‍ය මල්ශාලාවේ තැන්පත් කර ඇත.













